පාස්කු ඉරිදා ප්‍රහාරය: වසර 7කට පසු ලැබෙන තීන්දුවට පෙර ඔබ දැන ගත යුතු කරුණු 5ක්

පාස්කු ප්‍රහාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඉෂාරා ධනසේකර සහ කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 10

වසර 7කට පෙර එනම්, 2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව අඟහරුවාදා (සැප්: 22) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

වසර පහකට ආසන්න කාලයක් පැවති මෙම දීර්ඝ නඩු විභාගය අගෝස්තු 24 වන දා අවසන් කළ නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

මෙම නඩුවේදී පුද්ගලයින් 2,309 දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දී තිබිණි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ, මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු බලා), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්සියාර්), යාසින් බාවා අබ්දුල් රාවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර් ඩීන් හිල්මි, මොහොමඩ් අක්‍රම් අහක්කම් යන 25 දෙනා ය.

ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර මියගොස් තිබිණි.

නඩු විභාගයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් පොලිසියට දී තිබූ පාපොච්චරණ 10ක් සාක්ෂි වශයෙන් පිළිගැනීමට ද අධිකරණය තීරණය කර ඇත. එම පාපෝච්චාරණ විත්තිකරුවන් ස්වේච්ඡාවෙන් ලබා දී තිබූ බවටත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.

ඊට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තා යනාදිය ද පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලදී.

ඊට අමතරව පුපුරණ ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, කඩු, ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ද පැමිණිල්ල මගින් මෙම නඩු විභාගය සඳහා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

1. 2019 අප්‍රේල් 21 සිදුවුණේ කුමක් ද?

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනෙකු විසින් පහත දැක්වෙන ස්ථානවලදී බෝම්බ පුපුරුවා හරිනු ලැබූහ.

පෙ.ව. 8.45 - කටුවාපිටිය, සාන්ත සෙබස්තියන් දේවස්ථානය

පෙ.ව. 8.45 - කොටහේන - කොච්චිකඩේ, සාන්ත අන්තෝනි දේවස්ථානය

පෙ.ව. 8.47 - කිංග්ස්බරි හෝටලය

පෙ.ව. 8.54 - ෂැන්ග්‍රි-ලා හෝටලය

පෙ.ව. 9.10 - මඩකලපුව සියොන් දේවස්ථානය

පෙ.ව. 9.12 - සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය

දහවල් 1.45 - දෙහිවල ට්‍රොපික්ල් ඉන් ලැඟුම්හල

දහවල් 2.15 - දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් (මහවෙල උද්‍යානය)

ඉන් පුද්ගලයින් 270 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතුරින් 45 දෙනෙක් විදේශිකයෝ වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 500කට අධික ය.

ප්‍රහාර සිතියම

2. බෝම්බකරුවන් කවුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.

කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බකරු ලෙස මොහොමඩ් හස්තුන් හඳුනාගෙන තිබේ.

තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

සමස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය.

මඩකලපුවේ පිහිටි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

මේ අතර, දෙහිවල මහවිල උද්‍යානයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගිය අවස්ථාවේදී ඉල්හාම් ඊබ්‍රාහිම්ගේ බිරිඳ වූ ෆාතිමා ඊබ්‍රාහිම් බෝම්බයක් පුපුරුවා ගත් අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ෆාතිමා සහ ඇගේ කුසේ සිටි දරුවා මෙන් ම තවත් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් කිහිප දෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් කිහිප දෙනෙක්

3. පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු: 'බුද්ධි තොරතුරු' විවාදය සහ දේශපාලනය

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශවය වගකිව යුතු බවට චෝදනා එල්ල විය.

පාස්කු ප්‍රහාර මාලාවට මාස කිහිපයකට පෙර එනම්, 2018 වසරේ ඔක්තෝබර් 26 වන දා මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කරන ලද අතර ඒ වනවිටත් දෙවරක් ජනාධිපති ධූරය දරා සිටි මහින්ද රාජපක්ෂ එම ධූරය සඳහා පත් කරනු ලැබිණි. එම කාලය තුළ රට තුළ විවිධ විරෝධතා සංවිධානය විය.

එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර, දින 52කට පසු රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධූරයේ දිව්රුම් දුන්නේ ය.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පැවති ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබී ය.

එතැන් සිට පාස්කු ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශවය එවකට චෝදනා කළේ ය.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ 'WhatsApp' හරහා ප්‍රහාර සම්බන්ධ මුල් ම පණිවුඩය ලැබී තිබිණි. ඒ හා සමාන ම බුද්ධි තොරතුරු 2019 අප්‍රේල් 05 වන දා ඔහුට ලිඛිතව ලැබී තිබිණි. 2019 අප්‍රේල් 07 වන දා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එම තොරතුර ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී තිබුණු අතර, 2019 අප්‍රේල් 08 වන දා ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එම ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2019 අප්‍රේල් 09 වන දා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යැවු ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත - නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාස සහ විශේෂ කාර්ය බළකාය - කමාන්ඩර් එම්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව භාර - ප්‍රියලාල් දසනායක, ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂ - වරුණ ජයසුන්දර යන නිලධාරීන් වෙත යොමු කරනු ලැබ තිබිණි.

තමා වෙත අදාළ තොරතුර ලැබීමෙන් පසු සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් දුන් බව එවකට සිටි පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පවසයි. එමෙන් ම, සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කොට ඇතැයි පැවසේ. ලැබී තිබුණු බුද්ධි තොරතුරු පිළිබඳව අප්‍රේල් 11 වන දා ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවට මාධ්‍ය වාර්තාවල (ප්‍රහාරයෙන් පසුව) සඳහන් විය.

එහෙත්, ප්‍රහාරයට පසු (අප්‍රේල් 23) ජාතිය අමතමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, "එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප්‍රධාන නිලධාරීන් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු යි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," යනුවෙනි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විමර්ශන කමිටුවලදී සාක්ෂි දෙමින් පවසා තිබුණේ, දින 52 අර්බුදයෙන් පසු තමන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට කැඳවීම් නොලැබුණු බව ය.

පාස්කු ප්‍රහාරය එල්ල වී දින අටකට පසුව (2019 අප්‍රේල් 29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණි.

පසුව 2019 වසරේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කරමින් ඔහු ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් යුක්තිය ඉටු කිරීම ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාස්කු ප්‍රහාරය එල්ල වී දින කිහිපයකට පසුව කටුවාපිටිය දේවස්ථානයේ සංචාරයක නිරත වූ එවකට මහින්ද රාජපක්ෂ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරය දැරූ ඔහුගේ බාල සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පළමු වරට ඉඟි කරමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය.

සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ බව දැක්වෙන ලියවිල්ලක් 2019 අගෝස්තු 01 වන දා ජනාධිපතිවරණයට පෙර ප්‍රසිද්ධියට පත් කළේ ය. එහි සඳහන් වූයේ, 2019 අප්‍රේල් 17 වන දා කළ ඉල්ලීමකට අනුව මැයි 03 වන දා ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ඇති බවකි.

පසුව 2019 වසරේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කරමින් ඔහු ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් යුක්තිය ඉටු කිරීම ය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 17 වන දා ජනාධිපති ධූරයට පත් විය.එහිදී 52.25%ක ඉහළ ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ඔහු ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා බවට පත්විය.

කෙසේ වෙතත්, ඉන් වසර දෙකකින් පමණ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ගොඩ නැගුණු දැවැන්ත රාජපක්ෂ විරෝධී සහ ආණ්ඩු විරෝධී ජනතා විරෝධය හේතුවෙන් රටින් පලා ගිය ඔහු පසුව ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය.

4. පාස්කු ප්‍රහාරයට අදාළව විභාග වූ අනෙක් ප්‍රධාන නඩු සහ තීන්දු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට 2026 ජූලි 31 වන දා මරණ දඬුවම නියම කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට 2026 ජූලි 31 වන දා මරණ දඬුවම නියම කෙරිණි.

මේ අතර, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ද එදින ම මරණ දඬුවම නියම කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා 850කට අධික ගණනක් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබිණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේදී ය.

නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.

මහාධිකරණය විසින් ලබා දෙන ලද එම තීන්දුව දෝෂසහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඉන්පසුව මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය.

ඔවුන්ට ඒ සඳහා අභියාචන ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.

ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූ බවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබිණි. ඒ අනුව, 2023 වසරේදී, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු විසින් පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කෙරිණි.

අදාළ පෙත්සම් 12 සම්බන්ධයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව තීන්දුවක් ලබා දෙමින් වගඋත්තරකරුවන්ට සිය පෞද්ගලික මුදල්වලින් පහත පරිදි වන්දි ගෙවන ලෙස නියෝග කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - රුපියල් මිලියන 100

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර - රුපියල් මිලියන 75

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන - රුපියල් මිලියන 75

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු - රුපියල් මිලියන 50

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් - රුපියල් මිලියන 10

5. තවදුරටත් පැවැත්වෙන විමර්ශන

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි 25 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කෙරේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට පෙබරවාරි 25 වන දා පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, එහිදී ප්‍රකාශ කළේ, "පැහැදිලි සාක්ෂි මත" ඔහු අත්අඩංගුවට ගත් බව ය.

මේ අතර, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විමර්ශනවල ප්‍රගතිය ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2026 මැයි 20 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, "කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන් ද? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා," යනුවෙනි.

පාස්කු ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස නවුෆර් මවුලවි නමැත්තාට චෝදනා එල්ල වී තිබූ අතර, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මැයි 20 වන දා අධිකරණය හමුවේ පැවසුවේ, සුරේෂ් සලේ මහ මොළකරු බව පෙනී යන බව ය.

මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.