'හොල්මන් දැකීම හෝ යම් කෙනෙකු අප ළඟ සිටින' බව වැනි අද්භූත අත්දැකීම් අපට ඇතිවන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, David Wall via Getty Images
- Author, ඩේසි ස්ටීවන්ස්
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
පුරාණ මෙසපොතේමියානු ජනප්‍රවාදවල, මියගිය අයගේ ආත්මයන් රැකබලා ගැනීමේ වගකීම ඔවුන්ගේ ජීවත්ව සිටින ඥාතීන්ට පැවරුණු කතා වල සිට චාල්ස් ඩිකන්ස්ගේ 'A Christmas Carol' කෘතිය දක්වා, හොල්මන් කතා කීමේ දිගු ඉතිහාසයක් මිනිසුන්ට තිබේ.
එහෙත්, හොල්මන් පිළිබඳ අපගේ ආකර්ෂණය තවමත් නොනැසී පවතින්නේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ මහාචාර්ය ක්‍රිස්ටීන් සිමන්ඩ්ස්-මූර් පවසන්නේ මිනිසුන් අද්භූත යැයි විශ්වාස කරන අත්දැකීම් සැබවින්ම අත්විඳින බවයි. "අද්භූත" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ දැනට විද්‍යාව මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිවලටය.
"ඒවා ආත්මීය වශයෙන් මිනිසුන්ට ඇත්ත කියලා දැනෙනවා... ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරන්න පුළුවන්," ඇය පවසන්නීය.
එහෙත්, එයින් අදහස් වන්නේ එම අත්දැකීම්වලට අද්භූත හේතුවක් ඇති බව නොවේ.
'විඥානයේ වෙනසක්'
සිමන්ඩ්ස්-මූර් පවසන පරිදි, මිනිසුන් අද්භූත අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන්ගේ මොළය තුළ විවිධ ක්‍රියාවලීන් සිදුවෙමින් පැවතිය හැකිය.
සිමන්ඩ්ස්-මූර් පවසන පරිදි, මිනිසුන් අද්භූත අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාවලදී ඔවුන්ගේ මොළය තුළ විවිධ ක්‍රියාවලීන් සිදුවෙමින් පැවතිය හැකිය.
කළ හැකි එක් පැහැදිලි කිරීමක් වන්නේ "හිප්නොගාජික් තත්ත්වය" (Hypnagogic state) ලෙස හඳුන්වන තත්ත්වයයි. එනම්, නින්දට වැටීම සහ අවදිව සිටීම අතර පවතින සංක්‍රාන්ති අවස්ථාවයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මේ වගේ අත්දැකීම් බොහොමයක් සිදුවෙන්නේ මිනිසුන්ගේ සවිඥානික තත්ත්වය සුළු වශයෙන් වෙනස් වී ඇති අවස්ථාවලදී," සිමන්ඩ්ස්-මූර් පවසයි.
මෙම කාලය තුළ පුද්ගලයෙකුගේ අභ්‍යන්තර සිතිවිලි සහ බාහිර සංවේදන එකිනෙකට මිශ්‍ර විය හැකි අතර, ඒ දෙක අතර වෙනස හඳුනා ගැනීම අපහසු විය හැකි ය.
නින්දේදී ඇතිවන තාවකාලික අකර්මණ්‍යතාව (Sleep Paralysis) ද මෙම අවස්ථාවේදී ඇති විය හැකිය. 2011 වසරේදී පළ වූ සමාලෝචන අධ්‍යයනයක ඇස්තමේන්තුවකට අනුව, සාමාන්‍ය ජනගහනයෙන් 7.6%ක් පමණ මෙම අත්දැකීමට මුහුණ දී තිබේ. 'Sleep Medicine Reviews' සඟරාවේ පළ වූ එම අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුද්ගල නියැදි යොදාගෙන තිබූ අතර, ඊට සිසුන් හෝ මානසික රෝග තත්ත්වයන් සහිත පුද්ගලයන් ඇතුළත් කර නොතිබිණි.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගෝල්ඩ්ස්මිත්ස් ආයතනයේ මහාචාර්ය ක්‍රිස් ෆ්‍රෙන්ච් පවසන පරිදි, මෙය සිදුවන්නේ "ඔබේ මොළය තවමත් නින්දේ පවතින නමුත් ශරීරය අවදි වන අවස්ථාවකදීය." පෙනෙන ආකාරයට අද්භූත යැයි හැඟෙන අත්දැකීම් සඳහා බලපාන විද්‍යාත්මක හේතු අධ්‍යයනය කිරීම සඳහා ඔහු එම විශ්වවිද්‍යාලයේ අසාමාන්‍ය මනෝවිද්‍යා පර්යේෂණ ඒකකය (Anomalistic Psychology Research Unit) ආරම්භ කළේය.
නින්දේදී ඇතිවන තාවකාලික අකර්මණ්‍යතාව (Sleep Paralysis) සමග විවිධ රෝග ලක්ෂණ සම්බන්ධ වී ඇති අතර, ඒ අතර ඔබ සිටින කාමරයේ තවත් පුද්ගලයෙකු සිටින බවට ඇතිවන දැඩි හැඟීම ද ඊට ඇතුළත් වේ.
"කාමරයේ වෙන කිසිවක් ඔබට පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැති වුණත් එතැන කිසිවෙකු සිටින බවක් ඔබට දැනෙනවා," ෆ්‍රෙන්ච් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EvgeniyShkolenko via Getty Images
නින්දේදී ඇතිවන තාවකාලික අකර්මණ්‍යතාව තුළදී ශාරීරික සංවේදන ද ඇතුළත් සම්පූර්ණ මායාවන් (hallucinations) අත්විඳීමට ද හැකිය.
"ඒක අතිශයින්ම බියකරු අත්දැකීමක් විය හැකියි, නමුත් එය මායාමය අත්දැකීමක්. ඒක සත්‍යයක් නෙමෙයි." ෆ්‍රෙන්ච් පවසයි.
විශේෂඥයන් පවසන පරිදි, අහඹු දේවල් තුළ රටා හෝ හුරුපුරුදු හැඩතල හඳුනාගැනීමේ මිනිස් ප්‍රවණතාව වන "පැරෙයිඩෝලියා" (Pareidolia) යන්න ද මිනිසුන්ට අද්භූත අත්දැකීම් ඇති කිරීමට හේතුවක් විය හැකිය.
කැනඩාවේ එඩ්මන්ටන් නුවර මැක්ඊවන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොඩ්නි ෂ්මාල්ට්ස් පවසන්නේ, "අපගේ දෘෂ්ටි පද්ධතිය ක්‍රියා කරන ආකාරය නිසා ඇස් කොණකින් යමක් දකිද්දී එය මුහුණක් වැනි දෙයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කිරීම පහසුයි" යනුවෙනි.
සිමන්ඩ්ස්-මූර් පවසන පරිදි, අප මානසික ආතතියට ලක්ව සිටින විට මෙවැනි රටා හඳුනාගැනීමට අප තුළ ඇති ප්‍රවණතාව තවත් වැඩි වේ.

ඡායාරූප මූලාශ්‍රය, Elva Etienne via Getty Images
ඇතැම් මනෝවිද්‍යාඥයන් පවසන්නේ, "විඝටනය" (Dissociation) ලෙස හඳුන්වන මානසික තත්ත්වයක් හේතුවෙන් ද අප තනිව සිටින අවස්ථාවලදී තවත් කෙනෙකු තමන් අසල සිටින බවට හැඟීමක් අත්විඳිය හැකි බවයි.
සිමන්ඩ්ස්-මූර්ට අනුව, විඝටනය සිදුවන්නේ පුද්ගලයෙකු සිය ආත්මය වෙන් වෙන්ව වශයෙන් අත්විඳින විටය. දරුණු අනතුරක දී වැනි දැඩි ආතතිමය තත්ත්වයන්හිදී පුද්ගලයෙකුට තම ආත්මය තමන්ගෙන් වෙන් වූ බවක් වැනි ස්වභාවයක් දැනෙන්නට හැකිය. නමුත් මෙය එදිනෙදා ජීවිතයේදී ද සිදුවිය හැකිය; එනම්, නිවස බලා රිය පදවාගෙන යාම වැනි බොහෝ හුරුපුරුදු කාර්යයක නිරත වන විටදී පවා, කිසිදු සවිඥානික අවධානයකින් තොරව, යන්ත්‍රයක් මෙන් (හෝ 'ස්වයංක්‍රීය නියමු' ක්‍රමයකට මෙන්) එම කාර්යය සිදු කිරීම ඊට උදාහරණයකි.
යම් කිසි පැවැත්මක් දැනෙන අවස්ථාවකදී, පුද්ගලයෙකු තමාගේම යම් අංශයක් "වෙනත් ජීවියෙකු ලෙස" අත්විඳිමින් සිටිනවා විය හැකි බව සිමන්ඩ්ස්-මූර් පවසයි. මානසික ආතතිය පවතින කාලවලදී හෝ නින්ද නොමැතිකම හේතුවෙන් මෙවැනි 'විඝටන තත්ත්වයන්' (dissociative states) ඇති වීමට වැඩි ඉඩක් පවතින බව ඇය තවදුරටත් සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, agsandrew via Getty Images
ඇතැම් පර්යේෂණවලට අනුව, අද්භූත අත්දැකීම් වාර්තා කිරීම සහ 'ට්රාන්ස්ලිමිනැලිටි' (transliminality) නම් මානසික ලක්ෂණය අතර සම්බන්ධතාවක් පවතියි.
සිමන්ඩ්ස්-මූර්ට අනුව එය ප්‍රශ්නාවලියක් මගින් හොඳින් ම මැනිය හැකි අතර, ඉහළ ලකුණු ලබා ගන්නන් බොහෝ විට ඉතා නිර්මාණශීලී පරිකල්පනයක් සහ මනහ්කල්පිත ගොඩ නැඟීමේ හැකියාවක් සහිත, කලාවේ හෝ සංගීතයේ ගැඹුරු අරුත් දකින පුද්ගලයන් වේ. ඔවුහු සිහින වඩා හොඳින් මතක තබා ගන්නා අතර ඒවාට අර්ථ නිරූපණ ද සිදු කරති.
මෙවැනි පුද්ගලයින් ඔවුන් සමග අදෘශ්‍යමාන කිසියම් ජීවියෙකු සිටින බවට හැඟීමක් අත්විඳීමට ද වැඩි නැඹුරුවක් දක්වන බව ඇය පවසයි.
එමෙන්ම, එක් සංවේදන පද්ධතියකට ලැබෙන තොරතුරක් තවත් සංවේදන පද්ධතියක් ක්‍රියාත්මක කරන "සයිනෙස්තීසියාව" (synaesthesia) ද ඔවුන්ට තිබිය හැකිය.
උදාහරණයක් ලෙස, සයිනෙස්තීසියාව ඇති පුද්ගලයෙකු රෝස පැහැය දුටු විට එය රෝස මල් සමග නොදැනුවත්ව ම සම්බන්ධ කර, රෝස මල් සුවඳක් දැනෙන බවක් හැඟෙන්නට පුළුවන් බව සිමන්ඩ්ස්-මූර් පවසයි.
සමහර පුද්ගලයන්ට ඇතිවන මෙවැනි සංවේදන අතර ඇති අන්තර්-සංවේදක සම්බන්ධතා හේතුවෙන් ඇතැම් අද්භූත අත්දැකීම් ඇතිවීම පැහැදිලි කළ හැකි බව ඇය පෙන්වා දෙයි.
එහෙත්, මනෝවිද්‍යාත්මක සංසිද්ධීන් පමණක් මෙවැනි අත්දැකීම් සඳහා කළ හැකි එකම පැහැදිලි කිරීම නොවේ.
පරිසර භූමිකාව
සමහර ස්ථාන වෙනත් ස්ථානවලට වඩා "ස්වභාවයෙන්ම බියකරු" බව ෆ්‍රෙන්ච් පවසයි.
"ඔබ වැඩි ආලෝකයක් ඇති ප්‍රදේශයක සිට අඩු ආලෝකයක් ඇති ප්‍රදේශයකට ගමන් කරන විට, බලපාන තවත් සාධකයක් වන්නේ ඉහළ සිවිලිම් සහිත ස්ථානයි. එවැනි ස්ථානවලට ඇතුළු වන විට මිනිසුන් තුළ තරමක කනස්සල්ලක් සහ නොසන්සුන් බවක් ඇතිවීමට වැඩි නැඹුරුවක් තිබෙනවා," ඔහු පවසයි.
නමුත් අනෙකුත් පාරිසරික සාධක තරමක් සංකීර්ණය. ඉන්ෆ්‍රාසවුන්ඩ් (infrasound) හෙවත් හර්ට්ස් 20 ට අඩු සංඛ්‍යාත සහිත ශබ්ද ඒවාට උදාහරණයක් වේ. යන්ත්‍රෝපකරණ, රථවාහන මෙන්ම ජලනළ පද්ධති සහ උණුසුම ලබාදෙන පද්ධති වැනි විවිධ මූලාශ්‍රවලින් මෙම ශබ්ද නිපදවිය හැකිය. විශේෂයෙන්ම පැරණි ගොඩනැගිලිවලින් මෙවැනි ශබ්ද ඇතිවිය හැකිය.
ෂ්මාල්ට්ස් පවසන පරිදි, අපට ඉන්ෆ්‍රාසවුන්ඩ් (Infrasound) ශබ්ද සවිඥානිකව ඇසීමට නොහැකි වුවත්, එයින් අපට කිසිදු බලපෑමක් ඇති නොවන බව ඉන් අදහස් නොවේ.
ඔහු සිදු කළ අධ්‍යයනයක් මගින්, ඉන්ෆ්‍රාසවුන්ඩ් මඟින් සහභාගී වූවන්ගේ කෙළ තුළ ආතතිය හා සම්බන්ධ කොර්ටිසෝල් හෝමෝනය සුළු වශයෙන් ඉහළ යන බවත් ඔවුන් වැඩි කෝපයට පත්වන බවත් අනාවරණය වි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Goja1 via Getty Images
ඉන්ෆ්‍රාසවුන්ඩ් (Infrasound) ශබ්ද සහ අද්භූත අත්දැකීම් අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න තවමත් විවාදයට තුඩු දී ඇති කරුණකි. ෆ්‍රෙන්ච් විසින්ම සිදුකළ අධ්‍යයනයකින් ද එවැනි සම්බන්ධතාවක් පවතින බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.
ෂ්මාල්ට්ස් ද එකඟ වන්නේ ඉන්ෆ්‍රාසවුන්ඩ් පමණක් අද්භූත අත්දැකීමක් ඇති කිරීමට ප්‍රමාණවත් නොවන නමුත්, එය ප්‍රහේලිකාවේ කුඩා කොටසක් විය හැකි බවයි. විශේෂයෙන්ම ඒ පැරෙයිඩෝලියා වැනි මානසික සංසිද්ධීන් ආතතිය සමග තවත් උග්‍ර විය හැකි බැවිනි.
කාංසාවක් අත්විඳීම හෝ යම් දෙයක් දැනෙන බවක් සිතීම එක් දෙයකි. නමුත් එම දෙය අප අධිභෞතික දෙයක් ලෙස සැලකීමට හේතුව කුමක්ද?
සත්‍යය සහ පැවැත්ම
ඇතැමුන්ගේ මතය අනුව, එයට පිළිතුර අපගේ පරිණාමීය ඉතිහාසය තුළ තිබිය හැකිය.
"අප නිර්මාණය වී ඇත්තේ සත්‍යය සොයා ගැනීමට නොව, ජීවිතය රැකගෙන පැවැත්ම තහවුරු කර ගැනීමටයි," අද්භූත දේ පිළිබඳ මිනිසුන් තුළ විශ්වාස ඇතිවන්නේ ඇයිද යන්න අධ්‍යයනය කරන ජනශ්රැති විශේෂඥ ඩෙබෝරා හයිඩ් පවසයි.
"අපගේ බොහෝ සංජානන ක්‍රියාවලීන් සහ සංවේදන පද්ධති සැකසී ඇත්තේ යම් තත්ත්වයක සැබෑ සත්‍යය හඳුනාගැනීමට වඩා, අපගේ පැවැත්ම සහ ජීවිතය ආරක්ෂා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටයි."
අතීතයේදී, නරකම දෙය සිදුවිය හැකි යැයි සිතා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අපගේ පරිණාමීය පැවැත්මට වාසියක් වන්නට ඇත. නිදසුනක් ලෙස, සෙවණැල්ලක් විලෝපිකයෙකු ලෙස හෝ පැහැදිලි කළ නොහැකි ශබ්දයක් යනු තමන්ට ඇති විය හැකි තර්ජනයක් ලෙස හඳුනාගැනීම දැක්විය හැකිය.
හයිඩ් පවසන පරිදි, මේ සමග ම මිනිසුන් තුළ "ක්රියාකාරීත්වයක් හඳුනාගැනීමේ සංජානන නැඹුරුව" ලෙස හඳුන්වන මානසික ප්‍රවණතාවක් ද පවතී.
"අපගේ ස්වභාවික ප්‍රතිචාරය වන්නේ යම් දෙයක් හෝ චේතනාවක් ඇති කෙනෙකු හෝ යමක් ඒ සිදුවීම අප වෙත විශේෂ අරමුණක් ඇතිව සිදු කළ බව සිතීම." බව ෆ්‍රෙන්ච් පවසයි.
"එතැන් සිට, මෙවැනි තර්ජන අප අවට තියෙන්න පුළුවන්, ඇතැම් අවස්ථාවලදී ඒ තර්ජන විවිධ ආකාරයේ අදෘශ්‍යමාන ජීවීන් විය හැකි කියලා සිතන්න ලොකු පරිකල්පන පියවරක් අවශ්‍ය වෙන්නේ නැහැ," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Westend61 via Getty Images
"ඔබ දැනටමත් හොල්මන් ඇත්ත කියලා පිළිගන්න විශ්වාසයක ඉන්නවා නම්, "ඔබ දැනටමත් හොල්මන් සැබවින්ම සිටින බව පිළිගන්නා විශ්වාස පද්ධතියක් තුළ සිටිනවා නම්, 'හොඳයි, එම අත්දැකීමට හේතුව එයයි' යනුවෙන් පැවසීම අතාර්කික දෙයක් නොවේ," ෆ්‍රෙන්ච් පවසයි.
මීට අමතරව, මිනිසුන්ට හොල්මන් පිළිබඳ විශ්වාස කිරීමට කැමැත්තක් ද තිබිය හැකිය.
"අප දැනටමත් සත්‍යයක් ලෙස විශ්වාස කරන හෝ සත්‍යයක් විය යුතු යැයි අපේක්ෂා කරන දෙයක් තියෙන අවස්ථාවක, ඒ විශ්වාසය තහවුරු කරන බව පෙනෙන සාක්ෂි ගැන අප වැඩි අවධානයක් යොමු කරනවා," යැයි ෆ්‍රෙන්ච් පවසයි.
"[හොල්මන්] යනු මරණයෙන් පසු ජීවිතයක් පවතින බවට ඇති එක් සාක්ෂියක් ලෙස සැලකෙනවා. ඒ නිසා, මරණයෙන් පසු ජීවිතයක් පවතිනවා යන අදහස අප තුළ තිබෙනවා නම්, හොල්මන් සැබවින් ම සිටිනවා විය හැකිය යන අදහස පිළිගැනීමට අප වැඩි නැඹුරුවක් දක්වන්න ඉඩ තියෙනවා."



































