පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවේ තීන්දුව අද: නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද?

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (සැප්: 22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාග කෙරිණි.

2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබී ය.

ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් තිබිණි.

නීතිපතිවරයා නඩු පැවරුවේ කාට එරෙහිව ද?

දැනට මිය ගොස් සිටින මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් (සහරාන් හෂීම්), මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, ඉල්හාම් මොහොමඩ් ඊබ්‍රහීම්, ඉන්ෂාෆ් අහමඩ් මොහොමඩ් ඊබ්‍රහීම්, අබ්දුල් ලතිෆ් ජමාල් මොහොමඩ්, අලවුදීන් අහමඩ් මුආත්, මුහම්මද් නසාර් මුහම්මදු අෂාත් නමැත්තන් සහ පැමිණිල්ල නොදත් අය සමග එක්ව අන්තවාදී මතවාද හෝ ආගම් අතර ජාතිවාදී හා එදිරිවාදී හැඟීම් ඇති කර ආගමික හෝ වාර්ගීය හෝ ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ පොදු අරමුණක් සහිත වැරදි කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව-කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටුව කිංග්ස්බරි හෝටලය, කොටුව ශැංග්‍රිලා හෝටලය, කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ දෙහිවල නිව් ට්‍රොපිකල් ඉන් ඇතුළු ප්‍රදේශවල බෝම්බ පුපුරුවා හැර පුද්ගලයින් 270 කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් 526 දෙනෙකුට තුවාල කිරීමට ආධාර අනුබල දුන් බවට මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කළ බවට නීතීපතිවරයා විසින් චෝදනා 23,270ක් යටතේ මෙලෙස නඩු පවරා ඇත.

විත්තිකරුවෝ විත්ති කුඩුවේ සිටි ප්‍රකාශ දෙමින් මෙම අපරාධය සඳහා තමන්ගේ සම්බන්ධතා කිසිවක් නොමැති බවත් මෙවැනි අපරාධ කිරීම සඳහා තමන් කිසිවෙකුට ආධාර දීමක් හෝ අනුබල දීමක් නොකළ බවත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තමන් දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ් භාරයේ රඳවා තැබූ බවත් පැවසුහ.

කිසිදු අපරාධයක් නොකළ තමන් නඩුවෙන් නිදහස් කරන ලෙස විත්ති කුඩුවේ සිට විත්තිකරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

විත්තිකරුවන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කරන ලද විත්ති වාචිකයන් ගෙන් උපුටා ගන්නා ලද කරුණු කිහිපයක් සහ ඇතැම් විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මෙහි සඳහන් කර තිබේ.

1. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:

මෙම නඩුවේ ප්‍රථම විත්තිකරු වන නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචිකය ඉදිරිපත් කරමින් "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්ෂාෆ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේ ම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා."

2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)

පැය දෙකක පමණ කාලයක් විත්ති කුඩුවේ සිට සිය විත්ති වාචිකය ඉදිරිපත් කරනු ලැබූ මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා කියා සිටියේ, තමන්ට එරෙහිව එල්ල කර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සියලු චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතන ලද ඒවා බවත් ය. ඔහු වැඩිදුරටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විත්ති වාචිකය ඉදිරිපත් කරමින් කියා සිටියේ, තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට ප්‍රධාන හේතුව සහරාන් ගේ මාමා වීම බව ය.

3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)

සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් (NTJ) සංවිධානය සමග සම්බන්ධ වෙමින්, සාමාන්‍ය පෙළ සිසුන් ඇතුළු පිරිස්වලට T-56 ගිනිඅවි, පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ පුහුණුව ලබා දුන් බවට මෙන් ම ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි.

4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන් ම වනාතවිල්ලුව ලැක්ටොස්වත්ත ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ත්‍රස්ත පුහුණු කඳවුරේ අවි පුහුණුව ලැබීම ඇතුළු චෝදනා යටතේ මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත.

5. මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)

6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)

නීතිඥ සහයක් ද නොමැතිව නිහඬව සිටීමට තීරණය කළ විත්තිකරුවෙකි.

7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)

"මම බූන්දි,මස්කට් ව්‍යාපාරයක් කරගෙන යනවා නිවසේ ම ඉඳලා. 2019 අප්‍රේල් 27 වැනිදා දුම්මලසූරිය පොලිසියෙන් මාව ගෙදර ඉද්දි අත්අඩංගුවට ගන්නවා. එතැනදී තමයි මම දැන ගන්නේ පානදුරේ ප්‍රදේශයේ නිවසක තිබිලා හම්බ වුණ පෙට්ටියක තිබ්බ ප්ලාස්ටර් එකක මගේ ඇඟිලි සලකුණු තිබිලා කියලා. මම කවදාවත් පානදුරේ ගිහින් නැහැ. දවසක් කට්ටියක් ආවා මගේ ගෙදර බූන්දී, මස්කට් අරන් යන්න. මම එයාලට බඩු දාගෙන යන්න ප්ලාස්ටර් එහෙම දාලා තිබ්බ පෙට්ටි ටිකක් දුන්නා. මම ඒක පිළිගන්නවා," පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ ය.

8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

සිය පාපොච්චාරණය බලෙන් ලබාගත් එකක් බවට ඔහු පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ ය.

9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)

10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)

සිය පාපොච්චාරණය බලෙන් ලබා ගත් එකක් බවට පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඔහු පැවසුවේ ය.

11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්

12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)

සිය පාපොච්චාරණය බලෙන් ලබාගත් එකක් බවට ඔහු පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)

14. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්

සිය පාපොච්චාරණය බලෙන් ලබා ගත් එකක් බවට ඔහු පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ ය.

15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)

16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)

17. යසීන් බාවා අබ්දුල් රාවුෆ් (බන්ධනාගාරයේ සිටියදී මරණයට පත්විය)

18. රසික් රාසා හුසේන්

සිය පාපොච්චාරණය බලෙන් ලබා ගත් එකක් බවට ඔහු පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ ය.

19. කච්චි මොහොමඩ් ජෙස්මින්

20. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්

21. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්

22. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)

23. මොහොමඩ් අමීන් අයන්තුල්ලා

24. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි

25. මොහොමඩ් අක්‍රම් අහක්කම්