යුද්ධය අවසන් වී වසර 17යි: සත්‍ය හෙළිදරවු කිරීමේ ක්‍රියාවලියට සිදු වූයේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

දශක තුනකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවේ සත්‍ය හෙළිදරවු කිරීමේ සහ නැවත එවැනි ආකාරයේ ගැටුමක් ඇති නොවීම සඳහා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ගත යුතු උත්සාහයන් සම්බන්ධයෙන් අවධානයක් විය.

විවිධ රජයන් යටතේ විවිධ උත්සාහයන් ගනු ලැබූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන ද විවිධ යෝජනා මගින් ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය බලපෑම් ද සිදු කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණය සඳහා වන කාර්යාලය වැනි ආයතන ද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම වැනි කොමිසම් ද ශ්‍රී ලංකාවේ පිහිටවූයේ ය.

සිවිල් යුද්ධයක්, කෝළාහලයක් හෝ ජනසංහාරයක් වැනි ගැටුමකට යම් රටක් මුහුණ දුන් පසු එක් එක් පාර්ශවයන් අතින් සිදුවූ අපරාධ පිළිබඳ සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ගයට දායක වීම මෙන් ම නැවත එවැනි ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ප්‍රජාව ප්‍රතිසන්ධානය කිරීම වෙනුවෙන් එවැනි සිදුවීමක් සිදුවූ පසුව වහාම කමිටුවක් යොදවන්නේ කල් ගතවත්ම සාක්ෂි නැති වී යාමේ අවධානම හේතුවෙන් ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ දශක තුනක් පමණ පැවති සිවිල් යුද්ධය 2009 දී අවසන් වි වසර 17ක් ගතවන මේ වසර වන විට ද පැවති සිවිල් යුද්ධය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරවු කිරීමේ ක්‍රියාවලියේ ඉටු නොවූ බොහෝ දෑ ඇති බවට වින්දිත පාර්ශව චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ පැවති සංහිඳියා යාන්ත්‍රණ

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වීමෙන් පසුව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් 2010 දී "උගත් පාඩම් හා සංහිඳියා කොමිසම" යනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ ය.

එහි සභාපතිවරයා වූයේ විශ්‍රාමික නීතිපතිවරයෙකු සහ සොලිසිටර් ජනරාල්වරයෙකු වූ ජනාධිපති නීතීඥ චිත්ත රන්ජන් ද සිල්වා ය.

එම කොමිසමේ වාර්තාව 2011 ජනවාරි මාසයේ එළිදැක්වූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත.

වෙනත් කමිටු අතුරින් කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් වන්නේ 2016 දී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමයි.

එහෙත් 2018 වසරේ සිට එය ක්‍රියාත්මක වුවද මෙතෙක් කිසිඳු අතුරුදන් වූවෙකු පිළිබඳ සත්‍ය හෙළි කිරීමට මෙම කාර්යාලය අපොහොසත් වී තිබේ.

2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථිර කරගත් 30/1 යෝජනාව තුළ සත්‍ය සෙවීමේ කමිටුවක් පිහිටුවීමට යෝජනා කර තිබිණි.

එහි සත්‍ය සෙවීමේ කමිටුව්ක් පිහිටුවීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ සෙවීමේ කාර්යාලයක් පිහිටුවීම, හානිපූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම හා විදේශීය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් සකස් කිරීම ඇතුළත් විය.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා හානිපූර්ණ කාර්යාලය පිහිටුවා ඇත්තේ ඒ අනුව ය.

2024 වසරේදී සත්‍ය සෙවීම හා සංහිඳියා කොමිසමක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබූ නමුත් එය පනතක් ලෙස සම්මත වී නොමැත.

ප්‍රශ්නය කොතැන ද?

"OMP [අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය] තියෙනවා, නමුත් ඒකට අවශ්‍ය සල්ලි දීලා නැහැ මම හිතන්නේ. අනිත් එක අවශ්‍ය මිනිස්සු දාන්න ඕනේ එතනට. OMP එකේ වැඩ ඉක්මන් කරලා කරන්න බැහැ. ඒක එක ප්‍රශ්නයක්," යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පවසයි.

"අනිත් එක යුද අපරාධ ගැන මොනවත් කරලා නැහැ. කිසි ම නඩුවක් තාම දාලා නැහැනේ ඒ ගැන. සංහිඳියාව ගොඩනඟන්න ඒවා කරන්න ඕනේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ," ඔහු පැවසුවේ ය.

මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ අයින්ගරන් කුගදාසන් ද බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ යුද අපරාධ සම්බන්ධයෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ය.

"යුද්ධයේ වෙච්ච අපරාධවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ ව්‍යවස්ථා වෙනසකින් බලය බෙදීමක් ඕනේ කියලා තමයි අපේ ප්‍රධාන ඉල්ලීම්. ඒකටත් මුකුත් කරන්නේ නැහැ," ඔහු පවසයි.

"පොලිටිකල් සිස්ටම් එකේ වැරදි තියෙනවා, ආණ්ඩුවේ වරද තියෙනවා, වෙනස් කොට සැලකීම තියෙනවා ඒ නිසා තමයි එල්ටීටීඊ පටන් ගත්තේ, ඒ නිසා තමයි යුද්ධ වුණේ, ඒ නිසා තමයි මේ දේවල් වුණේ කියලා පිළිගත්තොත් ඒ එක්කම අනාගතයේ ආයේ මේ වගේ මුකුත් වෙන්නේ නැහැ කියලා ගැරන්ටි එකක් හදලා දෙනවා නම් සාමාන්‍ය අයට ඒකත් ඇති. නමුත් ඒ දෙකම නෑනේ. ව්‍යස්ථා වෙනසක් නැහැ, 13 ව්‍යස්වස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ," නීතිඥවරයා පැවසුවේ ය.

උතුරේ ඉඩම් ප්‍රශ්නය

මේ අතර එම නීතිඥවරයා පෙන්වා දෙන්නේ උතුරේ ජනතාව තවමත් ඔවුන්ගේ ඉඩම්වල අයිතිවාසිකම භුක්ති විඳීමට නොහැකිව සිටින බව ය.

"2015 රෙසලූෂන් එකේ [එක්සත් ජාතීන්ගේ යෝජනාව] තියෙනවානේ, ඉඩම් නිදහස් කරන්න ඕනේ, හමුදාකරණය නවත්වන්න ඕනේ, PTA අයින් කරන්න ඕනේ කියලා. ගොඩක් දේවල් තිබ්බානේ. හමුදාකරණය දැන් අඩු වෙලා තියෙනවා. ඉඩම් නිදහස් කරලා තියෙනවා," ඔහු පවසයි.

තව ද නීතිඥ අයින්ගරන් කුගදාසන් පවසන්නේ ඔවුන්ගේ ඉඩම් පවරාගැනීම තවදුරටත් සිදු වන බව ය.

"ඉඩම් අල්ලන එක තාම යනවා, කලින් නම් මිලිටරි විතරයි ඒක කලේ දැන් වෙන වෙන ඩිපාර්ට්මන්ට් පාවිච්චි කරලා ඒක කරනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ඒ වගේ ඩිපාර්ට්මන්ට්ස් පාවිච් කරලා ඉඩම් අල්ලනවා. ඒ දෙපාර්තුමේන්තු ඉඩම් ඇල්ලුවාට පස්සේ බුදු පිළිම දාලා මිලිටරි සෙකියුරිටි දානවා. එහෙම කරලා සංස්කෘතිය, ඉතිහාසය වෙනස් කරන්න තමයි හදන්නේ කියලා මිනිස්සු කියනවා," නීතිඥවරයා පවසයි.

2024 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් අනතුරුව උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන විශේෂ සිදුවීමක් වූයේ, වසර ගණනාවක් යාපනය වඩමාරච්චි ජනතාව බලාපොරොත්තු වු යාපනය, ආරක්ෂක සේනා මූලස්ථානය හරහා අච්චුවේලි දක්වා වැටී ඇති මාර්ගය ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් විවෘත කිරීම ය.

එය ජාතික ජන බලවේගය රජය උතුරේ ජනතාවට සහනයක් සැලසීම සඳහා ගනු ලැබූ පළමු ක්‍රියාමාර්ගය ලෙස දැක්විය හැකි ය.

වසර 35 ක පමණ කාලයක් වසා දමා තිබු පලාලි සිට අච්චුවේලි දක්වා වන මාර්ගය ඒ අනුව විවෘත විය.

2024 නොවැම්බර් වන විට උතුරු පළාත තුළ යුද හමුදාව භාරයේ රජයේ ඉඩම් අක්කර 7264.59 ක් හා පෞද්ගලික ඉඩම් අක්කර 2306.77 ලෙසට ඉඩම් අක්කර 9571.36 ක ප්‍රමාණයක් තිබිණි.

'ලොකු සැකයක් තියෙනවා මේ ආණ්ඩුව මොනවාද කරන්නේ කියලා'

ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය වෙත සැළකිය යුතු ජනවරමක් ලබාදී තිබිණි.

ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු පළාතේ ජනතාව ජාතික ජන බලවේගයට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාදී තිබු අතර, ඉතිහාසයේ කෙදිනකවත් සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂවල ග්‍රහණයෙන් ගිලිහී නොතිබූ යාපනය ඡන්ද බලප්‍රදේශය පවා දිනා ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන රජය සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් යම් පියවර ගෙන ඇතත්, තවත් ගත යුතු පියවර ඇති බව ය.

"පොඩි පියවර අරන් තියෙනවා," ඔහු පවසයි.

"මේ ආණ්ඩුවට ලොකු බහුතරයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒ බහුකරය පාවිච්චි කරන්නේ නැහැ මේවා කරන්න. පළාත් සභා මැතිවරණය තියන්න, ත්‍රස්වාදය වැළැක්විමේ පනත අහෝසි කරන්න, OSA [මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත] අහෝසි කරන්න, ඒවා ඔක්කොම ඒගොල්ලෝ පොරොන්දු වුණා බලයට එනකොට නමුත් කිසි පියවරක් අරගෙන නෑනේ. තාම දේශපාලන විසඳුමක් ඕනේ මේ ප්‍රශ්නයට. ඒක ගැන මට ලොකු සැකයක් තියෙනවා මේ ආණ්ඩුව මොනවාද කරන්නේ කියලා."

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමයේ සභාපතිනි එස්. ජෙනීටා පවසන්නේ ඔවුන් වර්තමාන රජය යටතේ ඔවුන්ට සාධාරණයක් ඇති වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එය ඉටු වී නොමැත.

"දැන් ආණ්ඩු කීයක් වෙනස් වෙලා තියෙනවාද මේ අවුරුදු 17 ඇතුළත.ඒත් ඒ එක ම ආණ්ඩුවකින්වත් අපේ අතුරුදහන්වු ඥාතීන් සොයාදෙන්න නිසි වැඩපිළිවෙළක් සකස් කරලා දුන්නේ නෑ. මේ ආණ්ඩුව හරහා අපි බලාපොරොත්තු වුණා අපේ ගැටළුවට නිසි විසදුමක් ලබාදෙයි කියලා. ඒත් මේ ආණ්ඩුව හරහාවත් අපේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබෙන පාටක් නෑ," ඇය පවසයි.

සංහිඳියාව ඇති කරන්න රජය කළ යුත්තේ කුමක්ද?

රජය විසින් සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැහැදිලි කළේ ය.

"සංහිඳියාව ඇති කරන්න OMP එකට සල්ලි දෙන්න ඕනේ, තව මිනිස්සු දාන්න ඕනේ එතනට. නඩු තියෙනවා නම් නඩු දාන්න ඕනේ. යුද අපරාධ ගැන පිළිගෙන නඩු දාන්න ඕනේ. කවුරුත් කියන්නේ නෑනේ යුද හමුදාව සම්පුර්ණයෙන්ම යුද අපරාධ කළා කියලා. සමහර අය ඉන්නවා යුද අපරාධ කරා ඒගොල්ලන්ට නඩුවක් දාලා ඉදිරියට යන්න ඕනේ," ඔහු විස්තර කළේ ය.

"කිසි ආණ්ඩුවක් මේවා ගැන පිළිගන්නේ නැහැ, මේවා පිළිගන්න ඕනේ. පළවෙනි එක ඒක ගැන පිළිගන්න ඕනේ. PTA එකත් අහෝසි කරන්න ඕනේ. දැන් බලන්න මිනිස්සු කීදෙනක් ඉන්නවාද එතන අවුරුදු 10කට වැඩිය කිසි චෝදනාවක් දාලා නැහැ ඒගොල්ලෝ තාම හිරගෙදර. ඒවාගේ දේවල් හරිගස්සන්න ඕනේ."