'ප්‍රබල එල් නිනෝ' තවත් තීව්‍ර වෙයි: ලෝක කාලගුණ සංවිධානයෙන් නිවේදනයක්

නියඟය මැද ජලය සොයා යන කාන්තාවක් හා දැරියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

නිරිත දිග මෝසම සක්‍රීය වීම නිසා, දිවයිනේ මධ්‍යම කඳකරය ආශ්‍රිතව තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතියත්, දිවයිනේ වියළි කලාපයට අයත් ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යමින් ඇති අතර උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ.

ගෝලීය තත්ත්වය ද සැලකීමේදී රටවල් රැසක උෂ්ණත්වය ඉහළ යමින් ඇති අතර ලැව් ගිනි හේතුවෙන් භූමි ප්‍රදේශ විශාල වශයෙන් විනාශ වෙමින් ඇත.

මෙම තත්ත්වය මැද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එල් නිනෝ තත්ත්වය ශක්තිමත් වෙමින් පවතින බව අනාවරණය කළේ ය. ඒ අනුව, 2026 වසරේ අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ලෝකයේ දේශගුණයට ඉන් විශාල බලපෑමක් ඇති විය හැකි බව ලෝක කාලගුණ සංවිධානය පවසයි.

මේ හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යනු ඇති අතර වැසි රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් වීමට ද ඉඩ ඇත.

අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා මොකද වෙන්නේ?

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) මාසික දේශගුණික වාර්තාවට අනුව, දැනට පවතින එල් නිනෝ තත්ත්වය 2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ක්‍රමයෙන් තවදුරටත් ශක්තිමත් වී ප්‍රබල එල් නිනෝ (Strong El Niño) තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝකයේ ප්‍රධානතම දේශගුණික මධ්‍යස්ථාන රැසක අනාවැකි මාදිලි (Forecast Models) එකතු කර කරන ලද විශ්ලේෂණයන්ට අනුව, සාගර උෂ්ණත්වය මනින ප්‍රධාන කලාපවල මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය වෙනදාට වඩා සෙල්සියස් අංශක 2.9කටත් වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම උෂ්ණත්වය ඉහළ යාම උපරිම මට්ටමට ළඟා වන්නේ එළඹෙන නොවැම්බර් මාසයේදී ය.

ප්‍රබල වන එල් නිනෝ තත්ත්වයට අමතරව, ධන ඉන්දියානු සාගර ඩයිපෝල (Positive Indian Ocean Dipole) තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද අනාවැකි පළ කර තිබේ. [මෙය ඉන්දියානු සාගරයේ බටහිර කොටස සාමාන්‍ය අගයට වඩා රත් වන, නැගෙනහිර කොටස සාමාන්‍යයට වඩා සීතල වන දේශගුණික රටාවකි].

මෙම සාගර ක්‍රියාකාරකම් සියල්ල එකතු වූ විට, ඉන්දියානු සාගර කලාපය අවට රටවල නියඟය, ගංවතුර සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඇතුළු දේශගුණික බලපෑම් බෙහෙවින් වැඩි කළ හැකි ය. මීට අමතරව, නිවර්තන අත්ලාන්තික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය ද සාමාන්‍ය මට්ටමට වඩා උෂ්ණත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිරිත දිග මෝසම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට වැසි තත්ත්වයක් පැවතිය ද ජූලි - අගෝස්තු කාල සීමාව තුළ වර්ෂාපතනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවිය හැකි බවට මීට පෙර පුරෝකථනය කර තිබිණි.

නමුත් සැප්තැම්බර් මාසය තුළ ඇති විය හැකි තත්ත්වය අවිනිශ්චිත බවත්, ඔක්තෝබර් සිට නොවැම්ර් හා දෙසැම්බර් කාලය තුළ සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ තද වැසි සහිත කාලගුණයක් ඇති විය හැකි බවට ද කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබේ.

එමෙන් ම 2027 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ වියළි කාලගුණයක් ඇති විය හැකි බවට ද පුරෝකථනය කර තිබේ.

ජලය සිදී ගිය පොකුණක ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S.KODIKARA/AFP via Getty Images

උෂ්ණත්වය ඉහළ යන හැටි

ගෝලීය ඍතුමය දේශගුණික වාර්තාවට අනුව, ලෝකයේ බොහෝ ගොඩබිම් ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයක් (අධික රස්නයක්) ඇතිවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම උෂ්ණත්වය ඉහළ යාමේ දැඩි බලපෑම අප්‍රිකාව, දකුණු යුරෝපය, අරාබි අර්ධද්වීපය, ඉන්දියානු අර්ධද්වීපය (ශ්‍රී ලංකාව ඇතුළු කලාපය), නැගෙනහිර ආසියාව, මධ්‍යම ඇමෙරිකාව, කැරිබියන් දූපත්, දකුණු අප්‍රිකාව, දකුණු ඇමෙරිකාවේ වැඩි කොටසක් සහ නවසීලන්තය පුරා පැතිර යයි.

මේ අතර, සාගර මතුපිට සලකා බැලීමේදී, සමකයට ආසන්න පැසිෆික් සාගර කලාපය තුළ තවදුරටත් ප්‍රබල වන එල් නිනෝ (El Niño) තත්ත්වයේ සලකුණු පැහැදිලිව ම පෙන්නුම් කරන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

සාගර උෂ්ණත්වය ඉහළ යාමට අදාළ සිතියමකි

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ, කිසිදු එල් නිනෝ (El Niño) තත්ත්වයන් දෙකක් එක හා සමාන නොවන බව ය. එක් එක් එල් නිනෝ තත්ත්වයේ බලපෑම එහි ප්‍රබලතාව, පවතින කාලය, එය ආරම්භ වන මාසය සහ අනෙකුත් දේශගුණික රටා සමග සිදුවන බලපෑම මත වෙනස් වන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරයි.

ලෝකයේ සෑම ප්‍රදේශයකට ම මෙයින් එක ලෙස බලපෑම් ඇති නොවන අතර, එක ම කලාපයක් තුළ වුව ද බලපෑම් එකිනෙකට වෙනස් විය හැකිය.

එල් නිනෝ හෝ ලා නිනා නොමැති සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින විට වුව ද දැඩි කාලගුණික විපර්යාසයන් ඇති විය හැකි බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙයි.

වර්ෂාව වැඩිවෙන කලාප මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා වන වර්ෂාපතන අනාවැකිවලින් පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක ලක්ෂණයි.

මේ අනුව, අප්‍රිකාවේ මහා අඟ ප්‍රදේශය (Greater Horn of Africa), මධ්‍යම ආසියාවේ කොටස්, දකුණු යුරෝපය, බටහිර උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාවේ ගිනිකොනදිග ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි ඇතිවිය හැකි ය.

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ඉන්දියානු අර්ධද්වීපය (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු කලාපය), ඔස්ට්‍රේලියාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ, මධ්‍යම ඇමෙරිකාවේ දකුණු කොටස සහ කැරිබියන් දූපත්වල කොටස්, දකුණු ඇමෙරිකාවේ වයඹදිග ප්‍රදේශ මෙන් ම උතුරු යුරෝපයට සාමාන්‍යයට වඩා වියළි කාලගුණයක් (වැසි අඩු තත්ත්වයක්) ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී.

වැසි රටා වෙනස් වීම:

අධික වැසි සහ ගංවතුර: නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව, දකුණු යුරෝපය සහ උතුරු ඇමරිකාවේ බටහිර ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබිය හැක.

නියඟය සහ වියළි කාලගුණය: ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියානු අර්ධද්වීපය, ඔස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව සහ උතුරු යුරෝපය වැනි ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ (නියඟ තත්ත්වයක් ඇතිවීමේ) අවදානම ඉහළ යයි.

නොවැම්බර් සහ පෙබරවාරි අතරදී උපරිම ප්‍රබලතාවට

එල් නිනෝ සහ ලා නිනා යනු, වසරින් වසර ලෝකයේ කාලගුණය වෙනස් කිරීමට බලපාන ප්‍රධානතම සාධකයක් වන 'එන්සෝ' (ENSO) චක්‍රයේ ප්‍රතිවිරුද්ධ අවධීන් දෙකකි. මෙය ස්වභාවිකව ම සිදුවන දේශගුණික රටාවක් වන අතර, මෙහිදී සමකයට ආසන්න මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම (රත් වීම) සිදුවේ.

එල් නිනෝ තත්ත්වයන් සාමාන්‍යයෙන් වසර දෙකත් හතත් අතර කාලයකට වරක් ඇති වන අතර, ඒවා සාමාන්‍යයෙන් මාස නවයක් සහ දොළහක් අතර කාලයක් පවතී. මේවා බොහෝ විට මාර්තු සහ ජූනි මාස අතර කාලය තුළ වර්ධනය වීමට පටන් ගන්නා අතර, නොවැම්බර් සහ පෙබරවාරි අතර කාලයේදී උපරිම ප්‍රබලතාවට පත් වේ. එමෙන් ම, එල් නිනෝ තත්ත්වය ආරම්භ වූ වසරට පසු වසරේදී එයින් ලෝකයේ උෂ්ණත්වයට එල්ල කරන බලපෑම උපරිම මට්ටමකට පත් වේ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් එන්සෝ (ENSO / එල් නිනෝ හෝ ලා නිනා) තත්ත්වයන් ඒවායේ ප්‍රබලතාවය අනුව දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල හෝ ඉතා ප්‍රබල ලෙස වර්ගීකරණය කරනය කරන අතර 'සුපිරි එල් නිනෝ' (Super El Niño) යන වචනය තම නිල වර්ගීකරණ පද්ධතියට අනුකූල නොවන බැවින්, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නිල වාර්තා සඳහා එම වචනය භාවිත නොකරයි.

'සූදානම් වීමේ කාලය දැන් අවසන්'

"එල් නිනෝ (El Niño) තත්ත්වය දැන් අපේ දොරකඩට විතරක් නෙමෙයි, ගේ ඇතුළට ම ඇවිත් රස්නය තවත් වැඩි කරමින් තියෙනවා. මේක ආරම්භයක් විතරයි. දැනටමත් දැඩි රස්නය, විනාශකාරී ලැව්ගිනි සහ ඉතිහාසයේ ඉහළ ම සාගර උෂ්ණත්වය නිසා පීඩා විඳින අපේ පෘථිවියට, ශක්තිමත් වන එල් නිනෝ තත්ත්වය හරියට ගින්නට පිදුරු දමනවා වගෙයි. ෆොසිල ඉන්ධන භාවිතය මෙම අර්බුදය තවත් දරුණු කරනවා. ඒවා තවදුරටත් සෙවීම සහ භාවිතය වහා ම නැවැත්විය යුතුයි. තවත් ගල්අඟුරු, තෙල් සහ ගෑස් භාවිතය ඉදිරියේදී අපේ අනාගතය තවත් දරුණු ලෙස අනතුරේ හෙළනවා.

"අපි දැන් ම ක්‍රියාත්මක වෙලා ජනතාව ආරක්ෂා කිරීමටත්, මෙම දේශගුණික අර්බුදයට මුල් වූ ප්‍රධාන හේතුවලට විසඳුම් සෙවීමටත් කටයුතු නොකළහොත්, මෙයින් සිදුවන අනතුරු මීට වඩා බෙහෙවින් මාරන්තික වෙන්න පුළුවන්. සූදානම් වීමේ කාලය දැන් අවසන්. මෙහි නරක ම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටීමට අපට කිසිසේත් ම කාලයක් නැහැ," යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පැවසීය.

"එල් නිනෝ (El Niño) කියන්නේ ලෝකයේ වඩාත් ම සමීපව නිරීක්ෂණය කරන දේශගුණික තත්ත්වයන්ගෙන් එකක්. නමුත් කාලගුණ අනාවැකිවලට විතරක් තනිව ම අනතුරු වළක්වන්න බැහැ, ඒක කරන්නේ මිනිස්සු. ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සාගර ජලය රත්වීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මධ්‍යයේ වර්ධනය වන මෙම එල් නිනෝ තත්ත්වය, රජයන්ට සහ ජනතාවට මෙයින් සිදුවිය හැකි අනතුරු කල් තියා වටහාගෙන, එහි බලපෑම් ඇතිවීමට පෙර ක්‍රියාත්මක වීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.