ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඉඩ දෙනවා ද? නැද්ද?: අධිකරණය දුන් නියෝගය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ ය.
එමෙන් ම, පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය කළ නිවේදනයේ සඳහන් විය.
මෙම පෙත්සම අද (අගෝ: 03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිම සඳහා යළි කැඳවනු ලැබිණි.
අධිකරණයේදී මොක ද වුණේ?
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයේදී සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චය කරන ලද නඩු තීන්දු උපුටා දක්වමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවසීය.
"ස්වාමීනි... පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යනු විමර්ශනයක අත්‍යවශ්‍ය අංගයක් නොවේ. අත්‍යවශ්‍ය අවස්ථාවලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නට නම් ප්‍රබල සාක්ෂි තිබිය යුතු යි. ඒ වගේ ම ප්‍රබල සාධාරණ සැකයක් තිබිය යුතු යි. එසේ නොමැතිව එම පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත නොවන බවට ඉකුත් කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවල ප්‍රකාශ කර තිබෙනවා. මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. එම තත්ත්වය යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලබන්නේ කෙසේ ද?"
මෙම අවස්ථාවේදී විනිසුරු සරත් දිසානායක, ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මෙම පෙත්සම්කරුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව ඔබ ප්‍රකාශ කළා. එම නියෝගය ලබාගෙන තිබෙන්නේ කුමන පදනමක් යටතේ ද?" යනුවෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා, "කිසි ම පදනමක් නැහැ ස්වාමීනි.. මගේ සේවාදායකයා ඕනෑ ම විමර්ශනයකට සහය වෙන්න සූදානම්. ප්‍රකාශ ලබා දෙන්න සූදානම්. ඔහු මේ දක්වා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කිසි ම පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නෑ. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීමට තිබෙන අවශ්‍යතාව කුමක් ද? " යනුවෙන් ප්‍රශ්න කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, "ස්වාමීනි... පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට අධිකරණ විසින් ඉකුත්දා මරණීය දණ්ඩනය නියම කළා. ඒ චෝදනාව ම තමයි මෙම නඩුවෙහි වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරටත් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉතින් ඔහු සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ ඇයි? ශානි අබේසේකරට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන්න කටයුතු නොකරන්නේ ඇයි? " යනුවෙන් ප්‍රශ්න කළේ ය.
"මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒ තුළින් ඔවුන් පෙත්සම්කරුට එරෙහිව තිබෙන එකදු සාක්ෂියක්වත් අධිකරණයට ඉදිරිපත් කරන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේ ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇයි කියන කාරණයත් පැහැදිලි කරන්න ඔහු අසමත් වෙලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් මෙම නඩු කටයුත්ත අවසන් කිරීමට හැකියාව තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදී අපි ඇයි අධිකරණයේ කාලය නාස්ති කළ යුත්තේ?. සාක්ෂි තිබෙනවා නම් පෙත්සම්කරුට එරෙහිව නඩු පවරන්න. එම චෝදනාවලට මුහුණ දෙන්න ඔහු සූදානම්. එසේ තිබියදී අත්අඩංගුවට ගැනීමට උත්සුක වන්නේ ඇයි?" යනුවෙන් සඳහන් කළේ ය.
අවසාන වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, "ස්වාමීනි... මේ වන විට පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් ගොඩනගා තිබෙනවා. එය බිඳ හෙළිය හැකි කරුණු කිසිවක් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නෑ කියන එක යි අපගේ මතය. ඒනිසා මේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සාධාරණ පදනමක් තිබෙනවා. ඒ අනුව මා ඉල්ලා සිටිනවා මේ නඩුව විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස. ඒ වගේ ම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී විනිසුරුවරුන් ප්‍රශ්නයක් මතු කරමින් මෙම පෙත්සමේ අවසානාත්මක ඉල්ලීම සහ අතුරු තහනම් නියෝගය සමාන තත්ත්වයක පවතින හෙයින් පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට හැකියාවක් තිබේ දැයි ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, "ස්වාමීනි.. ප්‍රබල නඩු නිමිත්තක් ආවරණය වන අවස්ථාවක එවැනි ගැටලුවක් මතු වන්නේ නෑ. මෙහිදී අපි අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් ගොඩනගා තිබෙනවා. ඒ නිසා අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් බාධාවක් මතුවන්නේ නෑ," යනුවෙන් පැවසීය.
ඉන් අනතුරුව සියලු පාර්ශවයන්හි වාචික දේශන ඉදිරිපත් කිරිම් අවසන් කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.
ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවා ද? නැද්ද? යන නියෝගය සහ පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරනවා ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බවටත් විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.
වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පෙනී සිටියා ය.




























