මෑතකාලීනව බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට බලපා ඇති හේතු මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බන්ධනාගාර දෙකක් තුළ මෑත කාලයේ ඇති වූ "නොසන්සුන්" තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී මෙවැනි තත්ත්වයන් යළිත් ඇතිවීමේ අවදානමක් පවතී ද යන්න සැලකිල්ලක් දැක්විය යුතු කරුණකි.
ධාරිතාව මෙන් හතර ගුණයක් පමණ රැඳවියන් රඳවා සිටින මෙම බන්ධනාගාරවල ඇති වූ ගැටුම්වලට හේතුව අධික තදබදය බවට ඇතැම් පාර්ශව චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් දත්ත විමසා බැලීමේදී ද පෙනී යන්නේ, ඇතැම් බන්ධනාගාරවල ධාරිතාව මෙන් 8 ගුණයකටත් වඩා වැඩියෙන් රැඳවියන් රඳවා සිටින බව ය.
බන්ධනාගාර තුළ ඇති වන "නොසන්සුන්තාවන්ට" හේතුව කුමක් ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ තොරතුරු විමසා බැලීමකි.
ගැටුම් ඇති වෙන්නේ බන්ධනාගාරවල තියෙන අධික තදබදය නිසා
මීගමුව බන්ධනාගාරයේ "නොසන්සුන් තත්ත්වය" ඇතිවීමත් සමග සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් චෝදනා කළේ බන්ධනාගාරවල ඇති අධික තදබදය මෙවැනි තත්ත්වයන් බන්ධනාගාර තුළ ඇතිවීමට හේතුවක් බව ය.
"මේ හැම දේක ම පිටිපස්සේ තියෙන්නේ මේ අධික තදබදය. සිරකරුවන් විශාල සංඛ්‍යාව පොඩි තැනකට කොටු කළා ම බලාපොරොත්තු වෙන්න වෙන්නේ මේ වගේ දේවල් තමයි," බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ ය.
"මහර බන්ධනාගාරය 991ක් දාන්න පුළුවන් බන්ධනාගාරයක්. මේ සිද්ධිය වෙද්දී ඒකෙ 4400 ගාණක් ඉඳලා තියෙනවා. හිතලා බලන්න වැසිකිළි පහසුකම්, ජල පහසුකම් 1,000කට වගේ ප්‍රමාණවත් පහසුකම් 5,000කට ආසන්න පිරිසක් පාවිච්චි කරන්නේ?" ඔහු විමසයි.
"මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් අතර ගැටුම් හටගෙන තිබුණත්" ඔහු පවසන්නේ, එම "ගැටුම්" මෙතරම් දුරදිග යාමට හේතුව බන්ධනාගාර තදබදය බව ය.
එමෙන් ම "බන්ධනාගාර නිලධාරීන් සිදු කරන හිරිහැර සහ අකටයුතුකම්" ද ඊට හේතුවක් බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බන්ධනාගාරවල අධික තදබදය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බීබීසී සිංහල විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමු කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු පිළිතුර අනුව, ජූලි 04 දිනට සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබේ.
991ක් රඳවා තැබිය හැකි මහර බන්ධනාගාරයේ 4,447ක් ද, 496ක් පමණක් රඳවා තැබිය හැකි මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2,403ක් රඳවා සිට තිබේ.
මීට පෙර 2024 ජනවාරි මාසයේදී බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකාවේ එක් එක් බන්ධනාගාරවල පවතින ධාරිතාව සහ රඳවා ඇති සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.
2024 වසරේ ජනවාරි 15 දිනට වන එම දත්ත සහ මෙම නව දත්ත සසඳා බැලූ විට පෙනී යන කරුණක් වන්නේ බන්ධනාගාරගතව සිටින පිරිස සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ය.
2024 ජනවාරි වන විට බන්ධනාගාරවල රැඳවිය හැකි ධාරිතාව 10,312ක් වන අතර, එතැන් සිට මේ වන විට වසර දෙකක් සහ මාස 6කට වැඩි කාලයක් ගත වී තිබේ.
මේ වන විට එම ධාරිතාව වර්ධනය වී ඇත්තේ, 10,801ක් දක්වා පමණි.
කෙසේ නමුත් 2024 ජනවාරි වන විට රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 31,000ක් පමණ වූ අතර වර්තමානය වන විට එම සංඛ්‍යාව 10,000කින් පමණ එනම් 41,000ක් දක්වා පමණ ඉහළ ගොස් තිබේ.
මීට පෙර ඇති වූ ගැටුම්
මේ වසරේ බන්ධනාගාර තුළ ඇති වූ "නොසන්සුන්" තත්ත්වයන් ඇතිවීමට පෙර 2020 වසරේදී මහර බන්ධනාගාරයේදී මෙවැනි ආකාරයේ ගැටුමක් ඇති විය.
කොරෝනාවෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කිරීම හේතුවෙන් මෙය සිදුවූ බව මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේදී ප්‍රකාශ කළේ ය.
2012 වසරේ නොවැම්බර් 9 වන දා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුළු වූ 300ක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම ආරම්භ විය.
2012 වසරේ ජනවාරි මාසයේදී ද ආහාර ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක නිරත වීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුමක් ඇති විය.
'කෙනෙක් බන්ධනාගාරගත කරලා දඬුවමක මූලිකාංග ඉටු කර ගන්න බැරි නම් ඒ ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා'
මෙලෙස බන්ධනාගාර ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයන් ඇති වීමට හේතු සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකු වන සජීව මැදවත්තගෙන් ද බීබීසී සිංහල විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, සිරකරුවෙකු බන්ධනාගාරගත කිරීමේ මූලික අරමුණ වන්නේ එම පුද්ගලයා පුනරුත්ථාපනය කිරීම බව ය.
"අපි බන්ධනාගාර සිර කඳවුරු කියන වචන යොදා ගත්තට අපි අපරාධ විද්‍යාවේදී ඒ සඳහා යොදාගන්නේ විශෝධන මධ්‍යස්ථාන කියන නම. දඬුවමක පරමාර්ථය තමයි පුනරුත්ථාපනය කිරීම. ඇතුළට දාන සිරකරුවා හෝ සැකකරුවා පුනරුත්ථාපනය වෙන්නේ නැති නම් වැඩක් නෑ," ඔහු පැවසුවේ ය.
"දඬුවමක මූලිකාංග අනුව දඬුවම සර්ව සාධාරණ වෙන්න ඕනේ. ඒ වගේ ම ඒක ඉක්මන් වෙන්න ඕනේ. මේක නියත වෙන්න ඕනේ. ඒ කියන්නේ මොන පන්තියේ ද මොන කුලේ ද මොන ජාතියේ ද මොන දේශපාලන පක්ෂයේ ද කියන එක නැතිව අපරාධයක් කළොත් ඒ ලබා දෙන දඬුවම නියත වෙන්න ඕනේ. හතර වෙනි එක තමයි මේ දඬුවම ඉක්මන් වෙන්න ඕනේ. පස්වෙනි එක තමයි මේ දඬුවමින් මෙයා පුනරුත්ථාපනය වෙනවා වගේ ම ඒ අපරාධ ඉදිරියේදී කරන්න ඉන්න අය ඒක දැකලා ඒගොල්ලෝ අපරාධ නොකරන තත්ත්වයට පත් වෙන්න ඕනේ. අපට කෙනෙක් බන්ධනාගාර ගත කරලා මේ මූලිකාංග ඉටු කරගන්න බැරි නම් ඒ ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ ය.
"ලංකාවේ බන්ධනාගාරවල මම දකින විදිහට තියෙන ලොකු ම ප්‍රශ්නය තදබදය. එතන සමාජ විද්‍යාත්මක ගැටලුවක් තියෙනවා, අපරාධ විද්‍යාත්මක ගැටලුවක් තියෙනවා," ඔහු පැවසුවේ ය.
මෙම තදබදය හේතුවෙන් බොහෝ සිරකරුවන්ගේ පෞද්ගලිකත්වය අහිමි වී ඇති ඔහු පෙන්වා දෙයි.
"සාමාන්‍යයෙන් පොඩි කාමරේක එක පැත්තට තමයි නිදා ගන්න වෙන්නේ. මේගොල්ලොන්ගේ පුද්ගලිකත්වය, නිදහස හැම දේ ම අහිමි වෙනවා. බන්ධනාගාරගත වෙද්දී යම් යම් දේවල් අහිමි වෙනවා තමයි. නමුත් නිදහස තුළ යම් යම් දේවල් රැකෙන්න ඕනේ."
"එතකොට මේ බන්ධනාගාර තදබදයට හේතුව, බන්ධනාගාර විතරක් නෙවෙයි මුළු ක්‍රියාවලියේ ම තියෙන ගැටලු මේකට බලපානවා. පොලිසිය, අධිකරණ ක්‍රියාවලිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ තවත් නොයෙක් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සම්බන්ධ වෙනවා. ඒ ඔක්කොම ක්‍රියාවලිය තුළ තියෙන යම් යම් දේවල් හින්දා තමයි මේ දේවල් වෙන්නේ."
'මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය දාන්න ඕනේ පුනරුත්ථාපන කඳවුරුවලට'
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පෙන්වා දෙන්නේ, තදබදය මෙන් ම තවත් හේතු ගණනාවක් මේ වන විට ඇති වූ තත්තවයන්ට හේතු වී ඇති බව ය.
"මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය හරි නම් අපි දාන්න ඕනේ පුනරුත්ථාපන කඳවුරුවලට. නමුත් අවාසනාවකට ලංකාවේ ඒ වගේ අය වැටෙන්නේ බන්ධනාගාර තුළට ම යි. හේතුව තමයි ලංකාවේ අපරාධවලින් 60%ක් විතර තියෙන්නේ ගෙවල් බිඳුම්, සොරකන් සහ කොල්ලකෑම්. එහෙම අහු වෙන අයගෙන් 70%ක් 80%ක් විතර අහුවෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ පුද්ගලයින්. එකක් ඒගොල්ලෝ මත්වෙලා කරන අපරාධ. දෙවැනි එක මත්ද්‍රව්‍ය ගන්න මුදල් හොයන්න කරන අපරාධ. ඒ නිසා මේ අය බන්ධනාගාරගත වෙනවා, පුනරුත්ථාපනය වෙන්නේ නෑ, ඒ ගැටලුවත් තියෙනවා," ඔහු පෙන්වා දෙයි.
එමෙන් ම සිරකරුවන් වර්ගීකරණය කිරීමේ ද ගැටලු පවතින බව ඔහු පෙන්වා දෙයි.
"අපේ සිරකරුවන් වෙන් කිරීමේ ගැටලුවක් තියෙනවා. රිමාන්ඩ් සිරකරුවන්, දඬුවම් නියම වූ සිරකරුවන්, ඒ වගේ ම දැන් අපරාධ කල්ලි ක්‍රියාත්මක වෙනවා, ඒ කල්ලි අනුව, අපරාධවල බරපතළකම අනුව, වයස අනුව ඒ අය වෙන් වෙන්න ඕනේ. නමුත් ඒ වෙන් කිරීම එතරම් සාර්ථක විදිහට වෙන බව අපට පේන්නේ නෑ. ඒ වගේ ම බන්ධනාගාරයක කොටස් වෙන් කරලා තියෙන්න ඕනේ. එක කොටසක ඉන්න සංඛ්‍යාව 500යි නම් ඒ අය අනිත් අය එක්ක කිසිම විදිහකින් මුහු වෙන්න බෑ. මහර, මීගමුව දෙකේ ම ගත්තම ඒ හැමෝට ම එකට එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ එන ෆෝස් එක වැඩියි."
"බන්ධනාගාරවල ලොකු ඉඩ ප්‍රශ්නයක් තියෙනවා, නැවත බන්ධනාගාර හදද්දී ඒ ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේ ම ලොකු නිලධාරී හිඟයකුත් තියෙනවා. ඒ ගැනත් අපි සලකා බලන්න ඕනේ."
'ලංකාවේ විකල්ප දඬුවම් ක්‍රමවලට යොමු කිරීමේ මදිකමක් තියෙනවා'
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ නීතිය ක්‍රියාත්මක කරවීමේ ක්‍රමවේදය ඉක්මන් කිරීම සහ විකල්ප දඬුවම් ක්‍රම සඳහා යොමු වීමෙන් මෙවැනි ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට ඉඩක් ඇති බව ය.
"මේකට විකල්පයක් වශයෙන් රස පරීක්ෂක වාර්තා ඉක්මන් වුණොත් අපට යම් ප්‍රමාණයක් එළියට දාන්න පුළුවන්. මම තව දකින දෙයක් තමයි ලංකාවේ විකල්ප දඬුවම් ක්‍රමවලට තව යොමු කිරීමේ මදි කමක් තියෙනවා. අතට හරි කකුලට හරි චිප් එකක් දාලා එයාලව මොනිටර් කරන්න පුළුවන් සිස්ටම් තියෙනවා," ඔහු පැවසුවේ ය.
"ඒ වගේ ම, තව දෙයක් තමයි බන්ධනාගාරය ඇතුළේ ඉන්න හැමෝම මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කරන්නේ නෑ. සමහර අය විරුද්ධ යි. සමහර අය සහය දක්වනවා. මීගමුවේ කල්ලි දෙකක් අතර ගැටුමක් කියලා තමයි දැනට ඇවිලා තියෙන්නේ, ඒ ගැන තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක යි. නමුත් මහර ඒ වගේ සිද්ධියක් වුණා කියලා තොරතුරු ලැබිලා නෑ. ඒ නිසා එහෙම දැනට මේ ගැටුම් ඇතිවීමේ ලොකු රටාවක් හඳුනා ගන්න බෑ," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඇමතිවරයා පවසන්නේ කුමක් ද?
මෙලෙස බන්ධනාගාර ආශ්‍රිතව "නොසන්සුන්" තත්ත්වයන් ඇති වීමට හේතුව කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් සිදු කරන ලදී.
ඔහු පැවසුවේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙම තත්ත්වයට එක ම හේතුව ලෙස පැවසීමට නොහැකි බව ය.
"ඕවර් ක්‍රව්ඩින් හේතුවක් වෙන්න පුළුවන් ඒ නිසා ම මේක වෙනවා නම්. ඒක නම් එක ම හේතුව, එහෙනම් අවුරුදු 10ක් 15ක් තිස්සේ ම මේ වගේ ගැටුම් ඇති වෙන්නට ඕනේ. එහෙම වුණේ නෑනේ. එතකොට ඕවර් ක්‍රව්ඩින් ප්‍රශ්නෙකුත් තියෙනවා. නමුත් ඒක තවදුරටත් හොයලා බලන්න ඕනේ," අමාත්‍යවරයා පැවසුවේ ය.
"අපි මත්ද්‍රව්‍ය මේවට යන එක සෑහෙන්න ප්‍රමාණයකින් නවත්වාගෙන තියෙනවා. ඒ නිසාත් ඔවුන්ට යම් පීඩනයක් තියෙන බව පේනවා. ඒ නිසා අපි බලමු ඒක ද හේතුව, වෙනත් අපේ නිලධාරියෙක්ගේ ද වරද කියන කරුණු අපි හොයලා බලමු. "
එසේ ම මේ වන විට අනෙකුත් බන්ධනාගාරවල ද අවධානයෙන් සිටින ලෙසට දැනුම් දී ඇතැයි ඔහු පවසයි.
"අපි දැනුම් දීලා තියෙනවා ඉතා විමසිල්ලෙන් ඉන්න කියන එක. සහ බුද්ධි තොරතුරු අනුව පුළුවන් තරම් ප්‍රශ්න තියෙන තැන් සහ ඇතිවිය හැකි තැන් අවබෝධ කරගෙන මැඩපැවැත්වීමට ඔක්කොම එස්පීලට උපදෙස් දීලා තියෙන්නේ."
එමෙන් ම රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ වාර්තා වේගවත් කිරීමට නව යන්ත්‍ර ගෙන එන බව ඔහු පැවසුවේ ය.
"අගෝස්තු මාසේ 2ක් ද කොහෙ ද එනවා. වාර්තා වේගවත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. නිවාස අඩස්සියේ තැබීම සම්බන්ධ පනත දැනට කෙටුම්පත් කරමින් තියෙනවා. එකට කාලයක් කියන්න අමාරු යි. නමුත් ඒ වැඩේ කරමින් පවතිනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.
































