වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන්නේ ඇයි?

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (සැප්: 8) සිට සැප්තැම්බර් 10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එරට ආණ්ඩුවේ මෙන් ම පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙවන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ලෙස සැලකේ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට දේශපාලන සහ ආරක්ෂක ප්‍රධානීන් සමග විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ය. එමෙන් ම, මෙම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ප්‍රජාව ද හමුවනු ඇත.

ඉන්දීය ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

38 වසරකට පසුව සිදුවන සංචාරය

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සුවිශේෂි සංචාරයක් ලෙස සැලකේ. අවසන් වරට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ මීට වසර 38 කට ඉහතදී වීම ඊට හේතුව යි.

අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු පැමිණියේ, 1988 වසරේදී ය. හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ.සී. පාන්ට් අවසන් වරට ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණියේ ය.

ඉන්පසුව 2005 වසරේදී එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි මෙරටට පැමිණි නමුත් ඒ නිල සංචාරයක් සඳහා නොවූ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණියේ ඝාතනයට ලක්වූ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ය.

ශ්‍රී ලංකා සංචාරයේදී සිදුවන්නේ කුමක් ද?

දෙරට අතර ශක්තිමත් සමුද්‍රීය හා ආරක්ෂක හවුල්කාරීත්වයක් ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ක්ෂේත්‍රවල පවතින සාම්ප්‍රදායිකව ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ සංචාරයේදී හැකි වනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සහ හමුදා ප්‍රධානින් හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවට අදාළ වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඉඩ තිබේ. විශේෂයෙන් ම ඉන්දීය මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි සැලකිය හැකි ය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් ඇති විය හැකි සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

2025 අප්‍රේල් මස 05 වන දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දියාව - ශ්‍රී ලංකාව අතර වන ආරක්ෂක සහයෝගීතා ගිවිසුම පූර්ණ සහ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක පැවසුවේ, පසුගිය වසරේ අත්සන් තැබූ ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ සමාලෝචනයක් සිදු කිරීමට සැලසුම් කර නොමැති බව ය.

කෙසේ වෙතත්, ආරක්ෂක කටයුතු ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙම සංචාරයේදී සමාලෝචනයක් සිදු කරනු ඇති බව ද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවා ය.

"මෙම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය විවිධ ක්ෂේත්‍ර වෙත යොමු වනු ඇති. විශේෂයෙන්ම ආයතනික සහයෝගිතාව, එනම් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විවිධ ආයතන අතර පවතින අන්තර්ක්‍රියාකාරිත්වය ද ඊට ඇතුළත් වේවි.

"මෙම සංචාරයේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇතත්, ඒවා ආරක්ෂක සහයෝගිතාවට වඩා ආයතනික සහයෝගිතාවට අදාළ ගිවිසුම් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි යි. එලෙස අත්සන් තැබෙන ගිවිසුම් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ලබාදීමට අපේක්ෂා කරනවා," යනුවෙන් ඇය පැවසුවා ය.

'ආරක්ෂක ගිවිසුම ගැන කලාපයේ වැඩි අවධානය යොමු වේවි'

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තැබීමට නියමිත බව පැවසෙන ගුවන් ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් කලාපයේ සෙසු රටවල ද අවධානය යොමු වනු ඇති බව ය.

"යෝජිත ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයේදී බලාපොරොත්තු වෙනවා ආරක්ෂක සහයෝගීතාවකට යන්න. දැනට ඉදිරිපත් වෙලා තියෙනවා ගුවන් ආරක්ෂණ පද්ධතියක් සම්බන්ධයෙන් එකඟතාවයක් අත්කර ගන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. මෙතැනදී අපි දකිනවා මෙවැනි ගිවිසුම් එක්තරා ආකාරයකට කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුහදතාවය වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් කලාපයේ අනිත් රටවල් දකින්න පුළුවන් එක්තරා විදිහකට තමන්ට තර්ජනයක් විදිහට. සාර්ක් රාජ්‍යයක් වශයෙන් මෙතැනදී අපි කල්පනාකාරීව තමයි මේ ගැන හිතන්න ඕන," ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති වන ඕනෑ ම ආරක්ෂක සහයෝගීතාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ චීනය ද දැඩි අවධානයෙන් පසුවන බව ආචාර්ය හසිත කන්දඋඩහේවා පෙන්වා දුන්නේ ය. ඔහු පැවසුවේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයෙන් පසුව චීන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි ඉඩක් ඇති බව ය.

"ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන ආරක්ෂක ගිවිසුම් අනිවාර්යෙන්ම ඇමෙරිකාව සහ චීනය බොහොම ගැඹුරින් සලකා බලනවා. ඉතින් මේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ගැන ගිවිසුමත් එක්ක මම හිතන්නේ චීනය ගොඩක් උනන්දු වේවි ඉදිරි අවුරුදු දෙකේදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කුමන ආකාරයකට ගමන් කරයි ද කියන එක ගැන. මම හිතන්නේ බොහෝ වෙලාවට ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පස්සේ චීනය තමන්ගේ දෙවන මට්ටමේ දූත පිරිසක් ලංකාවට එවයි කියලා මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්න සහ ඒ හරහා චීනය උත්සහ කරයි, ලංකාවේ වෙනත් ආකාරයේ සහයෝගීතාවක් වර්ධනය කර ගන්න. ඒකෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාවක් වර්ධනය වෙද්දී චීනය ඒක ප්‍රතිතුලනය කරන්න අනුගමනය කරන එක්තරා ක්‍රමවේදයක් ඒක."

'හොඳ සහ නරක දෙක ම තියෙනවා'

නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකාවට පසුගිය කාලසීමාවේදී ඉන්දියාව කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන බවට චෝදනා එල්ල වීමට ඇති ඉඩකඩ වැඩි බව ආචාර්ය හසිත කන්දඋඩහේවා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ඉන්දියාව සමග ඇතිකර ගනු ලබන ආරක්ෂක ගිවිසුමේ වාසි මෙන්ම අවාසි ද ඇතිවන බැවින් ඒ සැමට මුහුණදීමට රටක් ලෙස සිදුවන බව ද ඔහු පැහැදිළි කළේය.

"2022 ඉඳන් ශ්‍රී ලංකාව ඉන්දියාව කෙරෙහි වන නැමියාව වර්ධනය වන ආකාරය අපි දකිනවා. මේ නැමියාව දැන් එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් උල්ලංඝනයක් වීමක් වෙනව ද කියලා මතයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම් කිහිපයක්ම අත්සන් කරලා තියෙනවා. පහුගිය අවුරුදු තුනේදී ආරක්ෂක ගිවිසුම් එක්ක බලද්දී ස්වෛරී රාජ්‍යයක් විදිහට නොබැඳි රාජ්‍යයක් එක්ක එක්තරා විදිහකට ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීම ලංකාවේ මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. සමස්තයක් වශයෙන් ගත්ත ම මේ ගිවිසුමේ වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ හරහා අපිට අවස්ථාව ලැබෙනවා අපේ ගුවන් කලාපයේ ආරක්ෂාව වගේම ඩ්‍රෝන යානා ගැන අවධානයෙන් ඉන්න. මේකේ හොඳ වගේ ම නරක දෙපැත්ත ම තියෙනවා. අපිට රටක් හැටියට සිද්ධ වෙනවා මේ දෙක ම තුළනය කරගෙන කටයුතු කරන්න."

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් බීබීසී සිංහල කළ ඉල්ලීමට මෙම ලිපිය පලවන මොහොත තෙක් ප්‍රතිචාර නොලැබිණි.

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං නිල සංචාරය වෙනුවෙන් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ඒ අනුව ඔහු කොළඹ නගරයේ සංචාරය කිරීමට නියමිත මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය.