බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය: හූති තර්ජන හමුවේ රතු මුහුදේත් නාවික ගමනාගමනය නවතියි ද?

හූති සටන්කාමීන්ගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, හූති සටන්කාමීන් 2014 වසරේදී තමන්ගේ ග්‍රහණයට ගත් යේමනයේ සානා අගනුවර හරහා පෙළපාලි ගිය අයුරු
Published
කියවීමේ කාලය: මිනිත්තු 8

යුරෝපය සහ ආසියාව යා කරන, ලෝකයටම අතිශය වැදගත් නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ පිහිටි ප්‍රධාන දූපතක බලය යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම වැදගත් වෙළෙඳ නාවික මාර්ගය කෙරෙහි ඔවුන්ගේ ග්‍රහණය තවත් ශක්තිමත් වී ඇත.

රජයට හිතවාදී ආරක්ෂක අංශ සිකුරාදා දිනයේදී පෙරිම් දූපතෙන් පසුබැස ඇති බව බලධාරීන් කියා සිටියේ ය.

සතියක් තිස්සේ වේගයෙන් ඉදිරියට පැමිණි ඉරානයේ සහය ලබන හූතිවරුන්, මේ වන විට යේමනයට අයත් සම්පූර්ණ රතු මුහුදු වෙරළ තීරයේම බලය අල්ලාගෙන අවසන් ය.

එහි සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේ සන්නද්ධ පිරිස් බාබ් අල්-මන්දාබ් වෙරළ තීරය පුරා රැඳී සිටින බවත්, ඔවුන් හමුදා වාහනවලින් එහා මෙහා ගමන් කරමින් සිටින බවත්ය.

A satellite view of the Bab al-Mandab Strait

ඡායාරූප මූලාශ්‍රය, Gallo Images via Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය කිලෝමීටර 36ක් පමණ පළල වන අතර එය රතු මුහුද ඒඩන් බොක්ක සමග සම්බන්ධ කරයි

හමුදා ආරංචි මාර්ගවලට අනුව, හූතිවරුන් විසින් මොඛා වරාය නගරය අත්පත් කරගෙන දිනකට පසුව මෙම පෙරිම් දූපතේ බලය අල්ලා ගෙන ඇත.

බදාදා රාත්‍රියේ රජයට හිතවාදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ දරුණු ගැටුම්වලින් පසුව හූති සටන්කරුවන් නගරයට ඇතුළු වූ බවත්, ඒ හේතුවෙන් බොහෝ පවුල්වලට තම නිවාස අතහැර පලා යාමට සිදු වූ බවත් මොඛා වැසියන් පැවසූහ.

එක් පුද්ගලයෙකු බීබීසී අරාබි පුවත් සේවයේ 'මිඩ්ල් ඊස්ට් ලයිෆ්ලයින්' (Middle East Lifeline) වැඩසටහනට පවසා තිබුණේ එය කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව සිදු වූවක් බවයි. 'ප්‍රදේශය පුරාම දැඩි භීතියක් පැතිර ගියා,' යැයි පැවසූ ඔහු, 'උදව් කිරීමට කිසිවෙකු නොමැතිව තුවාල ලැබූ මිනිසුන් පාරවල් පුරා වැතිර සිටි කනගාටුදායක දර්ශන මධ්‍යයේ මිනිසුන්ට ජීවිත බේරාගෙන පලා යාමට සිදු වුණා,' යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

හූති සටන්කාමීන්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බඳවා ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් අතරතුර සැප්තැම්බර් 10 වන දින සානා හි මොඛා වරාය හරහා පෙළපාලි යන හූති සටන්කාමීන්

මෙම කණ්ඩායම සෞදි අරාබියේ සහය ලබන යේමන් රජයට හිතවාදී ආරක්ෂක අංශවලට එරෙහිව සතියකට පෙර සිය නවතම ප්‍රහාර මාලාව ආරම්භ කළ දා සිට මේ වන විට සිය ගණනක් මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම, මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 46,000ක් පමණ අවතැන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) අනතුරු අඟවා තිබේ.

ජිබුටි රාජ්‍යයේ (Djibouti) ආර්ථික අමාත්‍ය ඉල්යාස් මූසා ඩවාලේ පැවසුවේ, මෙම සටන් හේතුවෙන් පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින් 1,400ක් සමුද්‍ර සන්ධිය හරහා තම රටට පැමිණ ඇති බවයි.

මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීම , ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට ද හේතු වී තිබේ.

සෞදි අරාබියේ නැව් ගමනාගමනයට එල්ල වී ඇති තර්ජන

හූති හමුදා ප්‍රකාශක යාහියා සරෙයා ගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සැප්තැම්බර් 11 වන දින රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින්, හූති හමුදා ප්‍රකාශක යාහියා සරෙයා සෞදි අරාබියේ නැව්වලට රතු මුහුද හරහා ගමන් නොකරන ලෙස අනතුරු අඟවා සිටියේ ය

ජාත්‍යන්තර නැව් ගමනාගමනයට තමන්ගෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ප්‍රකාශ කළ හූතිවරුන්, තමන් ඉලක්ක කරන්නේ සෞදි අරාබියේ නැව් පමණක් බව නැවතත් අවධාරණය කළහ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ඇති කරගත් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් පසු, සෞදි අරාබිය සිය තෙල් අපනයනය සඳහා මෙම රතු මුහුදු මාර්ගය මත දැඩි ලෙස විශ්වාසය තබා තිබිණි.

නමුත් නැව් සමාගම් මෙම ප්‍රකාශය සැක සහිත ලෙස සැලකීමට බොහෝ දුරට ඉඩ ඇත. මන්ද, මීට පෙර ගාසා යුද්ධය පැවති සමයේදී තමන් ප්‍රහාර එල්ල කරන්නේ ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට පමණක් බව මෙම කණ්ඩායම පැවසුවද, පසුව ඔවුන් ඊශ්‍රායලය සමඟ කිසිදු පැහැදිලි සම්බන්ධයක් නොමැති තවත් බොහෝ නැව්වලට ප්‍රහාර එල්ල කර තිබිණි.

මේ අතර, හූති හමුදා ප්‍රකාශක යාහියා සරෙයා ටෙලිග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, තම කණ්ඩායම 'මහා පරිමාණයේ සහ දැඩි බලපෑමක් එල්ල කළ හැකි හමුදා මෙහෙයුමක්' ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

හූති සටන්කාමීන්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 සැප්තැම්බර් 10 වන දින සානා නුවර පැවැති බඳවා ගැනීමේ රැලියක් අතරතුර හූති සටන්කාමීන්

බාබ් අල්-මන්දාබ් මෙතරම් වැදගත් වන්නේ ඇයි?

Map of Middle East shipping routes
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය රතු මුහුදේ අරාබි අර්ධද්වීපය දෙසින් පිහිටි යේමනයත්, අප්‍රිකානු දෙසින් පිහිටි ජිබුටි සහ එරිත්‍රියාවත් අතරත් පිහිටා තිබේ. ඉන්දීය සාගරයේ සහ ඒඩන් බොක්කේ සිට පැමිණෙන නෞකා සූවස් ඇළ වෙත පිවිසීම සඳහා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ යුතු වේ.

කිලෝමීටර් 115ක් දිග සහ කිලෝමීටර් 36ක් පළලින් යුත් මෙම සමුද්‍ර සන්ධිය, 1869දී සූවස් ඇළ විවෘත කරන විට ගෝලීය වෙළෙඳාමේ අත්‍යවශ්‍ය සම්බන්ධකයක් බවට පත් වූ අතර එමගින් යුරෝපය සහ ආසියාව අතර කෙටි ම මුහුදු මාර්ගය නිර්මාණය විය.

රතු මුහුදේ හරහා වැටී ඇති මෙම නෞකා මාර්ගය දැන් ලෝකයේ කාර්යබහුල ම එකක් වන අතර, ලෝකයේ සමුද්‍රීය ගමනාගමනයෙන් හතරෙන් එකක් පමණ ඒ ඔස්සේ සිදු කරයි.

යුද්ධය හේතුවෙන් දැනටමත් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවේ. බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් තවත් 12%ක් අඩාළ වනු ඇත.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, මැදපෙරදිග සහ ආසියාවෙන් තෙල් බැරල් මිලියන පහක් පමණ බටහිර රටවලට සෑම දිනක ම මෙම මාර්ගය හරහා ගමන් කරයි.

තව ද, ගෝලීය ද්‍රව ස්වාභාවික වායු (LNG) නැව්ගත කිරීම්වලින් 8%ක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර එමගින් එය ගෝලීය බලශක්ති සැපයුම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් බවට පත් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු, රතු මුහුදට ගෝලීය වෙළෙඳාම තුළ තවත් වැදගත්කමක් ලැබී තිබේ. සෞදි අරාබිය, යාන්බු වරායේ සිට ඉන්ධන ප්‍රවාහනය සඳහා සංක්‍රමණ ස්ථානයක් ලෙස බාබ් අල්-මන්දාබ් භාවිත කිරීමට අරඹා ඇත.

සෞදිය සිය නැගෙනහිර තෙල් බිම්වල සිට නළ මාර්ගයක් හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන ගණනක් යැවීම සිදුකරයි.

ඉන්ධන සහ ගෑස්වලට අමතරව, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය නැගෙනහිර සහ බටහිර අතර ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් ලෙස කටයුතු කරන අතර, ඒ හරහා සෑම දිනක ම බොහෝ භාණ්ඩ ප්‍රවාහන නෞකා ගමන් කරයි.

Ever Given cargo ship blocking the Suez Canal

ඡායාරූප මූලාශ්‍රය, Suez Canal Authority via European Pressphoto Agency

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 වසරේදී එවර් ගිවන් නෞකාව සූවස් ඇළ අවහිර කළේ ය

2021 වසරේදී පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එවර් ගිවන් සිර වී සූවස් ඇළ අවහිර වූ විට සිදු වූ දෙයට සමාන බලපෑමක් මෙය වසා දැමීමෙන් ඇති කරනු ඇත.

එය ගෝලීය සැපයුම් දාමයන් පුරා දැඩි බලපෑමක් එල්ල කළ අතර, තෙල් සහ පුළුල් පරාසයක භාණ්ඩවල මිල ඉහළ යාමට සහ ඒවා බෙදා හැරීමේ ප්‍රමාදයන්ට හේතු විය.

හූති කැරලිකරුවන්ගේ භූමිකාව

බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියට එල්ල වන ඕනෑ ම ප්‍රහාරයක් ඉරානයේ පිටුබලය ලබමින් යේමනයේ සිට ක්‍රියාත්මක වන දේශපාලන හා සන්නද්ධ කණ්ඩායමක් වන හූති කැරලිකරුවන් විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසි මත රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් හූති කැරලිකරුවන්ගේ නායකයෙකු පැවසුවේ, ඉරානයට සහය දැක්වීම සඳහා බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ඉලක්ක කර ගැනීමට කණ්ඩායම "හමුදාමය වශයෙන් සූදානම්" බවයි.

මාර්තු 28 වන දින හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර, එය ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයට ඔවුන්ගේ පළමු මැදිහත්වීම විය. යේමනයෙන් එල්ලවූ මිසයිල දෙකක් බිම හෙළූ බව ඊශ්‍රායලය පැවසීය.

මෙම කණ්ඩායම යේමනයේ රතු මුහුදට මුහුණ ලා ඇති වෙරළ තීරය පාලනය කරන අතර ගාසා යුද්ධයේදී බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා ඉලක්ක කළේ ය. තනිව ක්‍රියාත්මක වෙමින් හූති කැරලිකරුවන් විසින් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වාණිජ නැව් 100කට වැඩි ගණනකට පහර දී ඉන් නෞකා දෙකක් ගිල්වා දමන ලද අතර ප්‍රහාරවලින් නැවියන් හතර දෙනෙකු ඝාතනයට ලක්විය.

The underside of a Houthi helicopter can be seen as it approaches the massive cargo ship Galaxy Leader from behind. The ship leaves a massive wake behind as it travels in open sea, with no land visible.

ඡායාරූප මූලාශ්‍රය, Houthi Military Media via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 වසරේදී හූති කැරලිකරුවෝ ගැලැක්සි ලීඩර් භාණ්ඩ ප්‍රවාහන නෞකාව පැහැර ගත්හ

2023 නොවැම්බර් මාසයේදී, මෙම කණ්ඩායම රතු මුහුදේදී ජපාන පාලනයේ ඇති ලබන බ්‍රිතාන්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනීමට හෙලිකොප්ටරයක් ​​භාවිත කළේ ය.

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට සම්බන්ධ නැව් පමණක් ඉලක්ක කරගත් බව පැවසුව ද, මෙම ප්‍රහාර අහඹු එල්ල කළ ඒවා මිස නිශ්චිත ඉලක්ක වෙත එල්ල නොවූ ඒවා ලෙස ප්‍රකාශ විය. මෙය ලොව විශාලතම නැව් සහ ඉන්ධන සමාගම් බොහොමයක් මෙම මුහුදු මාර්ගය භාවිත කිරීම නැවැත්වීමට හේතු විය.

පසුව ප්‍රහාර යටපත් වූ අතර හූති කැරලිකරුවන් සටන අතහැර පසුබැස ගිය බව එක්සත් ජනපදය පැවසීය. නමුත් හූති කැරලිකරුවන් පැවසුවේ එක්සත් ජනපදය පසුබැස ගිය බවයි. කෙසේ වෙතත්, ප්‍රහාර නැවත ආරම්භ විය හැකි බවට විශේෂඥයෝ කණස්සල්ලට පත්ව සිටිති.

ගෝලීය නැව් ගමනාගමනය පීඩනයක

අරාබි භාෂාවෙන් බාබ් අල්-මන්දාබ් යන්නෙහි තේරුම "කඳුළු දොරටුව" හෝ "ශෝකයේ දොරටුව" යන්නයි. මෙම නම මගින් ප්‍රබල දියවැල් සහ අනපේක්ෂිත සුළංවල සිට මුහුදු කොල්ලකෑම් සහ ගැටුම් දක්වා අනතුරු පිළිබිඹු කරයි.

2008 සහ 2012 අතර කාලය තුළ බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට මුහුදු කලාපයේදී මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාර ගණනාවක් ම එල්ල විය. ඒවා ප්‍රධාන වශයෙන් කප්පම් ඉල්ලා නැව් කාර්ය මණ්ඩල පැහැරගෙන ගිය සෝමාලි කණ්ඩායම් විසින් සිදු කරන ලදී. එම සිදුවීම් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ නැව් සමාගම් කලාපයේ ආරක්ෂාව තර කිරීමට පෙළඹිණි.

එක් වර ම නෞකා මාර්ගය අවහිර කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව ඇති බලශක්ති වෙළෙඳපොළ අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇත.

පාරිභෝගික නිෂ්පාදනවල සිට කෘෂිකාර්මික භාණ්ඩ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදී ඇති ගෝලීය වෙළෙඳාම ද මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇත. තවත් සමුද්‍රීය මාර්ගයකට නව බාධාවක් එල්ල වීමෙන් භාණ්ඩ මිල ගණන් තවත් ඉහළ යා හැකි අතර ඉරානය සමග ගැටුමේ ආර්ථික කඩා වැටීම් වඩාත් ගැඹුරු කළ හැකිය.

ඇමෙරිකාවේ පිහිටි අවදානම් පිළිබඳ උපදේශන ආයතනයක් වන Basha Reportහි මොහොමඩ් අල්බාෂා පැවසුවේ, හූති කැරලිකරුවන් සෞදි අරාබිය බලා ගමන් කරන නෞකා ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කරනු ඇති ද යන්න මෙතෙක් අපැහැදිලි බව ය.

"කිසිදු නෞකාවකට ප්‍රහාර එල්ල නොකළත්, මෙම නිවේදනය පමණක් වුවත් නාවික ප්‍රවාහනයට බාධා ඇති කිරීමටත්, සෞදි වරායන් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් නිර්මාණය කිරීමටත් ඉඩ තිබෙනවා. හූති කැරලිකරුවන් තර්ජනවල සිට ඍජු ක්‍රියාමාර්ග වෙත යොමුවන්නේ ද යන්න තවමත් ප්‍රධාන අවධානය යොමු වන කරුණ යි," යැයි ඔහු රොයිටර්ස් පුවත් සේවය වෙත පැවසීය.

Image of a ship passing through the Strait

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනපතා ටොන් දහස් ගණනක් භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් විශාල ගණනක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

පර්සියානු ගල්ෆ් කලාපයේ නැව් ගමනාගමනයට එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, මෙම අර්බුදයට පෙර බැරලයක් ඩොලර් 70ක් පමණ වූ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් ඇත.

පාරිභෝගික නිෂ්පාදනවල සිට කෘෂිකාර්මික භාණ්ඩ දක්වා පුළුල් පරාසයක දිවෙන ගෝලීය වෙළෙඳාමට ද මෙයින් බලපෑම් එල්ල වෙමින් පවතී. තවත් ප්‍රධාන මුහුදු මාර්ගයකට මෙලෙස අලුතින් බාධා එල්ල වීම හේතුවෙන්, භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි අතර ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුමෙන් ඇති වන ආර්ථික බිඳවැටීම තවදුරටත් බරපතළ විය හැකිය.