සමාජ මාධ්‍යවල විවාදයට තුඩු දී ඇති මාරාන්තික උපවාසයකදී මිය ගිය තිලීපන් යනු කවුද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මාරාන්තික උපවාසයක නිරතව සිටියදී මිය ගිය ත්‍යාගි තිලීපන් අනුස්මරණය කරමින් ඔහුගේ රුව සහිත පිළිරුවක් යාපනයේ විවෘත කිරීම සමාජ මාධ්‍ය තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ ඉදිකර තිබූ ඔහුගේ ස්මාරකයක් මීට ඉහත දී විනාශ කර දමා තිබූ අතර එම ස්ථානයේ ම ඔහුගේ 39 වන අනුස්මරණයට සමගාමීව සැප්තැම්බර් 15 වන දා අලුතින් නිර්මාණය කරන ලද ලෝකඩ පිළිරුවක් විවෘත කර තිබිණි.

එක් ෆේස්බුක් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, තිලීපන් යනු "තමන් මියයන මොහොත වනතුරු දෙමළ ඊළාම් බෙදුම්වාදය සහ රට දෙකඩ කිරීමේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි කොටි ත්‍රස්තවාදියෙකු," බව ය.

"ඔහු එදා එම මතවාදය අතහැර, ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියා නම් අද ඔහුගේ පිළිරුවක් හැදුවට කිසි ම කෙනෙකු විරුද්ධ නොවනු ඇත," එහි තවදුරටත් සඳහන් විය.

මේ අතර, තවත් සටහනක මෙලෙස සඳහන් විය: "වීරයා වන්නේ දකුණේ එකාගේ වීරයා පමණක් නොවේ, උතුරට යුද්ධ කරන්න හේතු හදපු දකුණෙ එකාට උතුරේ එකාට විරුද්ධව ආයුධ අරන් වසර 27ක් සටන් කළ උන් වීරත්වයේ ලා සැලකීමේ අයිතිය ඔවුනට තිබේ."

මෙම මතභේදාත්මක තත්ත්වය තිලීපන් අනුස්මරණය සිදුවන සෑම වසරක ම පාහේ නිරීක්ෂණය වන තත්ත්වයකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලුතිනන් කර්නල් රාසයියා පාර්තීපන් ලෙස ද හඳුන්වන ත්‍යාගි තිලීපන් අනුස්මරණය කිරීම වෙනුවෙන් 1989 වසරේදී ඉදිකරන ලද ස්මාරකය ද 1996 වසරේ හානියට පත් කර තිබිණි.

2002 වසරේ සටන් විරාම ගිවිසුමෙන් පසුව හානියට පත් කරන ලද මෙම ස්මාරකය පිළිසකර කිරීමෙන් අනතුරුව 2006 සහ 2007 වසරවලදී ද ඊට හානි කර තිබූ අතර 2010 වසරේදී ස්මාරක කුළුණේ ඉතිරිව තිබුණු කොටස් ද විනාශ කර තිබිණි.

පසුගිය වසරේ කිහිපයේ ම එම ස්මාරකය පැවති ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අනුස්මරණ උත්සව පැවැත්වූ අතර මෙවර එහි ස්ථීර පිළිරුවක් ඉදිකර විවෘත කර තිබේ.

තිලීපන් යනු කවුද?

යාපනයේ උරුම්පිරායිහි උපත ලද රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්, උරුම්පිරායි දෙමළ මහා විදුහලෙන් සහ යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවේ ය.

එහෙත් වෛද්‍යවරයෙකු වීම පසෙක ලා ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියෙකු ලෙස සම්බන්ධ විය.

අනතුරුව කොටි සංවිධානයේ වගකීම් දරමින් ‍පෙරට පැමිණි තිලීපන් එම සංවිධානයේ ප්‍රචාරක අංශයේ මෙන් ම දේශපාලන අංශයේ වගකිම් දරමින් කටයුතු කර තිබේ.

ඉන්දියාවෙන් කළ ඉල්ලීම් සහ උපවාසය

ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය හමුදා යාපන අර්ධද්වීපයේ බලය තහවුරු ගන්නා සමයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ, යාපනය දේශපාලන ප්‍රධානියා වූයේ තිලීපන් ය.

එම සමයේදී ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් තිලීපන් විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත යොමු කරන ලදී:

  • සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
  • පුනරුත්ථාපන සේවා මුවාවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය අත්හිටුවීම.
  • දෙමළ ජනයා වෙසෙන උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්වීම.
  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
  • දෙමළ ප්‍රදේශවල පාසල් තුළ කඳවුරු බැඳ සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බලඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබා ගැනීම.

ඉන්දීය ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය ඉල්ලීම් ලැබෙන තෙක් උපවාසය අත්නොහරින බවට සපථ කරමින් 1987 සැප්තැම්බර් 15 පෙරවරු 9.30ට නල්ලූර් කන්දසාමි කෝවිල අසල තිලීපන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළේ ය.

උපවාසය අතරතුර සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක්

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැප්. 16 වන දා උපවාසය පැවති ස්ථානයට පැමිණ තිලීපන් හමුවී ඇති අතර සැප්. 17 වන දා නිරාහාරව දුර්වල වෙමින් සිටි තිලීපන් උපවාස භූමියේ රැස්ව සිටි ජනයා අමතා කතා කර තිබේ.

තිලීපන්ගේ උපවාසයට සහය පළ කිරීමට නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් සැප්. 20 ‍වන දා පැමිණ ඇති අතර ඉන්දීය සාමසාධක හමුදාවේ ඉහළ ‍පෙළේ නිලධාරීන් පිරිස් සැප්. 21 වන දා උපවාස‍යේ නිරත තිලීපන් හමුවී උපවාසය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකාච්ඡා කර ඇති බව වාර්තා වේ.

මේ අතර වාරයේ තිලීපන්ගේ උපවාසයට සහය පළ කිරීමට තව බොහෝ පිරිසක් ඊට එක්ව තිබේ. එමෙන් ම උපවාසයට සහය පළ කරමින් වවුනියාව, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය යනාදී නගරවලත් සමාන්තර උපවාස පවත්වා ඇත.

උපවාසය පැවති කාලයේ ඉන්දීය බලධාරීන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති අතර ඇතැම් පාර්ශව විසින් උපවාසය නතර කරන ලෙස කරන ලද ඉල්ලීම් ද තිලීපන් බැහැර කර තිබේ.

දින 10කට අධික කාලයක් මාරාන්තික උපවාසයක නිරත වූ තිලීපන් සැප්. 26 වන දා උදෑසන මිය ගියේ ය.