'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?

HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "එක්තරා අවස්ථාවක, ශ්‍රී ලංකාවට බෙදා හරින ලද ඉන්ධන බැරලයකට ඩොලර් 286ක් තරම් ඉහළ මිලක් ගෙවන්න සිදුවුණා."
කියවීමේ කාලය: මිනිත්තු 4

ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මාධ්‍ය වාර්තාවල පළවූ පරිදි HSBCහි ගෝලීය ආයෝජන සමුළුවේදී බ්ලූම්බර්ග් රූපවාහිනියේ ඩේවිඩ් ඉන්ගල්ස් සමග කළ සංවාදයකදී, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි සඳහන් කර ඇත්තේ, "ගෝලීය ආර්ථිකය පිළිබඳ තමාගේ විශාලතම කණස්සල්ල වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමෙන් සිදුවන ආර්ථික බලපෑම කෙරෙහි" බව ය.

මෙම පුවත පළමු වරට sherwood.news වාර්තා කර තිබූ අතර, පසුව middleeasteye.net යන වෙබ් අඩවිය ද වාර්තා කර තිබිණි.

HSBC ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ කුමක් ද?

එම සංවාදයේදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැකිය හැකි මිල ගණන්වලට වඩා වැඩි මිලක් ගැනුම්කරුවන්ට ගෙවීමට සිදුවන බව ය. මාධ්‍යවල පළවී තිබූ ඔහුගේ අදහස්වල දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

"මම කනගාටුවට පත්වෙන්නේ මේ ශීර්ෂ පාඨ ගැන නෙමෙයි. මම ඒකෙන් අදහස් කළේ, ඉන්ධන මිල ඩොලර් 100ක් හෝ ඩොලර් 110ක් දක්වා වැඩි වෙලා කියලා ශීර්ෂ පාඨවල සඳහන් වෙනවා. නමුත් යථාර්ථය තමයි ඔබ දැන් මැද පෙරදිගින් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කරනවා නම්, ඔබ ඉන්ධන බැරලයකට ඩොලර් 140, ඩොලර් 150ක් ගෙවලා ගන්නවා වෙන්න පුළුවන්."

"යථාර්ථයක් විදිහට ගත්තොත්, ඔබ රතු මුහුද හරහා ඉන්ධන ලබා ගන්න උත්සහ කරන්නේ නම්, ඔබට එක ඉන්ධන බැරලයක් වෙනුවෙන් නැව් ගාස්තු විදිහට ඩොලර් 30ක් හෝ ඩොලර් 40කට වඩා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම යුද රක්ෂණය පවා නැතිව කලින් තිබුණ රක්ෂණ වියදම භාණ්ඩ වටිනාකමෙන් 0.25%ක් වගෙයි. නමුත් දැන් ඒක 5%ක් වගේ වෙනවා."

"ප්‍රවෘත්තිවල ඔබ දකින ඉන්ධන මිල, බෙදාහැරීමෙන් පස්සේ ජනතාව ඇත්තට ම ගෙවන සැබෑ ම ඉන්ධන මිල නෙමෙයි. ප්‍රවාහනය, රක්ෂණය, ඉන්ධන පිරිපහදු කිරීම සහ අනෙකුත් වියදම් ඇතුළත් කළාට පස්සේ අවසානයේදී "බෙදා හරින විට" ඉන්ධන බැරලයේ මිල විශාල වශයෙන් අධික වෙනවා."

"එක්තරා අවස්ථාවක, ශ්‍රී ලංකාවට බෙදා හරින ලද ඉන්ධන බැරලයකට ඩොලර් 286ක් තරම් ඉහළ මිලක් ගෙවන්න සිදුවුණා. දුර්වල ආර්ථික ඇති රටවලට ඒ වගේ මිල ගණන් දරන්න නොහැකි නිසා යම් ගැටලුසහගත තත්ත්වයන් මතු වෙන්න පුළුවන්."

ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'බොර තෙල් නෙමෙයි ඩීසල් මිල දී ගත්තා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, අද (අප්‍රේල් 17) මාධ්‍ය හමුවක් පවත්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ මැද පෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත්, මේ හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමේදී ඩොලර් 285 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිල දී ගැනීමට සිදුවූ බවත් ය.

"අපි බොරතෙල් බැරල් එකක් කිසි ම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි."

"එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිල දී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතු වෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා. එහෙම නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා.

අපි දැන් හොයලා බැලුවා ම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිල දී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ හින්දා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇති වෙනවා. අන්න ඒ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදිහට වෙලා තියෙනව නම් අනිවාර්යෙන් ම ඒ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා අදාළ අංශ වලට දැනුවත් කරලා තියෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩි ම ගාණ 242කට ගිහිල්ලා තියෙනවා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා. ඒකත් එක්ක මිල වැඩි වෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා.

ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක්. ඒ ඇවිල්ලා තුන්වෙනි මාසේ 31 වැනිදා ආපු නැව. ඊට පස්සේ ආපහු අප්‍රේල් මාසේ 7 වැනිදා නැවක් ඇවිත් තියෙනවා. ඒකට අපිට ඩොලර් 281.87ක් වෙලා තියෙනවා. සුපර් ඩීසල්වලට වෙලා තියෙනවා ඩොලර් 303.77ක්," සභාපතිවරයා පැවසුවේ ය.