2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පැවති නඩු විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
වසර පහකට ආසන්න කාලයක් පැවති මෙම දීර්ඝ නඩු විභාගය අගෝස්තු 24 වන දා අවසන් කෙරුණා.
අද උදෑසන මීට අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිත අතර බීබීසී සිංහල කණ්ඩායම එම තොරතුරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට ඔබ වෙත සජීවීව මෙම පිටුව ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.