බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් බීබීසී යොමු කළ RTI ඉල්ලීමකින් හෙළි වූ විශේෂ තොරතුරු සහ රජය ගෙන ඇති පියවර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
අගෝස්තු 01 දින මහර බන්ධනාගාරයේ ඇතිවූ "නොසන්සුන්තාවකින්" එක් රැඳවියෙකු මියගොස් තවත් 7ක් තුවාල ලබා ඇති අතර, එයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම තත්ත්වය ඇති වන විට රිමාන්ඩ් සහ දඬුවම් නියම වී සිටි රැඳවියන් 4,100කට වැඩි ප්‍රමාණයක් මහර බන්ධනාගාරය තුළ සිටි බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසුවේ ය.
පසුගිය ජූලි 05 සහ 06 දෙදින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් විශාල අවදානයක් යොමු විය. අනුමත ධාරිතාවට සාපේක්ෂව හතරගුණයකින් රැඳවියන් බන්ධනාගාර තුළ සිටින බවට මානව හිමිකම් කණ්ඩායම් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබුණි.
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා බීබීසී සිංහල විසින් අධිකරණ අමාත්‍යංශයටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් තොරතුරු ඉල්ලීමක් යොමු කළ අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ඒ සඳහා පිළිතුරු ඒවා තිබේ.
එක් එක් බන්ධනාගාරයේ ධාරිතාව සහ ඒවායේ රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව මෙන් ම වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඔවුන්ගේ පිළිතුරේ සඳහන්ව තිබේ.
වැඩි ම තදබදයක් ඇති බන්ධනාගාර මොනවා ද?
උක්ත මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇතිවීමට පෙර දිනයේ එනම්, ජූලි 04 වන දිනට එක් එක් බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව සසඳා බැලීමේදී කොළඹ පිහිටි බන්ධනාගාර සංකීර්ණ ඇතුළු බොහෝ බන්ධනාගාරවල අනුමත ධාරිතාවයට සාපේක්ෂව ඊට කිහිප ගුණයක් වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටි බව පැහැදිලිව ම පෙනී යයි.
සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබේ.
ජූලි 05 සහ 06 දෙදින නොසන්සුන්තාවය ඇතිවූ මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාව 496ක් වන නමුත් මෙම ගැටුමට පෙර දිනයේ එහි රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව 2,403කි. එනම් ධාරිතාවය මෙන් පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවකි.


රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රමාදය
අධිකරණ අමාත්‍යංශයේ පිළිතුරේ සඳහන් වන ආකාරයට 2025 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට සිරගත වූ පිරිස සිරගතව සිටි කාලය සලකා බැලීමේදී ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් සැකකරුවන් ලෙස වසරකට අඩු කාලයක් සඳහා සිරගත වූ අය වන අතර, එම ප්‍රතිශතය 90%ක් බව ඔවුහු සඳහන් කරති.
ඔවුන්ගෙන් වැඩි ම සංඛ්‍යාවක් දින 14ක සිට මාසයක කාලයක් අතර කාලයක් දක්වා සිරගත ව සිටි අය වේ.
මෙම පිළිතුරේ සඳහන් කර ඇති ආකාරයට, රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙන් බන්ධනාගාර ගත කර සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව මේ වසරේ මැයි 31 දිනට 15,607කි.
අධිකරණ අමාත්‍යංශ වාර්තාවේ පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම තුළින් සැලකිය යුතු පිරිසකට ඇප ලබාදීමට හැකි බව ය.
දැනට මත්ද්‍රව්‍ය විශ්ලේෂණය යන්ත්‍ර 5ක් මගින් සිදු කරන බවත්, ඉදිරියේදී තවත් යන්ත්‍ර 3ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි යනුවෙන් ද එහි සඳහන් වේ.
තදබදය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බන්ධනාගාර තුළ පවතින තදබදය විසඳීම සඳහා සහ පවතින ඉඩකඩ සහ සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට 2026 ජූලි 03 වන දින බන්ධනාගාර කිහිපයක සිටි පිරිස් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, මැගසින් බන්ධනාගාරයේ 1,258ක් පල්ලන්සේන කඳවුරට ද, 271ක් බූස්ස බන්ධනාගාරයට ද මාරු කර යවා තිබේ.
පල්ලන්සේන බන්ධනාගාරයේ 2025 දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කර අවසන් කර තිබෙන අතර එය මේ වන විට භාවිතයට ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාගෙන වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීමට ද 2026 වසරේ ආරම්භ කර තිබේ.
මෙලෙස බන්ධනාගාර කිහිපයක ම නව ගොඩනැගිලි ඉදි කිරීමට සහ තාවකාලික ගොඩනැගිලි මේ වන විට ඉදි කෙරෙමින් පවතින බව තොරතුරු වල සඳහන් ය.
තව ද රැඳවියන්ගේ යහපැවැත්ම හේතුවෙන් 2024 නොවැම්බර් සිට 2026 ජූනි 26 දක්වා 587 දෙනෙකු නිදහස් කර තිබේ.
මීට අමතරව මේ සඳහා අවස්ථා කිහිපයකදී කමිටු කිහිපයක් ද රැස්වී ඇති බව අධිකරණ අමාත්‍යංශ පිළිතුරේ සඳහන් වේ.
සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීම සඳහා වන කෙටුම්පතක් ද මේ වන විට සකස් කෙරෙමින් පවතින බව එම පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.
කොළඹ බන්ධනාගාර සංකීර්ණය හොරණට ගෙන යාම
මේ අතර බන්ධනාගාර තදබදය විසඳීමට ගෙන ඇති සුවිශේෂී තීරණයක් වන්නේ කොළඹ බන්ධනගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයට ගෙන යාමේ තීරණය යි.
මේ සඳහා රු. බිලියන 79ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2028 සිට 2033 කාලයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට යෝජිත ය.
මෙහි සැලසුම් නිර්මාණ සකස් කර ඇති නමුත් වර්තමානයට ගැලපෙන සංශෝධිත ඇස්තමේන්තු වටිනාකම සකස් කර ආයෝජකයෙකු මගින් ඉදි කිරීමට හැකියාවක් පවතින්නේදැයි සොයා බැලීමට තීරණයක් ගෙන තිබේ.

2024ට සාපේක්ෂව 2026 තදබදය
මීට පෙර 2024 ජනවාරි මාසයේදී බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකාවේ එක් එක් බන්ධනාගාරවල පවතින ධාරිතාව සහ රඳවා ඇති සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.
2024 වසරේ ජනවාරි 15 දිනට වන එම දත්ත සහ මෙම නව දත්ත සසඳා බැලූ විට පෙනී යන කරුණක් වන්නේ ඒවායින් සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරන්නේ බන්ධනාගාර ගතව සිටින පිරිසේ පමණක් වීමයි.
බොහෝ බන්ධනාගාරවල එම වසර දෙකක කාලය තුළ ධාරිතාව කිසිදු ආකාරයකින් වෙනස් වී නොමැත.
2024 ජනවාරි වන විට බන්ධනාගාරවල රැඳවිය හැකි ධාරිතාව 10,312ක් වන අතර, එතැන් සිට මේ වන විට වසර දෙකක් සහ මාස 6කට වැඩි කාලයක් ගතවී තිබේ.
මේ වන විට එම ධාරිතාව වර්ධනය වී ඇත්තේ 10,801ක් දක්වා පමණි.
කෙසේ නමුත් 2024 ජනවාරි වන විට රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 31,000ක් පමණ වූ අතර වර්තමානය වන විට එම සංඛ්‍යාව 10,000කින් පමණ එනම් 41,000ක් දක්වා පමණ ඉහළ ගොස් තිබේ.































