ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපේ නැති වෙච්ච අය ආපහු එන්නේ නැහැ. සත්‍යය එළියට එන එකයි වැදගත්': පාස්කු ප්‍රහාරයෙන් සැමියා අහිමි වූ ගීතා ඇන්ටනෙට්
ජේසුස් වහන්සේ මරණය පරාජය කර නැවත උත්ථානය වීම කිතුනු ජනතාව පාස්කුව ලෙස මහත් ප්‍රීතියෙන් සහ භක්තියකින් සමරති.
මීගමුව, කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ගීතා ඇන්ටනෙට්, සිය සැමියා සහ දරු තිදෙනා සමග 2019 අප්‍රේල් 21 වන දා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගියේ පාස්කු ඉරිදා ප්‍රධාන දිව්‍ය පූජාවට සහභාගි වී පාස්කු මංගල්‍යය සැමරීම සඳහා ය.
එහෙත්, පාස්කු මංගල්‍යයේ ප්‍රීතිය මොහොතකින් වියැකී ගියේ දේවස්ථානය තුළින් නැගුණු පිපිරීම් ශබ්දයක් සමගිනි.
ඒ ශබ්දය සිය සැමියාගේ මෙන් ම තවත් සිය ගණනකගේ ජීවිත උදුරා ගත් බෝම්බ ප්රහාරයක ශබ්දය බව ඇය ඒ මොහොතේ දැන සිටියේ නැත.
'නොසිතූ විදියට අපේ මුළු ගම ම ප්‍රහාරයකට ලක් වුණා'
ජීවිත 270කට අධික සංඛ්‍යාවක් අහිමි කළ, මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය වන පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් 22 වන දා, ගීතා ඇන්ටනට් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූයේ වසර 7කට පෙර සිදුවූ සිදුවීම් යළි සිහිපත් කරමිනි.
"එදා උදේ අපි දිව්‍ය පූජාවට සහභාගි වෙන්න ගියා. ඒක ජේසුස් වහන්සේගේ උත්ථානය සමරන ජය දවසක්. මගේ දරුවෝ තුන්දෙනාත්, මාත්, මහත්තයත් ඇතුළුව අපි පස්දෙනා ම දිව්‍ය පූජාවට සහභාගි වුණා. පූජාව අවසන් වෙද්දී අපි නොසිතූ, නොපැතූ විදියට මුළු ගම ම ප්‍රහාරයකට ලක් වුණා."
"අපේ සිහියත් නැති වෙන තරම් විශාල ශබ්දයක් එක්ක දුමක් පේන්න ගත්තා. මම මහත්තයා ළඟ ම හිටගෙන හිටියේ. එයා පුටුවක වාඩි වෙලා හිටියා. මම එයාව අල්ලගත්ත ම එයා මගේ ඔඩොක්කුවට වැටුණා. මගේ ලොකු පුත යි අනෙක් පුත යි තමයි අපි දෙන්නව ම උස්සගෙන ගියේ," යැයි වසර හතකට පෙර සිදුවූ අඳුරු මතකය ඇය යළි සිහිපත් කළා ය.
'බෝම්බයක් පිපිරුවා කියලා අපි කොහොමවත් හිතුවේ නෑ'
සිය සැමියා සිහිසුන් වී ඇතැයි සිතූ ගීතා ඇන්ටනට්, දරුවන් සමග එක්ව ඔහුව රෝහලට රැගෙන ගියා ය. එසේ රෝහල කරා යද්දී ඇය දුටුවේ මාර්ගය දෙපස සහ රෝහල තුළ සිටි ලෙයින් නැහැවුණු මිනිසුන් රැසකි.
එහෙත්, ඒ වන විටත් තමන් බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඇති බව ඇය දැන සිටියේ නැත. ඇය සිතුවේ එය විදුලි දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරක් බව ය.
"අපිට වෙච්ච දේ අපිටවත් හිතා ගන්න බැරි වුණා. බෝම්බයක් පිපිරුණා කියලා අපි කොහොමවත් හිතුවේ නෑ. කරන්ට් එකෙන් මොනව හරි දෙයක් වුණා කියලයි හිතුවේ."
පාස්කු දිනය සැමරීමට දේවස්ථානයට ගිය තම සැමියා, රෝහලට ඇතුළත් කර මඳ වේලාවකට පසු මියගිය බවට වූ වේදනාකාරී පුවත ගීතාට සහ ඇගේ දරුවන්ට දැනුම් දී තිබිණි.
ඇය පවසන පරිදි, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් දැනුම් දී තිබිණි.
බෝම්බ ප්‍රහාරයෙන් ඇය ද තුවාල ලබා තිබූ අතර, මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලැබී ය. තුවාල සුව වී ඇතත්, තවමත් කකුලේ ආබාධිත තත්ත්වයක් පවතින බව ද ඇය පැවසුවා ය.
'මේක එයා හරි ආසාවෙන් අතේ දාගෙන හිටියා'
අද, සිය සැමියා සිහි වීමට ඇය සතුව ඇත්තේ, ඔහුගේ අත්පළඳනාවක් පමණි.
සැමියාගේ මරණයෙන් වසරකට පමණ පසු රෝහලෙන් ලැබුණු එම සිහිවටනය, ආදරණීය සැමියාගේ මතකය සමග තවමත් ඇය සුරකිමින් සිටී.
"මේක අපේ ආගමේ බ්‍රේස්ලට් එකක් වගේ දෙයක්. අපේ ශුද්ධවන්තයෙකුගේ රූපයක් තිබුණු මේක කොහොමහරි වසරකට විතර පස්සේ හොස්පිටල් එකෙන් මට ලැබුණා. මේක මගේ පුතා තාත්තාට පාස්කු මංගල්‍යයට තෑග්ගක් විදියට අරන් දුන්න එකක්. එයා මේක හරි ආසාවෙන් අතේ දාගෙන හිටියා. එයාගේ අතේ තිබුණු මේක අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සේ මට ලැබුණ එක මට ලොකු සතුටක් වුණා."
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ වැඩි ම ජීවිත හානි සිදුවූයේ කටුවාපිටිය දේවස්ථානයේ බැතිමතුන්ට ය. එම ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් වීමත්, වගකිව යුතු සියලු දෙනාට නීතියෙන් දඬුවම් ලබා දීමත් ඇය අපේක්ෂා කරන යුක්තිය යි.
"බොරු කතාවලින් මේක යට ගහන එක නෙමෙයි වෙන්න ඕනේ. මේක කරපු අය කවුරුන් ද කියලා හෙළි වෙන්න ඕනේ. සත්‍යය එළියට එන එක තමයි වැදගත්."
"මේකේ සත්‍ය හෙළිදරව් වෙලා මේකට වගකිව යුතු අයට අනිවාර්යෙන් ම දඬුවම් ලැබෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක යි," තවමත් සිය සැමියා වෙනුවෙන් යුක්තිය සොයන ඇය පැවසුවා ය.
'සත්‍යය හෙළිදරව් වෙන්න කියලා තමයි අපි හැම දා ම දෙවියන්ගෙන් ඉල්ලන්නේ'
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, සැකකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මණ්ඩලය, තවත් සැකකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ ය.
එම තීන්දුව මගින් ප්‍රහාරයේ වින්දිතයන්ට යම් සාධාරණයක් ඉටු කළ බවට විශ්වාසය පළ කරන ගීතා ඇන්ටනට් මෙසේ පැවසුවා ය.
"අපේ නැති වෙච්ච අය ආපහු එන්නේ නෑ. හැබැයි මේ වගේ ලේ වැගිරීම් අපේ රටේ නැවත ඇති නොවෙන්න, ඒවාට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගෙනාපු එක වටිනවා."
"හැම දේක ම සත්‍යය සහ සැබෑව අවසානයේ දෙවියන් වහන්සේ හෙළිදරව් කරනවා කියන විශ්වාසය අපිට කතෝලිකයන් විදියට තිබෙනවා."
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ජීවිත කාලය පුරා ම එම අඳුරු මතකයෙන් මිදීමට තමන්ට නොහැකි වනු ඇති බව ය.