ඔබේ නම සඳහන් වාහන අංක තහඩුවක් ලබා ගැනීමට හැකි වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Dinendra Haria/SOPA Images/LightRocket via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ශ්‍රී ලංකාව තුළ වාහනයක ලියාපදිංචි අංක තහඩුවක් යනු හුදෙක් පරිපාලනමය සලකුණක් පමණක් නොවේ. ඇතැම් පුද්ගලයන්ට එය තමන්ගේ සමාජ තත්ත්වය, බලය මෙන් ම ජ්‍යොතිෂ්‍යමය විශ්වාසයන් ප්‍රදර්ශනය කරන, රුපියල් මිලියන ගණනක් වටිනා සුවිශේෂී සංකේතයක් ලෙස ද නිරීක්ෂණය වෙයි.
රජයෙන් නිල වශයෙන් නිකුත් කරන වාහන අංක තහඩුවක් මගින් පුද්ගලයෙකුගේ වාසනාව හෝ අනාගතය තීරණය කළ හැකි ද යන්න විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුවත්, ලාංකීය සමාජය තුළ පවතින සාම්ප්‍රදායික විශ්වාසයන් ඊට බෙහෙවින් බලපෑම් කරයි. මේ හේතුව නිසා ම, භාවිත කරන ලද වාහනයක් මිල දී ගැනීමේදී වුව ද, බොහෝ පාරිභෝගිකයෝ වාහනයේ යාන්ත්‍රික තත්ත්වයට අමතරව ලියාපදිංචි අංකය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරති.
මෙහිදී සංඛ්‍යා ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂ්‍යය මුල් කර ගත් විවිධ මතිමතාන්තර දැකගත හැකි ය. ඇතැම් පුද්ගලයන් අංක තහඩුවේ සඳහන් සියලු ම ඉලක්කම්වල එකතුවෙන් ලැබෙන අවසාන තනි ඉලක්කම , තමන්ගේ ජන්ම පත්‍රයට හෝ පෞද්ගලික විශ්වාසයන්ට අනුව 'සුබ' හෝ 'අසුබ' ලෙස වර්ගීකරණය කිරීමට පෙළඹෙති. එමෙන් ම, බටහිර සංස්කෘතික බලපෑම මත ඉලක්කම්වල එකතුව 13 ලෙස දැක්වෙන වාහන අංක අවාසනාවන්ත හෝ අසුබ ලකුණක් ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් ද මෙරට වාහන මිල දී ගන්නන් අතර බහුලව දක්නට ලැබේ.
ඒ අනුව, අංකවල එකතුව 13 වන පරිදි සැකසෙන අංක නිකුත් නොකරන බව ද නිරීක්ෂණය වේ.
ශ්‍රී ලංකේය මෝටර් රථ පාරිභෝගිකයන්ට වාහනයක් යනු හුදෙක් ගමනාගමන අවශ්‍යතාවක් සපුරාලන මෙවලමක් පමණක් නොව, තමන්ගේ අනන්‍යතාව සහ පෞරුෂය සමාජය හමුවේ විදහා දක්වන කැඩපතකි. එම නිසා ම, එහි ලියාපදිංචි අංක තහඩුව ද සුවිශේෂී එකක් කර ගැනීමට ඔවුහු දැඩි රුචිකත්වයක් දක්වති. එකේ ඒවා හතරක් හෝ හතේ ඒවා හතරක් වැනි දුර්ලභ අංක රටා මෙන් ම, ඉදිරියේදී නිකුත් වීමට නියමිත නවතම අංක කලින් ම වෙන් කරවා ගැනීම වෙනුවෙන් අද වන විට රුපියල් ලක්ෂ ගණනින්, ඇතැම් විට මිලියන ගණනින් මුදල් වැය කිරීමට ඇතැම් වාහන හිමියෝ යොමු වෙති. රජයට ද ඉහළ අතිරේක ආදායමක් උත්පාදනය කර දෙන මෙම සුවිශේෂී අංක තහඩු වෙන් කිරීමේ ක්‍රියාවලිය, ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන 'Personalized Number Plates' (තමන්ගේ නම සහිත අංක තහඩු) වැනි ජාත්‍යන්තර මට්ටමේ උසස් සේවාවක් දක්වා පරිවර්තනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට මූලික සැලසුම් සකස් කරමින් සිටියි.
නිල දත්තවලට අනුව, සුවිශේෂී වාහන අංක තහඩු වෙළෙඳපොළ තුළ රුපියල් මිලියන ගණනක කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 වසරේ සිට 2026 වසරේ මුල් භාගය දක්වා කාලය තුළ සමස්තයක් ලෙස වාහන 1,185ක් සඳහා මෙලෙස සුවිශේෂී අංක තහඩු ලබාගෙන හෝ වෙන් කරවා ගෙන ඇති අතර, ඇතැම් තනි අංක තහඩු සඳහා නීත්‍යනුකූලව අය කර ඇති ගාස්තුව රුපියල් මිලියනය ඉක්මවයි.
නිල ලියාපදිංචි දත්ත කාලරාමුවට අනුව මෙය වර්ධනය වන ප්රවණතාවකි. එනම්, 2023 වසරේදී වාහන 11ක් සහ 2024 වසරේදී වාහන 46ක් වශයෙන් පැවති මෙම ඉල්ලුම, 2025 වසර වන විට 692ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර 2026 වසරේ පළමු මාස කිහිපය තුළ පමණක් තවත් පුද්ගලයන් 436 දෙනෙකු රුපියල් මිලියනයේ අංක තහඩු වෙන් කරවාගෙන තිබේ.
කැමති වාහන අංකය වෙන් කරවා ගන්නේ කොහොම ද?
ඔබ කැමති වාහන අංක තහඩුව ලබා ගන්නේ කොහොම ද? ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"කස්ටමර් මෙතෙන්ට ඇවිල්ලා එයාට අවශ්‍ය කරන මෙහෙ තියෙනවා ස්පෙෂල් ෆෝම් එකක්. ටෝටල් ඩොකියුමන්ට්ස් ටික අරගෙන එන්න ඕනේ," කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ලිපි ලේඛන සියල්ල නිවැරදිව පවතින්නේ නම්, ඒ සඳහා වන විශේෂ අයැදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
ඉන්පසුව, අයැදුම්කරු තමන්ට අවශ්‍ය කාණ්ඩය තීරණය කර ඒ සඳහා අදාළ මුදල් ගෙවිය යුතු ය. "දැන් අපි හිතමු මේ වෙලාවේ යන්නේ CCD කියලා, එයාට ගන්න ඕනේ CCE කියන්න, එතකොට එයා වැඩිපුර ලක්ෂයක් ගෙවන්න ඕනේ," යනුවෙන් ඔහු උදාහරණයක් සහිතව පැහැදිලි කළේ ය.
මෙම අංක මාරු කිරීමේදී අය කරනු ලබන ගාස්තු ක්‍රමවේදය පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා මෙසේ විස්තර කළේ ය: "එක සීරීස් එකකට ලක්ෂය ගාණේ, සීරීස් පහකට ලක්ෂ පහ යි. සීරීස් හයක් පැනලා දහය වෙනකම් ම, ඒ කියන්නේ සීරීස් දහයක් තමයි මැක්සිමම් පන්නන්න පුළුවන්. සීරීස් පහ පැන්නට පස්සේ හය වෙනි එකේ ඉඳන් එයා හයෙන් උඩට යනවා නම් මිලියනයක් ගෙවන්න ඕනේ."
අදාළ පුද්ගලයා තමන් කැමති අංකය (Preferred Number) ප්‍රකාශ කළ පසු, එම අංකය වෙනත් කිසිවෙකු වෙන් කරවාගෙන නොමැති බව තහවුරු කරගත යුතු ය. "ඒ කැමති නම්බර් එක කාටවත් බුක් වෙලා නැත්නම් අපි ඒ නම්බර් එක දාලා, එයා පේමන්ට් එක කරලා, ඇවිල්ලා ඩොකියුමන්ට්ස් ටික භාර දෙන්න ඕනේ," ඔහු පැවසීය. සියලු ලේඛන භාර දී, අදාළ ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ඒ සඳහා වන නිල අනුමැතිය හිමි වන බව ද ඔහු අවධාරණය කළේ ය.
වත්මන් ඉල්ලුම සහ රජයට ලැබෙන ආදායම
මේ දවස්වල මෙලෙස කැමති අංක ලබා ගැනීම සඳහා පවතින ඉල්ලුම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "සාමාන්‍යයෙන් මාසෙකට 15ක් 20ක් වගේ රේන්ජ් එකක තමයි මේ සීරීස් මාරු කරලා ඉල්ලන්නේ," යනුවෙනි.
ඉදිරියට එන සීරීස් මෙන් ම, 'හතේ ඉලක්කම් හතරක්' වැනි විශේෂිත අංක (Special Numbers) ද මෙම ගණයට ම වැටෙන බව ඔහු සඳහන් කළේ ය. "කවුරුත් අරන් නැත්නම්, ඒ එයා ඉල්ලන වෙලාවේ ඒ නම්බර් එක කවුරුහරි අරගෙන නැත්නම්, එයාට ඒ පේමන්ට් එක කරලා ඒ නම්බර් එක රිසර්ව් කරන්න පුළුවන්," ඔහු සඳහන් කළේ ය.
නම සහිත අංක තහඩු සහ අනාගත සැලසුම්
විදෙස් රටවල මෙන් මෙරට තුළ ද වාහන අංක සඳහා වෙන්දේසි (Auction) පැවැත්වීමේ සූදානමක් පවතින්නේ දැයි විමසූ විට, "නැහැ, එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ඒ අංකය ඉතින් එයාට දුන්නට පස්සේ එයා තියාගන්නව ද, විකුණනව ද කියන එක එයාගේ තීරණය යටතේ තියෙන එකක්," යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ය.
පුද්ගලයන්ගේ නමින් අංක තහඩු හඳුන්වා දීමේ සැලසුම පිළිබඳ සැබෑ තත්ත්වය ඔහු මෙසේ පැහැදිලි කළේ ය: "නැහැ, ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒකේ නීතිමය තත්ත්වය බලලා, ඒක ගැන තාම නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. ඉදිරියේදී හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා, අනිත් අයගේ... ඒ කියන්නේ අදහස් යෝජනාත් එක්ක බලලා, ඒක කරන්න සුදුසු නම් ඒකත් හඳුන්වා දෙයි."
එලෙස නමක් සහිතව අංක තහඩුවක් නිකුත් කරන්නේ නම්, එහි අකුරු ප්‍රමාණය සීමා වන ආකාරය පිළිබඳව ද ඔහු මූලික අදහසක් පළ කළේය. "සාමාන්‍යයෙන්, උපරිම අකුරු හතක වගේ, නමුත්, ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අකුරු හතරත් පහක් හයක් හතක් අතර වගේ ගාණක් තමයි, ඊට වඩා දිග නම් දාන්න බැහැ වගේ කතාවක් තමයි මට දැනගන්න හම්බවුණේ."
නව අංක තහඩු නිකුත් කිරීම
මෙරට වාහන හිමිකරුවන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සහ වත්මන් තත්ත්වය පිළිබඳව ද කොමසාරිස් ජනරාල්වරයා විශේෂ අනාවරණයක් සිදු කළේ ය. ක්ෂේත්රය තුළ පවතින මෙම අර්බුදකාරී ස්වභාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දිගු කලක් තිස්සේ ගොඩගැසී ඇති පැරණි අංක තහඩු විශාල ප්‍රමාණයක් (Backlog) තවමත් දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි. මෙම ප්‍රමාදයන් මගහරවා ගනිමින් සමස්ත ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා වන නිල සැලසුම් මේ වන විටත් සකස් වෙමින් පවතින බව ඔහු තහවුරු කළේ ය.
මෙම අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබා දීම උදෙසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේ ය. "ඔව්, ඒ පැරණි බැක්ලොග් එක තියෙනවා. ඉතින් ඒකට අලුත් කොන්ත්‍රාත්තුවක් අත්සන් කෙරෙනවා. ඉතින් ඒකත් එක්ක ඒකත් ක්ලියර් වෙයි මාස හයක් හතක් ඇතුළත," කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අදාළ නව සැපයුම් ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම හරහා ඉදිරි මාස කිහිපය ඇතුළත පවතින සියලු ම ප්‍රමාදයන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.
දැනට නිල වශයෙන් නිකුත් කිරීමට ඉතිරිව පවතින අංක තහඩු ප්‍රමාණය පිළිබඳව නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ, එම ප්‍රමාණය ලක්ෂ හයක් පමණ වන බව ය. මෙම ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වාහන හිමිකරුවන්ට කඩිනමින් සහන සැලසීම දෙපාර්තමේන්තුවේ මූලික ම කාර්යයක් වී ඇති අතර, නව කොන්ත්‍රාත්තුව යටතේ අංක තහඩු මුද්‍රණය සහ බෙදාහැරීම ඉහළ ධාරිතාවකින් යුතුව සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම ප්‍රමාදය හේතුවෙන් වත්මන් ලියාපදිංචි කිරීමේ කටයුතුවලට බාධාවක් වීමට දෙපාර්තමේන්තුව ඉඩ තබා නොමැති බව ද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ ය. දෛනිකව සාමාන්‍ය පරිදි ලියාපදිංචි කරනු ලබන නව වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ සේවාව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බව ඔහු සහතික විය.
"නෝමල් ඩේලි මේ රෙජිස්ටර් වෙන වාහනවලට අංක තහඩු නිකුත් වෙනවා. 2025 ටික තමයි තියෙන්නේ," යනුවෙන් පවසමින් ඔහු පෙන්වා දුන්නේ වර්තමාන ලියාපදිංචි කිරීම් නිසි පරිදි සිදු වුව ද, ප්‍රධාන වශයෙන් ම මෙලෙස ප්‍රමාද වී පවතින්නේ මීට පෙර වසරවල ගොඩගැසුණු අංක තහඩු තොග බව ය. එසේ ප්‍රමාද වී ඇති අංක තහඩු ඉදිරි මාස 6ක් හෝ 7ක් වැනි කාලසීමාවක් ඇතුළත සම්පූර්ණයෙන් ම අවසන් කර, ලියාපදිංචි කිරීමේ සමස්ත ක්‍රියාවලිය යථාතත්ත්වයට පත් කිරීමට පූර්ණ සැලසුම් දියත් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.



































