ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි අරාබියේ මරණ දඬුවම: භූමදානයට මළ සිරුරවත් නොලැබුණු පවුල් අත්විඳින වේදනාව
- Author, හනා සෙරාට්සියොන්
- Role, බීබීසී ටීග්රින්යා
- Author, ස්වාමිනාදන් නටරාජන්
- Role, ගෝලීය මාධ්‍යවේදී, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
"අපි මේ සියලු චාරිත්‍ර කළේ පවුලේ අයට සැනසීමක් ලැබීමටත්, ඔහු මියගොස් ඇති බව පිළිගැනීමටත් උපකාර කිරීමටයි. නමුත් මට නම් සැනසීම ලැබෙන එකක් නැහැ," තම පුත්‍රයා වන කිබ්‍රොම් වෙනුවෙන් ශෝකයට පත්ව සිටින පියෙකු වන කින්ෆේ අරෙගාවි පවසයි.
"මේ දුක මගේ ජීවිත කාලය පුරාවට ම තියෙයි."
ලෝකයේ වැඩි ම පිරිසක් මරණ දඬුවමට ලක් කරන රටවල් අතර නිරන්තරයෙන් ශ්‍රේණිගත කර ඇති චීනය සහ ඉරානයට පමණක් පිටුපසින් සිටින සෞදි අරාබියට කංසා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මේ වසරේ ජූනි මාසයේදී මරණ දඬුවම නියම කරන ලද ඉතියෝපියානුවන් පස් දෙනාගෙන් කිබ්‍රොම් කින්ෆේ අරෙගාවි ද අයෙකු විය.
බොහෝ ඉතියෝපියානු සාම්පදායික ක්‍රිස්තියානුවන්ට විධිමත් ආගමික අවමංගල්‍යයක් යනු ඇදහිල්ලේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එහිදී මළ සිරුර චාරිත්‍රානුකූල ආවරණයකින් ඔතා ලී පෙට්ටියක තැන්පත් කෙරේ.
දේහය නිවසට ආපසු ලබා නොදුන් නිසා 25 හැවිරිදි කිබ්‍රොම් වෙනුවෙන් අවමංගල්‍ය චාරිත්‍ර නිසි පරිදි කර ගත නොහැකි වී තිබේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව, ජූලි 27 වන දින දක්වා වසරක කාලය තුළ සෞදි අරාබිය පුද්ගලයින් 116 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේ ය.
"මෘත ශරීරයක් ආපසු භාර දීම ප්‍රතික්ෂේප කිරීම හුදෙක් පරිපාලනමය ගැටලුවක් නෙමෙයි. ඒක මරණ දඬුවමට ලක්වුණු කෙනාගේ පවුලට දඬුවම් කිරීමක්," 'යුරෝපීය සෞදි මානව හිමිකම් සංවිධානයට අනුබද්ධ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට මුහුණ දෙන පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින Reprieve MENA (මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපය) පුණ්‍යායතනයේ උපදේශක ඩුවා ධයිනි පවසයි.
ආගමික නිදහස සහ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නසිලා ඝානියා, සෞදි අරාබියේ මළ සිරුරු රඳවා තබා ගැනීමේ ක්‍රියාව "වධහිංසාවක් සහ අපයෝජනයක්" ලෙස විස්තර කර තිබේ.
ජූනි 23 වන දින සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශයේ අසීර් පළාතේ කමිස් මුෂායිට්හිදී මරණ දඬුවම පමුණුවන ලද ඉතියෝපියානු ජාතිකයන් පස් දෙනාට මරණ දඬුවම පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නොලැබුණු අතර ඔවුන්ගේ පවුල්වලටත් ඔවුන්ගේ පෞද්ගලික භාණ්ඩ හෝ ඔවුන්ගේ ආදරණීයයා සඳහා මරණ සහතිකයක් හෝ ලබා නොදුන් බව ඥාතීහු පවසති.
කිබ්‍රොම් කින්ෆේ අරෙගාවි 2020 වසරේදී පළමු වරට සෞදි අරාබියට ගියේ ය - ඒ, වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව - කින්ෆේ ලෙස හඳුන්වන ඔහුගේ පියා ද සමග ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර මාස 15ක් සිරගත කිරීමෙන් අනතුරුව පිටුවහල් කරනු ලැබූහ.
කෙසේ වෙතත්, ඉතියෝපියාවේ සිවිල් යුද්ධය හේතුවෙන්, කිබ්‍රොම් යළි සෞදි අරාබියට පැමිණීමට තීරණය කළේ ය. රතු මුහුද හරහා යාත්‍රා කිරීමට සහ යේමනය හරහා ගමන් කිරීමට ඔහු ජනයාගෙන් අධික ලෙස පිරී පැවති යාත්‍රාවකට ගොඩවිය.
2023 වසරේදී දේශ සීමාව තරණය කරමින් සිටින අතරතුර සෞදි බලධාරීන් කිබ්‍රොම් නැවතත් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ ය. මාස 03ක කාලයක් සිරගත කිරීමෙන් පසුව කිබ්‍රොම් පවසන්නේ, ඔහුගේ පුතා වරදකරු කර මරණ දඬුවම නියම කළ බව ය. වසර තුනක් සිරගත කිරීමෙන් පසු, ජූනි මාසයේදී ඔහුට හදිසියේ ම මරණ දඬුවම ක්‍රියාත්මක විය.
"එයාට කතා කරන්නවත් අපට අවස්ථාවක් ලැබුණේ නැහැ," කින්ෆේ හඬමින් පවසයි. "එයාගේ මරණය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍යවලින්," ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේය.
කින්ෆේ විශ්වාස කරන්නේ, ඔහුගේ පුතා නිර්දෝෂී බවත් සෞදි අරාබියේදී වැරදිසහගත ලෙස වරදකරුවෙකු කළ බවත් ය.
"මගේ පුතා හෂිෂ් ජාවාරමට සම්බන්ධ වී සිටි බව කිසි ම සාක්ෂියක් නැහැ," කිංෆේ පවසයි.
"කිසි ම කෙනෙක් මට ඔහුගේ මරණ සහතිකය හෝ ඔහුට අයත් කිසි ම දෙයක් හෝ ඔහුගේ මෘත ශරීරයවත් දුන්නේ නැහැ. මම තනිව ම හඬමින් දුක්වෙනවා. මට වෙන මොකක් ද කරන්න පුළුවන්?"
එදින ම සහ එම බන්ධනාගාරයේදී ම එම වරදට ම වරදකරු වීමෙන් පසු සිගාබු ගෙබ්‍රෙමරියම් ද මරණ දණ්ඩනයට ලක් කෙරිණි.
26 හැවිරිදි ඔහු ඉතියෝපියාවේ මධ්‍යම ටයිග්‍රේ කලාපයේ ග්‍රාමීය දිස්ත්‍රික්කයකින් පැමිණි දරුවන් අට දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා විය.
ඔහුගේ පියා වන හාගෝස් ගෙබ්‍රෙමේස්කෙල් පවසන්නේ, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු දරිද්‍රතාවයෙන් හා සිවිල් යුද්ධයෙන් පලා යාමට ඔහු නිවසින් පිටව ගිය බව ය.
"අපේ ප්‍රදේශයේ තරුණයින්ට එතරම් රැකියා නැහැ. ඔහු සෞදි අරාබියට ගියේ මට උදව් කරන්න හිතාගෙන," හාගෝස් පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ සිගාබු වසර තුන හමාරක් සිරගතව සිටියේ ය. ඔහු අවසන් වරට ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග කතාබහ කර ඇත්තේ පෙබරවාරි මාසයේදී ය.
"ඔහු කිව්වා ඉක්මනින් (ගෙදර) ඇවිත් විවාහ වෙනවා කියලා," හාගෝස් බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
ඔහුගේ මව වන ලෙටෙක්‍රිස්ටෝස් ගෙබ්‍රෙට්සාඩික් ඔහුට සුදුසු මනාලියක් සොයමින් සිටි නමුත් අවසානයේ සිදුවූයේ අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට ය.
"මගේ ළමයි ඔක්කොම ගැහැනු දරුවෝ. ඔහු තමයි එක ම පිරිමි දරුවා. ඔවුන්ගේ සහෝදරයා ඉක්මනින් නිවසට එයි කියලා ඔවුන්ට ගොඩක් බලාපොරොත්තු තිබුණා. ඔවුන් ඔහු වෙනුවෙන් මංගල ගීත සූදානම් කරමින් හිටියේ. දැන්, ඔවුන්ගේ වේදනාව මගේ වේදනාවට වඩා දරුණු යි," ඇය පවසයි.
සෞදි අරාබියේ ජීවත් වන ඥාතීන්ගෙන් සිගාබුගේ මරණ දඬුවම ගැන දැන ගැනීමෙන් අනතුරුව ඔහුගේ ක්‍රිස්තියානි පවුල තීරණය කළේ, ඔවුන්ගේ ප්‍රාදේශීය පල්ලියේ සංකේතාත්මක අවමංගල්‍යයක් සහ යාඥා මෙහෙයක් පැවැත්වීමට ය.
"මට දැනගන්න ඕනේ ඔහුගේ දේහය නිවසට එව්වේ නැත්තේ ඇයි කියන එක යි.," චාරිත්‍රානුකූලව දින 40ක ශෝක කාලයක් ගෙවා දැමූ ලෙටෙක්‍රිස්ටොස් පවසයි. "ඒකෙන් අපේ දුක වැඩි කරනවා වගේ ම අපගේ හදවත් කඩා වැටෙනවා."
සිගාබුගේ දෙමාපියන්ට අවශ්‍ය වන්නේ, සෞදි බලධාරීන් ඔවුන්ගේ පුත්‍රයා කළ අපරාධයේ සාක්ෂි මොනවා ද යන්න දැනුම් දීම සහ වෙනත් අය ඔහුගෙන් වාසි ලබාගත්තේ ද යන්න දැන ගැනීමට ය.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායමක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, සෞදි අරාබියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම නියම වූවන්ගෙන් 75%ක් විදේශිකයින් බව ය. ධයිනි යෝජනා කරන්නේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් අපරාධ ජාල විසින් සූරාකෑමට ලක් කරනු ලබන බව ය.
"ඇතැම් ඉතියෝපියානු නඩුවලදී, දේශ සීමාව තරණය කිරීමට උදව් කිරීම සඳහා භාණ්ඩ රැගෙන යාමට රැඳවියන් පෙළඹවූ බව වාර්තා වූ අතර, පකිස්ථාන නඩුවලදී ඇතැම්විට බලහත්කාරයෙන් හෝ රැකියා පොරොන්දු සඳහා තහනම් ද්‍රව්‍ය ගිල දැමීමට බල කරන ලද පුද්ගලයින් ගැන අපි ලේඛනවලට ඇතුළත් කළා," ධයිනි පැහැදිලි කරයි.
යුරෝපීය සෞදි මානව හිමිකම් සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේදී සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සවුද් රජු බලයට පත්වීමෙන් පසු සෞදි අරාබිය ක්‍රියාත්මක කර ඇති මුළු මරණ දඬුවම් සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති අතර ඉන් 42%ක් විදේශිකයින් ය.
සෞදි අරාබිය 2025 වසරේදී මරණ දඬුවම් 356ක් ක්‍රියාත්මක කර ඇති බව එම සංවිධානය ගණන් බලා ඇති අතර, එය වාර්තා වී ඇති ඉහළ ම වාර්ෂික එකතුව ය.
සෞදි නීතිය බලධාරීන්ට තානාපති කාර්යාලයේ වියදමින් මෘත ශරීරය නැවත රට වෙත ගෙන්වා ගැනීමට අවසර දෙන නමුත් ධයිනි පවසන්නේ, මෙය කිසි දිනෙක සිදු නොවන බව ය.
"මරණ දඬුවමට ලක්වූ සංක්‍රමණිකයෙකුගේ දේහය ඔවුන්ගේ පවුලට ආපසු ලබා දී ඇති කිසිදු සිද්ධියක් පිළිබඳව අපි දැනුවත් නැහැ. සෞදි ජාතිකයින් සම්බන්ධයෙන් අප වාර්තා කර ඇති සිද්ධිවලදී ඒක ඇත්ත කියන එක පෙනෙන්නට තිබෙනවා," ඇය පවසයි.
අතීතයේදී, මරණ දඬුවම ක්‍රියාත්මක කළ සිරකරුවන්ගේ මෘත දේහ මව් රටට ආපසු එවන්නැයි ඉල්ලා ඇතැම් පවුල් - තුර්කි සහ ජෝර්දාන ජාතිකයන් ඇතුළුව - මීට පෙර ව්‍යාපාරයක් දියත් කර තිබිණි. නමුත් එය සාර්ථක වූයේ නැතැයි ධයිනි වැඩිදුරටත් සඳහන් කරයි.
"ජෝර්දාන ජාතික පවුලකට ලබා දුන් මරණ සහතිකය අතිශය කුඩා එකක් වුණා. මෘත දේහය භූමදාන කළ ස්ථානය හෝ මරණය සිදුවූ ස්වභාවය පිළිබඳ කිසිදු තොරතුරක් එහි ඇතුළත් වුණේ නැහැ," ඇය පවසයි.
අභ්‍යන්තර හා විදේශ අමාත්‍යාංශ මෙන් ම ලන්ඩනයේ තානාපති කාර්යාලය යන ආයතන ද්විත්වය හරහා බීබීසී පුවත් සේවය සෞදි රජයෙන් ප්‍රතිචාරයක් ඉල්ලා සිටි නමුත් කිසිවක් නොලැබිණි.
සෞදි බලධාරීහු මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරති.
කංසා වැරදි සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ සෞදි ජාතිකයෙකුට ජූනි මාසයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිවේදනය කිරීමේදී, අභ්‍යන්තර අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් "පෘථිවියේ දූෂණය" ඇති කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දීම ගැන සාකච්ඡා කරන කුරාණයේ වාක්‍ය ගැන සඳහන් කරයි.
ප්‍රකාශයේ සඳහන් වූයේ, අහිංසක ජීවිත අහිමි වීම සහ මත්ද්‍රව්‍ය මගින් ඇති කරන බරපතළ දූෂණ සැලකිල්ලට ගෙන, "පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව මත්ද්‍රව්‍ය වසංගතයෙන් ආරක්ෂා කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතියෙන් නියම කර ඇති දරුණුතම දඬුවම් පැනවීමට" රජය කැපවී සිටින බව ය.
අදහස් විමසීම සඳහා සෞදි අරාබියේ පිහිටි ඉතියෝපියානු තානාපති කාර්යාලය ද සම්බන්ධ කරගෙන තිබිණි.
මේ වන විට මරණ දඬුවම නියම කර ඇති සිරකරුවන් කී දෙනෙකු සිටිනවා ද? යන්න සෞදි අරාබිය හෙළි නොකරයි, නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, එය සිය ගණනක් විය හැකි බව ය.
"සෞදි අරාබියේදී රහසිගතව හෝ නිසි පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කෙරෙන මරණ දඬුවම්, මරණයට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට සිරකරුවාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට තිබෙන අයිතිය උල්ලංඝනය කරනවා," මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච්හි මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු අංශයේ පර්යේෂිකා ජෝයි ෂියා පවසයි.
ආශ්චර්යයක් වෙනුවෙන් යාච්ඤා කිරීම
රහස්‍යභාවය පවත්වාගෙන යාම හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ගේ ජීවිත ද දැඩි වේදනාකාරී තත්ත්වයකට පත් වෙයි.
ආරක්ෂක හේතු මත සිය අනන්‍යතාව හා රඳවා සිටින ස්ථානය හෙළි කළ නොහැකි එක් සිරකරුවෙක්, තමන් සිරකරුවෙකු ලෙස ගෙවන ජීවිතය පිළිබඳව BBC වෙත පැවසීය.
ඔහු 2023 වසරේදී අත්අඩංගුවට ගැනුණේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව එල්ල කරමිනි. ඔහු වරදකරු කර දඬුවම් නියම වූ නමුත් සමාවක් බලාපොරොත්තු වන බව ඔහු පවසයි.
මෙම වසරේදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මරණ දඬුවමට ලක් කිරීම ඔහු දැක ඇති අතර, ඔහු දැන් මරණ දඬුවම පිළිබඳ බියකින් ජීවත් වෙයි.
"ආරක්ෂක නිලධාරීන් දොරවල් විවෘත කරන හැම වෙලාවෙ ම, අපි කල්පනා කරන්නේ ඊළඟට වාරය කාගේ වෙයි ද කියන එක යි.''
ඔහු ආශ්චර්යයක් සඳහා යාච්ඤා කරමින් සිටියි - දඬුවම අත්හිටුවීමක් - නමුත්, නරක ම දේ සිදුවුවහොත් ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ දේහය නිවසට යැවීම ය.
"මම දුක් වෙන්නේ මගේ මව්පියන්ට මගේ මළ සිරුරවත් බලා ගන්න බැරි වෙයි කියලා."