ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශිරන්ති රාජපක්ෂ: හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳට ඇති චෝදනා මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පිළිබඳව යළිත් දැඩි කතාබහක් මතු වී තිබේ.
ඒ, බදාදා (සැප්: 16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය පුවතත් සමග ය.
ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ මව වන ඈන් ද ලිවේරා ද සිංගප්පූරු ගුවන් සේවයේ SQ 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි.
ඇය එලෙස රටින් පිටවගොස් ඇත්තේ, සැප්තැම්බර් 24 වන දා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති අවස්ථාවක ය.
'රටින් පලාගියේ නෑ'
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ බදාදා (සැප්: 16) මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, ශිරන්ති රාජපක්ෂ රටින් පලා යාමක් සිදු නොකළ අතර, අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්වූ බව ය.
මේ අතර, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දීමක් කර තිබුණේ, ගුවන් යානයට ගොඩවීමට ආසන්න අවස්ථාවේ බව ද ඔහු පැවසීය.
ආන්දෝලනාත්මක සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, පෙට් ස්කෑන් යන්ත්‍රය මිල දී ගැනීමට එකතු කරන ලද අරමුදලට අයත් මුදල් තවමත් කිසිදු අඩුවක් නොමැතිව ගිණුමෙහි ඇති බව ය.
ශිරන්ති රාජපක්ෂට එරෙහිව වරින්වර චෝදනා කිහිපයක් එල්ල වී තිබේ.
01. සිරිලිය ගිණුම
හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ 143100146235069 යන ගිණුම් අංකය යටතේ සිරිලිය සවිය ගිණුම ආරම්භ කර ඇත.
මෙහි ගිණුම ආරම්භ කිරීමට ලබා දී ඇති තොරතුරුවල තිදෙනාගේ ම ලිපිනය වශයෙන් තංගල්ලේ කාල්ටන් නිවසේ ලිපිනය සඳහන්ව තිබී ඇති අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් තිබී ඇත්තේ 222222222V යනුවෙනි.
සාමාන්‍යයෙන් පැරණි ජාතික හැඳුනුම්පත් අංකයේ පළමු අංක දෙක උපන් වර්ෂය අනුව යෙදෙන අතර, ශිරන්ති රාජපක්ෂ 1922 වසරේ උපන් තැනැත්තියක නොවන හෙයින් එවැනි හැඳුනුම්පත් අංකයක් තිබීමට ප්‍රයෝගිකව හැකියාවක් නොමැති බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.
02. CT ස්කෑන් යන්ත්‍ර චෝදනාව
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ 'CT ස්කෑන්' යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සඳහා රාජ්‍ය බැංකුවකින් මුදල් පරිත්‍යාගයක් ලබාගෙන චීන රජයෙන් ලංකාවට ලබා දුන් 'CT ස්කෑන්' යන්ත්‍රයක් 'සිරිලිය පදනම' මගින් ළමා රෝහලට පරිත්‍යාග කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ, අදාළ මුදල් ප්‍රමාණය සිරිලිය ගිණුමෙහි තවමත් සුරක්ෂිතව පවතින අතර, එහි කිසිදු වංචාවක් සිදුවී නොමැති බව ය.
03. සිරිලිය පදනමේ ඩිෆෙන්ඩර් රථය සහ තාජුඩීන් ඝාතනය
තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස 2017දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබිණි.
ඇය කැඳවා තිබුණේ, රතු කුරුස ආයතනය විසින් 'සිරිලිය සවිය' සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.
(WP) KA-0642 අංක දරන ප්‍රශ්නගත ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ 2017 ජූලි 27 වන දින ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ නැත.
මීට පෙර ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජූනි මස 30 වන දා, තම ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය 2015දී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.
(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.
මීට පෙර 2015 ජූනි 01 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් කතානායක නිල නිවසේදී ප්‍රශ්න කිරීමක් සිදුකළේ ය.
මහජන බැංකුවේ, සුදුවැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය 'සිරිලිය සවිය' ගිණුමට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැර කිරීම තුළින් සැකසහිත ගනුදෙනුවක් සිදු වී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් මත පැවැත්වූ පරීක්ෂණ සඳහා එම ප්‍රශ්න කිරීම සිදු කර තිබිණි.
එසේ ම එම ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් දී ඇති බවත් පැමිණිලි පාර්ශවය පෙන්වා දී තිබිණි.
04. සුඛෝපභෝගී බස් රථ දෙකක් කාල්ටන් පෙරපාසලට ලබා දීම
ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා බස්රථ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා තීරුබදු නොමැතිව ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ දෙකක් ශිරන්ති රාජපක්ෂ යටතේ පවත්වාගෙන යන කාල්ටන් පෙරපාසලට ලබා දීමෙන් දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
05. රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ චෝදනාව
රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ වංචාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බවට ඉදිරිපත් වූ සාක්ෂි විභාග කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව සිය ස්වාමියාගෙන් පළිගැනීමට කටයුතු කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ 2015 වසරේ ජනවාරි මාසයේදී චෝදනා කළා ය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති බිරිඳට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
"මටත්, මගේ රට ඉන්න පුතාටත්, මහත්තයටත් දිගින් දිගට ම තර්ජන ආව මේ සම්බන්ධයෙන් කිසි ම හෙළිදරව්වක් කිසි ම කෙනෙකුට කරන්න එපා, කළොත් මගේ මහත්තයාට කවදාවත් එළියට එන්න දෙන්නෙත් නෑ කියල," යනුවෙන් ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සඳහන් කළා ය.
කෙසේ වෙතත්, අදාළ විමර්ශනය සහ හිටපු ජනාධිපති ආර්යාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව, එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවිය දැරූ අනුර සේනානායක බීබීසී මාධ්‍යවේදී ජයප්‍රකාෂ් නල්ලුසාමි 2015 ජනවාරි මාසයේදී කළ විමසීමකදී කියා සිටියේ ය.