මැද පෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඉරානය අතර අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාර

USS Michael Murphy (DDG 112) launches Tomahawk cruise missiles from an unknown location, as the United States launched new strikes against multiple targets overnight in Iran.

ඡායාරූප මූලාශ්‍රය, Bahrain Interior Ministry/X

    • Author, හැරී සෙකුලිච්, ටෝබි මෑන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අප්‍රේල් මාසයේදී එකඟ වූ බිඳෙන සුළු සටන් විරාමයට තවදුරටත් පීඩනයක් එල්ල කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අඛණ්ඩව දෙවන දිනටත් මැද පෙරදිග කලාපය පුරා ප්‍රහාර හුවමාරු කර ගෙන තිබේ.

දකුණු ඉරානයේ හමුදා, ආවේක්ෂණ ස්ථාන සහ රේඩාර් පරිශ්‍ර ඉලක්ක කර ගනිමින් "ස්වයං ආරක්ෂක ප්‍රහාර" මාලාවක් එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා විධානය පැවසීය.

මෙම ප්‍රහාරය එල්ල වූයේ, එක්සත් ජනපද හමුදා ඉරානයට "දැඩි ලෙස" පහර දෙන බවත්, යුද්ධය ස්ථිරවම අවසන් කිරීම සඳහා ටෙහෙරානය "ගිවිසුමකට එළඹීමට ඕනෑවට වඩා කල්ගත්" බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීමෙන් පැය කිහිපයකට පසුවය.

ඊට ප්‍රතිචාර වශයෙන් කලාපය පුරා පිහිටි රටවල ඇති ඇමෙරිකානු හමුදා පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර මාලාවක් දියත් කළේය.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, බිඳෙන සුළු සටන් විරාමයට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අඛණ්ඩව දෙවන දිනටත් මැද පෙරදිග කලාපය පුරා ප්‍රහාර

බහරේනයේ සහ කුවේටයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු අඛණ්ඩව දෙවන දිනටත් ඉරාන ප්‍රහාරයකට ලක් වූ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ජෝර්දානයේ ඇමෙරිකානු අණදෙන මධ්‍යස්ථානයකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ජෝර්දානයේ මුවෆාක් සල්ටි ගුවන් කඳවුරට බැලස්ටික් මිසයිල 12ක් එල්ල කිරීමෙන් පසු එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා රැසක් සහ හමුදා පහසුකම් රාශියක් විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව (IRGC) පැවසූ නමුත් එය ස්වාධීනව තහවුරු කර නොමැත.

බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ රාත්‍රියේදී ගුවන් ප්‍රහාරක සයිරන් ක්‍රියාත්මක කළ බවයි. කුවේට් ආරක්ෂක හමුදාව ද පැවසුවේ තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් "සතුරු ගුවන් ඉලක්ක" මැඩපැවැත්වූ බවය.

ඉරාන ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමූ බව කුවේට් රාජ්‍යය පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නවතම ගැටුමේදී, හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඉන්ධන රැගත් නෞකා දෙකකට පහර දුන් බව IRGC පැවසූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ද, එම තොරතුරු මෙතෙක් තහවුරු කර නොමැත.

හෝමූස් සමුද්‍ර සන්ධිය "සියලු ආකාරයේ යාත්‍රා සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා ඇති" බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව එය සිදු විය. කෙසේ වෙතත්, "වාණිජ නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය තුළට සහ ඉන් පිටතට යාත්‍රා කිරීම අඛණ්ඩව සිදු කරගෙන යන" බව ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය පැවසීය.

නෞකා ගමනාගමන මාර්ගය වසා දැමීමෙන් සහ නැව්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තා වීමෙන් සුළු වේලාවකට පසු ඉන්ධන මිල ඉහළ ගියේය.

ගෝලීය ඉන්ධන මිණුම් සලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල්, බැරලයක් ඩොලර් 95 දක්වා 2% කින් පමණ ඉහළ ගියේය.

"අපි ඊයේ ඔවුන්ට තදින් පහර දුන්නා, අදත් අපි ඔවුන්ට තදින් පහර දෙන්නවා." යනුවෙන් එක්සත් ජනපදය සිය නවතම ප්‍රහාරය එල්ල කිරීමට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් අනතුරු ඇඟවූයේය.

ඉරාන නායකයින් "ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඕනෑවට වඩා කාලයක් ගත කර ඇති" බව ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය.

ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලබා දී තිබුණත් එය පිළි නොගත් බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසූ අතර, එරට "ප්‍රධාන පහසුකම් වෙත බෝම්බ හෙළනු ඇති" බවත් පැවසීය.

සාම ගිවිසුමක් ඇති කර නොගතහොත් ඉරානයට නැවතත් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉරානය "ඕනෑම පීඩනයකට හෝ තර්ජනයකට එරෙහිව ශක්තිමත්ව සිටින" බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් පැවසුවේය. ඉරාන විදේශ අමාත්‍යාංශය මීට පෙර චෝදනා කළේ ඇමෙරිකා එක්සත් ජනපදය "එවන පරස්පර විරෝධී පණිවිඩ හරහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට හානි කරන" බවයි.

අප්‍රේල් මාසයේදී, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟ විය. එතැන් සිට, දෙපාර්ශ්වයම පූර්ණ පරිමාණ යුද්ධයකට නැවත නොගොස් වරින් වර සටන් කිරීම අඛණ්ඩව සිදු කර ඇත.

කෙසේ වෙතත්, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා ආරම්භ කිරීමට ගත් මෑත උත්සාහයන් ඇණහිට ඇති අතර, ප්‍රහාර වර්ධනය වී තිබේ.

මේ සතියේ, ඇමෙරිකානු හෙලිකොප්ටරයක් ​​වෙඩි තබා බිම හෙළන ලද අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ඉරානයට ය. ඊට ප්‍රතිචාර වශයෙන්, මැද පෙරදිග පුරා ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරගත් බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසීය.

X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පැවසුවේ මෑත කාලීන ප්‍රහාරවලින් මැද පෙරදිග "ගැඹුරු අර්බුදයකට ඇද දමනු ලබන" බවය. සටන් විරාමයෙන් සිදුව ඇත්තේ ප්‍රහාර අඩුවීමක් පමණක් යැයි ද ඔහු සඳහන් කළේය.

"අවම මට්ටමින් සිදුව ප්‍රහාර පූර්ණ ප්‍රහාර බවට පත්වීමේ අවදානම අපි අවම කළ යුතුයි. සියලු පාර්ශව රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා කටයුතු කළ යුතුයි. තවත් ප්‍රහාර එල්ල කළ යුතු නැහැ. තවත් නිදහසට කරුණු අවශ්‍ය නැහැ," ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.