සුපිරි ඩීසල් ලීටරයකින් රු. 393ක අලාභයක්: ඉන්ධන මිලට රජය දෙන සහනය අවසන් වුවහොත් සිදු විය හැක්කේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
මැදපෙරදිග කලාපයේ වර්ධනය වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට අවස්ථා කිහිපයකදී ම මෙරට මිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය. ඒ, ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මතුවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
පෙබරවාරි මස 28 වන දා සිට පැවති ඉන්ධන මිල ගණන් අනුව සසඳා බැලීමේදී අද (ජූනි 02) වන විට මෙරට ඉන්ධන මිල ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබේ.
මේ අතර පසුගිය සතියේදී ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද කාර්ය මණ්ඩල වාර්තාවට අනුව ඉන්ධන සහ විදුලිය යන ක්ෂේත්‍ර සඳහා පිරිවැය-ප්‍රතිසාධන මිලකරණයට අනුගත වීම IMF වැඩසටහනේ තීරණාත්මක කොන්දේසිවලින් එකක් බව පෙන්වා දී ඇත.
ඉන්ධන මිල ඉහළ ගිය අයුරු
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද මිල ඉහළ දැමීම් අනුව ඉකුත් පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 141කින් ද, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 126කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 150කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 144කින් ද ඉහළ දමා තිබේ.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මාධ්‍ය හමුවකදී පැවසුවේ, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 45.59කින්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 48.12%කින්, ඔටෝ ඩීසල් ලීටරයක් 44.84%කින් සහ සුපර් ඩීසල් ලීටරයක් 45.29%කින් ඉහළ දමා තිබුණ ද ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි වී ඇත්තේ, අවම වශයෙන් බව ය.
"මැයි මාසයේදී විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 524ක් ඉන්ධන ආනයනය සඳහා විදේශ විනිමය වැය කරලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් දරාගන්න අමාරු යි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන් ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරන්න. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්," අමාත්‍යවරයා පැවසුවේ ය.
ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව
කෙසේ වෙතත්, මෑත කාලීනව ඉන්ධන මිල ඉහළ දැමුව ද අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින් ම සැලකිය යුතු මූල්‍ය පාඩුවක් ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඉහළ යන ගෝලීය බලශක්ති මිල ගණන්වලින් මහ ජනතාවට රජය විශාල සහනයක් දී ඇති බවත්, මෙම සහනාධාර සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන මෙම මාසයේදී අවසන් වන බවත් සභාපතිවරයා පැවසුවේ ය.
"ජනතාව ලබා ගන්න ඩීසල් ලීටරයක් වෙනුවෙන් රජය රුපියල් 100ක් වගේ ම පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 20ක සහනාධාරයක් ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 57ක් වෙන් කළා. ඒ මුදල මේ මාසය අවසන් වෙද්දී ඉවර වෙනවා. මෑතකදී කරපු මිල වැඩි කිරීමත් එක්ක බලනකොට ඩීසල් ලීටරයක් වෙනුවෙන් රජයෙන් රුපියල් 100ක් ලැබුණත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් රුපියල් 29ක පාඩුවක් ලබනවා. ඒ වගේ ම පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජයෙන් ලැබෙන රුපියල් 20ට අමතරව රුපියල් 40ක පාඩුවක් ලබනවා," ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.
'සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 393ක අලාභයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බලශක්ති අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල ඇස්තමේන්තුගත මිල ගණන් සංසදනය කිරීමේදී අප්‍රේල් මාසයේදී ඉන්ධන අලෙවි කිරීමේදී ඉන්ධන ලීටරයක් සඳහා රජයට දැරීමට සිදුව ඇති ලාභ අලාභ පිළිබඳ තොරතුරු දක්වා තිබේ.
පෙබරවාරි මස 01 වන දා සිට 27 වන දා දක්වා කාල සීමාවේදී ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල ඇස්තමේන්තුගත මිල අගයයන් පිළිබඳව නිකුත් කර ඇති සංඛ්‍යා දත්ත අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියලක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 5.67ක්, ලංකා සුපිරි ඩිසල් ලීටරයක් වෙනුවෙන් ලීටරයක් සඳහා රුපියල් 5.99ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 4.30ක පාඩුවක් ද දැරීමට රජයට සිදුව තිබිණි.
එමෙන් ම මාර්තු මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 113.72ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 150.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 283.56ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 200.03ක පාඩුවක් රජය දරා ඇති අතර එම මාසයේදී සුපිරි ඩීසල් ලීටරයක් අලෙවි කිරීමේදී ශත 26ක ලාභයක් ලබා ඇත.
මේ අතර, අප්‍රේල් මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 34.59ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 22.46ක්, ලංකා ඔටෝ ඩීසල් සඳහා රුපියල් 367.70ක්, ලංකා සුපිරි ඩිසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 397.07ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 325.53ක පාඩුවක් දැරීමට රජයට සිදුව ඇත.



ඇණවුම් කළ ඉන්ධනවල මිල ඉහළ අගයක
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ, වර්තමානය වන විට මෙරටට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා වැය වන මිල පෙරට වඩා ඉහළ අගයක් ගන්නා බව ය.
"දැන් අලුත් ම තත්ත්වය තමයි අපි මීට කලින් ඇණවුම් කරපු ඉන්ධන තොග තිබුණා. පහුගිය කාලේ ඒ ඉන්ධන තොග මෙරටට රැගෙන ආවා. ඒවායේ ඉන්ධන ඇණවුම් කරලා තිබුණේ බැරලයක් ඇමෙරිකානු ඩොලර් 69 ඉඳලා ඩොලර් 71 අගයන්වලට. ඊයේ (මැයි 31) ගොඩබාපු WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 139ක් විතර වෙනවා. අද (ජූනි 01) බාන මර්බන් වර්ගයේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 110ක් වෙනවා."
'සහනය ගැන තීරණය කැබිනට් මණ්ඩලය අතේ'
මේ අතර, ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා රජය වෙන්කර තිබූ බිලියන 57ක ඉන්ධන සහනාධාරය මෙම මස අගදී අවසන් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභපති ඩී.ජේ. රාජකරුණා පැවසීය.
මේ අතර, ඉදිරියේදී ඉන්ධන සහනාධාරය ලබාදීම පිළිබඳව රජය තීරණය කර තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස්ගෙන් කරුණු විමසූ විට ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබිය යුතු බව ය.
"දැනට මාස 3කට රුපියල් බිලියන 57ක සහනාධාරයක් ලබා දීලා තියෙනවා. ඒක ඉස්සරහට වැඩි කරනව ද කියන එක ජනාධිපතිතුමයි කැබිනට් මණ්ඩලයයි තීරණයක් ගනීවි," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
'අපි මිල ගලපන්න තමයි උත්සහ කරමින් යන්නේ'
2026 වසරේ ගත වූ කාලය තුළ ඉන්ධන පරිභෝජනය සහ ඉන්ධන ආනයන වියදම් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (ජූනි 02) අනාවරණයක් කළේ ය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ආනයන වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවය.
"පෙබරවාරි මාසයේදී ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල තිබුණේ ඩොලර් 75.28ක්. නමුත් දැන් වෙනකොට ඒක ඩොලර් 129.67ක් දක්වා 81%කින් ඉහළ ගිහින් තියෙනවා. ඩීසල් බැරලයක මිල තිබුණේ පෙබරවාරි මාසයේදී ඩොලර් 82.34ක් විදිහට, ඒත් දැන් බැරලයක මිල ඩොලර් 148.029ක් ඒ කියන්නේ සීයට 80කින් වැඩි වෙලා තියෙනවා. මර්බන් බොරතෙල් බැරලයක මිල පෙබරවාරි මාසයේදී තිබ්බේ ඩොලර් 65ක් නමුත් දැන් වෙනකොට මිල ඩොලර් 110ක් දක්වා සීයට 70කින් වැඩි වෙලා තියෙනවා. WTI බොරතෙල් බැරලයක මිල තිබුණේ ඩොලර් 60ක් විදිහට, දැන් මිල ඩොලර් 99.09ක් සීයට 64කින් වැඩි වෙලා තියෙනවා." අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
මේ අතර, ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 186ක් විදයම් කර ඇති නමුත් මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 521ක් දැරීමට සිදුව ඇති බව ද සඳහන් කළේ ය.
"අපේ පරිභෝජනය ගත්තොත් ජනවාරි මාසයේදී අපි ඕටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538ක්, පෙබරවාරි 4,846, මාර්තු 6,130, අප්‍රේල් 3,988, මැයි 3,701යි ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වන විට අපේ පරිභෝජනය අඩුවෙලා තිබෙන්නේ 82%ක මට්ටමක ප්‍රමාණයකින්.
සමස්ත ඩීසල් ප්‍රමාණය ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,944ක් මැයි මාසයේදී කිලෝ ලීටර් 5,394 පාවිච්චි වෙනවා ඒ අනුව 91%ක් තමයි අපේ පාවිච්චිය තිබෙන්නේ.
පෙට්‍රල් 92 ජනවාරි මාසයේදී කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වෙලා තිබෙනවා මැයි මාසයේ මේ වන විට කිලෝ ලීටර් 4,849ක් පාවිච්චි වෙලා තියෙනවා. ඒ අනුව 87%ක ප්‍රමාණයක් පාවිච්චි වෙලා තියෙනවා.
නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමත් එක්ක අපට මාසයකට තෙල් ආනයනය කරන්න තිබෙන වියදම ඉහළ ගිහින් තියෙනවා. ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 97, මාර්තු ඩොලර් මිලියන 95, අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 316, මැයි මාසයේදී ඩොලර් මිලියන 521යි ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට පරිභෝජනය 80%-90% අතරේ තිබුණාට වැඩිවීම ඩොලර් මිලියන 186 ඉඳලා 521 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ අඩුවැඩිවීම් අනුව අපි මිල ගලප්පන්න තමයි උත්සහ කරමින් යන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.


































