හදිසි අවස්ථා බෑගයක් ලෑස්ති කරගන්නැයි රටවල් රැසක් සිය වැසියන්නට උපදෙස් දී ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Andreas Wennerberg
- Author, ග්‍රේස් ඩීන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
රටපුරා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා නිවෙස්වල රැස්කර තබාගත යුතු දෑ පිළිබඳව බ්‍රිතාන්‍ය රජය ජනතාවට උපදෙස් ලබාදීමෙන් පසු, ඇතැම් වෙළෙඳසල්වල ටින් කළ ආහාර, රේඩියෝ සහ විදුලි පන්දම් අලෙවිය ඉහළ ගොස් තිබේ.
මෙවැනි හදිසි අවස්ථා සඳහා රැස්කර තබාගන්නා ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් හෙවත් පෞද්ගලික හදිසි අවස්ථා කට්ටලයක් සූදානම් කර තබාගැනීම බ්‍රිතාන්‍යයට අලුත් දෙයක් වුවද, ලෝකයේ බොහෝ රටවල එය සාමාන්‍ය දෙයකි.
'ආන්තික කාලගුණික තත්ත්වයන්ට, ස්වාභාවික විපත්වලට සහ සංකීර්ණ භූ දේශපාලනික තත්ත්වයන්ට මුහුණ දෙන රටවල්, හදිසි අවස්ථාවලට සූදානම් වීම පිළිබඳ උපදෙස් නිරන්තරයෙන් නිකුත් කරයි. ඇතැම් රටවල් එම උපදෙස් ඇතුළත් පොත් සෘජුවම නිවෙස් වෙත බෙදාහරියි.
එසේ නම්, ඇතැම් පුද්ගලයන් සතුව ඇති මෙම හදිසි අවස්ථා සඳහා අවශ්‍ය සැපයුම් මොනවාද? ඔවුන් ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේද?
'ලොකු අනතුරු ඇඟවීමක් තමයි, හැබැයි මං ඒ ගැන එච්චරම කලබල වෙලා නෑ' - ඇන්ඩ්‍රියාස්, ස්වීඩනය

ඡායාරූප මූලාශ්‍රය, Andreas Wennerberg
තිස් හැවිරිදි ඇන්ඩ්‍රියාස් වෙනර්බර්ග් මීට වසර දෙකකට පෙර රජය නිකුත් කළ උපදෙස් ඇතුළත් පොත් පිංචක් තම නිවසට ලැබෙන තෙක් හදිසි අවස්ථාවකට සූදානම් වීම පිළිබඳව කිසිවිටෙකත් සැලකිල්ලක් දක්වා තිබුණේ නොමැත.
ස්වීඩනයේ සෑම නිවසකටම බෙදාහැරුණු එම පොත් පිංචෙහි, "අර්බුදකාරී තත්ත්වයකදී හෝ යුද්ධයකදී" ප්‍රයෝජනයට ගැනීම සඳහා රැස්කර තබාගත යුතු දෑ සහ එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ විස්තර ඇතුළත් විය.
ස්ටොක්හෝම් නුවර පදිංචි ඇන්ඩ්‍රියාස් තම නිවසේ පහළ මහලේ සාපේක්ෂව කුඩා හදිසි සැපයුම් තොගයක් රැස්කර තිබේ. ඊට අතින් කරකවා ක්‍රියාත්මක කළ හැකි රේඩියෝවක්, ජලය ලීටර් 10ක් අඩංගු ටැංකියක් සහ ස්වීඩන් ක්‍රෝනර් 2,230ක (පවුම් 170ක) පමණ මුදලක් ඇතුළත් වේ. එම භාණ්ඩවලින් ඇතැම් ඒවා තමන් සතුව මීට පෙර සිටම තිබූ බව ඔහු පවසයි.
එය තමන්ට "ඇස් ඇරවූ අවස්ථාවක්" වූ බව ඔහු පවසයි. කෙසේ වෙතත්, රජය ලබාදුන් සියලු උපදෙස් සම්පූර්ණයෙන්ම පිළිපැදීමට තමන් කටයුතු කර නොමැති බව ද ඔහු පිළිගනී.
"මට ආරක්ෂිත බවක් දැනෙනවා... මම එතරම් කලබල වෙලා නැහැ."
'කෑම නාස්ති වෙන්නැති වෙන්න මං කෑම බඩු පිළිවෙළට මාරු කර කර පාවිච්චි කරනවා' – ඩෑන්, මේරිලන්ඩ්, ඇමෙරිකා එක්සත් ජනපදය

ඡායාරූප මූලාශ්‍රය, Dan C
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේරිලන්ඩ් ප්‍රාන්තයේ භෞතචිකිත්සකවරයෙකු වන ඩෑන් සී, පියෙකු බවට පත්වීමෙන් පසු හදිසි අවස්ථා සඳහා අවශ්‍ය සැපයුම් රැස් කිරීම ආරම්භ කර තිබේ. මේ වන විට ඒ සඳහා ඔහු ඇමෙරිකානු ඩොලර් 6,000ක් (පවුම් 4,470ක්) පමණ වැය කර ඇති අතර, එම සැපයුම් තම නිවසේ පහළ මහලේ රාක්කවල ගබඩා කර තිබේ.
"දරුවන් දෙදෙනෙකු සිටින 38 හැවිරිදි ඩෑන් පවසන්නේ, 'දෙමාපියෙකු ලෙස එය මගේ වගකීමේ කොටසක්' බවයි.
මීට වසර කිහිපයකට පෙර, පෙබරවාරි මාසයේ පැවති දැඩි ශීත කාලගුණය හේතුවෙන් ඔහුගේ නිවසට පිවිසීමේ මාර්ග අවහිර වූ අතර, දින දෙකක් පුරා ඔහුගේ පවුලට විදුලි සැපයුම ද අහිමි විය. ඒ වන විටත් ඔහු හදිසි අවස්ථා සඳහා අවශ්‍ය සැපයුම් රැස් කිරීම ආරම්භ කර තිබුණ ද, ඔහු පැවසුවේ "මා සූදානම් වී සිටිය යුතු අවස්ථා සම්බන්ධයෙන් බොහෝ අඩුපාඩු තිබුණ," බවයි.
දැන් ඩෑන් සතු තොගයට වතුර ගැලුම් 150ක් සහ නාන තටාකය තුළ තබා පිරවිය හැකි, මෘදු ප්ලාස්ටික්වලින් සාදන ලද විශාල ජල ගබඩා බඳුන් කිහිපයක් ද ඇතුළත් වේ. මීට අමතරව, ඇළ දොළ හෝ ගංගාවලින් ලබාගන්නා ජලය පානය කිරීමට සුදුසු තත්ත්වයට පත් කරගැනීම සඳහා භාවිත කරන 'ක්ලෝරීන් ඩයොක්සයිඩ්' පෙති ද ඔහු ළඟ තබාගෙන සිටියි.
ඔහුගේ "මාරුවෙන් මාරුවට භාවිතයට ගන්නා ආහාර ගබඩාවට" ඕට්ස්, ක්විනෝවා සහ රටකජු බටර් වැනි දිගු කාලයක් කල් තබාගත හැකි ආහාර ඇතුළත් වේ. එම ආහාර ආහාර පිසීම සඳහා නිරන්තරයෙන් භාවිත කරන අතර, ඒ වෙනුවට අලුත් ආහාර තොග එකතු කරනු ලබන්නේ "ඒවා කල් ඉකුත් වන තෙක් නිකරුණේ ගබඩා කර තැබීම වැළැක්වීමට" ය. සිව් දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලට මාස තුනක් පමණ ප්‍රමාණවත් වන ආහාර සැපයුම් තොගයක් ඔහු සතුව තිබේ.
ඩෑන් සතුව සූර්ය පැනල, කඳවුරු වලදී භාවිත කරන උදුනක්, කූඩාරමක් සහ දර තොගයක් ද ඇතුළත්. විදුලි සැපයුම හෝ දර භාවිතයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ප්‍රොපේන් උදුනක් ද ඔහු සතුව ඇත. මීට අමතරව, රුධිර වහනය පාලනය කිරීම සඳහා භාවිත කරන කට්ටල ද ඇතුළුව, පුළුල් පරාසයක වෛද්‍ය සැපයුම් තොගයක් ද ඔහු ගබඩා කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් හදිසි අවස්ථා කළමනාකරණ ඒජන්සිය (FEMA) ජනතාවට උපදෙස් දෙන්නේ හදිසි අවස්ථා සඳහා අවශ්‍ය සැපයුම් කට්ටලයක් සූදානම් කර තබාගන්නා ලෙසත්, පවුලේ සාමාජිකයන් සමඟ හදිසි අවස්ථා සැලැස්මක් සකස් කරගන්නා ලෙසත්, විවිධ හදිසි සිදුවීම්වලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත්ව සිටින ලෙසත් ය.
හදිසි අවස්ථා සඳහා සැලසුම් කිරීමේදී "සියල්ල ඉතාම නරක අතට හැරෙනු ඇතැයි සිතා බිය වීමේ" ප්‍රවණතාවක් තිබිය හැකි බව ඩෑන් පවසයි. නමුත් ඔහුට අනුව, මෙහිදී වැදගත් වන්නේ "වගකීම් සහගත නිවාස හිමියෙකු" ලෙස කටයුතු කිරීමයි.
'මම හැම අවුරුද්දක ම මගේ හදිසි අවස්ථා සැපයුම් කට්ටලය යාවත්කාලීන කරනවා' – අයුමි, ජපානය

ඡායාරූප මූලාශ්‍රය, Ayumi T
ටෝකියෝ නුවර පදිංචි අයුමි ටී, භූමිකම්පා, සුළි කුණාටු සහ අධික උෂ්ණත්වය වැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වසර ගණනාවක් තිස්සේ හදිසි අවස්ථා සැපයුම් බෑගයක් සූදානම් කර තබාගෙන සිටියි.
කෙසේ වෙතත්, 2024 වසරේදී සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් සිය ගණනක් මියගොස් ජපානයේ නොටෝ අර්ධද්වීපයට පුළුල් හානි සිදුවීමෙන් පසු, අයුමි තවත් වැඩි වශයෙන් හදිසි සැපයුම් ද්‍රව්‍ය රැස්කර තබාගෙන සිටියි.
ටෝකියෝ නගර බලධාරීන් විසින් පිටු 68කින් යුත් ආපදා වැළැක්වීමේ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. හදිසි අවස්ථා සැපයුම් කට්ටලයක අඩංගු විය යුතු දෑ සහ විවිධ හදිසි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ විස්තර එහි ඇතුළත් වේ.
ඇගේ ඇඳුම් අල්මාරියේ තබා ඇති හදිසි අවස්ථා සඳහා වූ බෑගයේ ඇඳුම්, තුවා, මාසික ඔසප් කාලය සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක්වරක් භාවිත කර ඉවතලන චොප්ස්ටික්ස්, ඇලෙන සුළු සටහන් පත්‍රිකා, එක්වරක් භාවිත කර ඉවතලන මුහුණු ආවරණ සහ කඳවුරු බැඳීමට යන පුද්ගලයන් භාවිත කරන ආකාරයේ එක්වරක් භාවිත කර ඉවතලන වැසිකිළියක් ද ඇතුළත් වේ.
"ඒවායින් බොහොමයක් මම දැන් භාවිත නොකරන පරණ දේවල්," විශ්ව විද්‍යාලයක සේවය කරන 27 හැවිරිදි අයුමි පවසයි.
සෑම නව වසරකම ඇයගේ පවුලේ සාමාජිකයන් හදිසි අවස්ථා සඳහා සූදානම් කර ඇති සැපයුම් කට්ටල පරීක්ෂා කර, අවශ්‍ය නම් ඒවා යාවත්කාලීන කරති. උදාහරණයක් ලෙස, කල් ඉකුත් වූ ආහාර වෙනුවට අලුත් ආහාර එකතු කරති.
'මං හැම තැනින්ම වගේ පොඩ්ඩ පොඩ්ඩ බඩු එකතු කරගන්නවා' – නිකෝල්, ජෝර්ජියා, ඇමෙරිකා එක්සත් ජනපදය

ඡායාරූප මූලාශ්‍රය, Nicole Bonds
පසුගිය වසර පහ පුරාම, 'හදිසි අවස්ථාවක් ඇති වුවහොත් කුමක් සිදුවේවිද?' කියන ප්රශ්නය මගේ හිතේ නිතරම තිබුණා," යැයි නිකෝල් බොන්ඩ්ස් පවසයි.
ඇට්ලන්ටා හි වෙසෙන නායකත්ව පුහුණුකරුවෙකු වන ඇය මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, ලොව පුරා "වඩාත් දරුණු කාලගුණික රටාවන් සහ කුණාටු සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතින" බවත්, ඒවාට මුහුණ දීමට ජනතාව ප්‍රමාණවත් ලෙස සූදානම් නොමැති බවයි.
ඇය පවසන්නේ, තමන්ගේ ආදර්ශ පාඨය "කලබල නොවන්න, සූදානම්ව සිටින්න" යන්න බවයි.
පිරිසිදු කිරීමේ සහ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය විවිධ ද්‍රව්‍ය රැසකට අමතරව, 48 හැවිරිදි නිකෝල් බැටරි, විදුලි බලයෙන් ආරෝපණය කළ හැකි පවර් බෑන්ක්, ප්‍රථමාධාර සැපයුම්, නැවත ආරෝපණය කළ හැකි විදුලි පංකා, බ්ලැන්කට් සහ නිදන බෑග් ද මිලදී ගෙන තිබේ.
වියදම් අවම කරගැනීම සඳහා ඇය වරින් වර විවිධ ස්ථානවලින් අවශ්‍ය සැපයුම් සුළු ප්‍රමාණ බැගින් මිලදී ගනිමින්, ක්‍රමයෙන් තම හදිසි සැපයුම් තොගය වැඩි කරගනී. ඇය එම ද්‍රව්‍යවලින් කොටසක් ඇඳ යට, ඇසුරුම් බෑග්වල සහ කුස්සියේ අල්මාරි තුළ තබාගෙන සිටියි.
'මගේ වයිෆ්ට ඉස්සෙල්ලා මේ ගැන පැහැදීමක් තිබුණේ නෑ, හැබැයි දැන් එයාට කාරණාව වැටහෙනවා' – මයිකල්, නෙදර්ලන්තය

ඡායාරූප මූලාශ්‍රය, Michael Stuut
නෙදර්ලන්තයේ මයිකල් ස්ටූට් ජීවත් වන ප්‍රදේශය මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා ඇත. ඔහු පවසන්නේ තමා දරුණු කාලගුණික තත්ත්වයන් පිළිබඳව පමණක් නොව, ඇති විය හැකි යුදමය තත්ත්වයන් ගැන ද කනස්සල්ලෙන් පසුවන බවයි.
39 හැවිරිදි ඔහු, සිය බිරිඳ සහ පස් හැවිරිදි පුත්‍රයා සමඟ හෝර්න් ප්‍රදේශයේ ජීවත් වන අතර, මීට වසර කිහිපයකට පෙර හදිසි අවස්ථා සඳහා අවශ්‍ය සැපයුම් කට්ටලය සූදානම් කිරීම ආරම්භ කළේය.
මයිකල් ආහාර ද්‍රව්‍යවලට අමතරව විදුලි බලය සැපයිය හැකි උපකරණ රැසක් ද හොඳින් තොග රැස්කර තබාගෙන සිටියි. අන්තර්ජාලයට පිවිසීම සඳහා භාවිත කළ හැකි, කුඩා මෙන්ම සැහැල්ලු චන්ද්‍රිකා උපකරණයක් වන 'ස්ටාර්ලින්ක් මිනි' (Starlink Mini) උපාංගයක් ද ඒ අතර වේ.
ඔහු නිවසේ අට්ටාලයේ සහ නිවස යට ඇති පහත් ඉඩකඩක සැපයුම් ගබඩා කර තබාගෙන සිටී. එම ස්ථානයේ ජලය ලීටර් 120ක් පමණ, මුදල්, ප්‍රථමාධාර කට්ටලයක් සහ විදුලි ජනක යන්ත්‍රයක් ද තිබේ.
මෙම වසරේ මුල් භාගයේදී මයිකල් තමන් සතුව ඇති ආහාර සැපයුම් තොගය සහ ඒවා කල් ඉකුත් විය හැකි දිනයන් සටහන් කර තබාගැනීම සඳහා යෙදුමක් නිර්මාණය කළේය.
"සූදානමින් ඉන්න කියන්නේ කලබල වෙන්න කියන එක නෙමෙයි, විදුලිය විසන්ධි වූ අවස්ථාවකදී වුවත් සන්සුන්ව සිටිය හැකි පුද්ගලයා වීම ඒකේ අරමුණයි." ඔහු පවසයි.
2025 වසරේ අග භාගයේදී නෙදර්ලන්ත බලධාරීන් ද නිවෙස්වල දින 72කට ප්‍රමාණවත් හදිසි සැපයුම් තබාගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙන වැඩසටහනක් ආරම්භ කළේය. එය එක්සත් රාජධානියේ බලධාරීන් මෑතකදී ක්‍රියාත්මක කළ වැඩසටහනට සමාන වේ.
මයිකල් හදිසි අවස්ථා සඳහා සූදානම් වීම ආරම්භ කළ මුල් කාලයේදී ඔහුගේ බිරිඳට එහි අවශ්‍යතාවක් ඇති බවක් හැඟී තිබුණේ නැත. එහෙත් දැන් ඇය එහි වැදගත්කම අවබෝධ කරගෙන සිටින බව ඔහු පවසයි. ඔවුන් තම පස් හැවිරිදි පුත්‍රයාට පවසා ඇත්තේ මෙම සැපයුම් තබාගෙන සිටින්නේ වෙළෙඳසැලට යාමට අකමැති අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට බවයි. "අපි ඔහුට අනවශ්‍ය බරක් පටවන්න කැමති නැහැ," යනුවෙන් ඔවුහු පවසති.
මයිකල් එක්සත් රාජධානියේ ද බලධාරීන් නිර්දේශ කර ඇති දින තුනක හදිසි සැපයුම් ප්‍රමාණයක් තබාගැනීමේ උපදෙස පිළිබඳව සැක පළ කරයි. "හැම ගෙදරකම මූලික අවශ්‍යතා කිහිපයක් හෝ සූදානම් කර තබාගන්නේ නම්, වඩාත්ම අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සහන සැලසීමට හදිසි සේවා අංශවලට එය පහසුවක් වනවා." ඔහු එසේ පැවසුවේය.
අතිරේක වාර්තාකරණය: හනේ තකහාෂි සහ රිචඩ් ෆ්රොස්ට්


































