ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

සජීවී., පාස්කු ප්‍රහාරය: නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනාට එරෙහි නඩු තීන්දුව අද

වසර 7කට පෙර එනම්, 2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව අද (සැප්. 22) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

සාරාංශය

  • නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනාට එරෙහි පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව අද
  • විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයි
  • අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව තර කරයි
  • විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270ක්
  • 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය
  • මෙම ප්‍රහාරයෙන් දිවි අහිමිවූ ගණන 270කට අධිකයි. ඔවුන් අතරින් 45 දෙනෙක් විදේශිකයින් වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 500කට අධිකයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු බෝම්බකරුවන් කවුද?

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කළේ, අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණා.

    කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බකරු ලෙස මොහොමඩ් හස්තුන් හඳුනාගෙන තිබෙනවා.

    තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයා ය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.

    සමස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය.

    මඩකලපුවේ පිහිටි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණා.

    සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

    කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

    මේ අතර, දෙහිවල මහවිල උද්‍යානයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගිය අවස්ථාවේදී ඉල්හාම් ඊබ්‍රාහිම්ගේ බිරිඳ වූ ෆාතිමා ඊබ්‍රාහිම් බෝම්බයක් පුපුරුවා ගත් අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ෆාතිමා සහ ඇගේ කුසේ සිටි දරුවා මෙන් ම තවත් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

  2. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද?

    2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 4 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබුවා.

    ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් තිබුණා.

    සෙසු විත්තිකරුවන් කවුද?

    1. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:

    2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)

    3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)

    4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)

    5. මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)

    6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)

    7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)

    8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

    9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)

    10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)

    11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්

    12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)

    13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)

    14. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්

    15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)

    16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)

    17. රසික් රාසා හුසේන්

    18. කච්චි මොහොමඩ් ජෙස්මින්

    19. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්

    20. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්

    21. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)

    22. මොහොමඩ් අමීන් අයන්තුල්ලා

    23. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි

    24. මොහොමඩ් අක්‍රම් අහක්කම්

  3. අධිකරණ සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටා ඇති අධිකරණ සංකීර්ණය වෙත පිවිසෙන මාර්ග සහ ස්ථානවල ආරක්ෂාව තර කර ඇතැයි එහි සිටින බීබීසී සිංහල ඩිජිටල් වාර්තාකරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සම්පත් දිසානායක පවසනවා.

    ඔහු සඳහන් කළේ, වෙන දා මෙන "පහසුවෙන් කෙනෙකුට අධිකරණ සංකීර්ණය වෙත පිවිසීමට නොහැකි" බවයි.

    අධිකරණ සංකීර්ණය වෙත ඇතුළු වන පුද්ගලයින් දැඩි පරීක්ෂා කිරීම්වලට ලක් කළ බව ද ඔහු පැවසුවා.

    "පොලිසිය, විශේෂ කාර්ය බළකා [සාමාජිකයින්] යොදවමින් ආරක්ෂාව තර කර තිබෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර, මෙම නඩු විභාගය වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ගේ තොරතුරු ඊයේ පොලිසිය විසින් ලබා ගන්නා ලද අතර එම මාධ්‍යවේදීන්ට පමණක් අධිකරණ පරිශ්‍රයට පැමිණීමට අවසර ලැබෙන බව පොලිසිය පැවසුවා.

  4. මේ දක්වා සිදුවුණේ කුමක් ද?

    2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවී මේ දක්වා වසර 7ක් ගත වී තිබෙනවා.

    එම ප්‍රහාරයෙන් පසු පළමු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම පැවති අතර එහිදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සිදු වුණා.

    බෝම්බ ප්‍රහාර මාලාව ගැන විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් ජනාධිපති විමර්ශන කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට පත් කෙරුණා.

    මේ, එතැන් සිට අද දක්වා වූ සිදුවීම් පිළිබඳව කෙරෙන විමසා බැලීමක්.

  5. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අධිකරණය අසල තත්ත්වය

  6. Breaking, නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අධිකරණය වෙත රැගෙන එයි

    නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අධිකරණය වෙත අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

    එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ, උදෑසන 7:55ට පමණ ඔවුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන ආ බවයි.

    මේ වන විට අධිකරණය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

  7. 2019 අප්‍රේල් 21 සිදුවුණේ කුමක් ද?

    මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු විසින් පහත දැක්වෙන ස්ථානවලදී බෝම්බ පුපුරුවා හැරියා.

    ඉන් දිවි අහිමිවූ පිරිස 270කට අධික ය. ඒ අතරන් 45 දෙනෙක් විදේශිකයින්. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 500කට අධිකයි.

  8. සුබ උදෑසනක්!

    2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    වසර පහකට ආසන්න කාලයක් පැවති මෙම දීර්ඝ නඩු විභාගය අගෝස්තු 24 වන දා අවසන් කෙරුණා.

    අද උදෑසන මීට අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිත අතර බීබීසී සිංහල කණ්ඩායම එම තොරතුරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට ඔබ වෙත සජීවීව මෙම පිටුව ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.