නව සත්ව ශුභසාධන පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු: කෙටුම්පතට අනුව දඬුවම් ලැබෙන වැරදි මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
සතුන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ශුභසාධනය තහවුරු කිරීම උදෙසා සත්ව ශුභසාධන පනතක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටියි.
ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර, සත්වයන් කෙරෙහි කරුණාව, දයාව සහ නිසි සැලකිල්ලක් දැක්වීම සහ සතුන්ගේ ආරක්ෂාව, ශුභසාධනය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, සත්වයන් කෲරත්වයට ලක්වීමෙන් ආරක්ෂා කිරීම සහ සත්වයන් භාරව සිටින තැනැත්තන් රැකවරණමය යුතුකම හඳුනා ගැනීම, මහජනතාව සත්වයන්ට මානුෂිකව සැලකීම සහ සත්වයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ගත හැකි සෑම සාධාරණ පියවරක් ම ගැනීම මෙම පනත ගෙන ඒමේ අරමුණු ලෙස සඳහන් කර තිබේ.
"සත්ව ශුභසාධනය සැලසීම සඳහා සහ සත්වයන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සඳහා ද; (475 වන අධිකාරය වූ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි," යනුවෙන් පනත් කෙටුම් පතෙහි සඳහන් කර තිබේ.
1. සතුන්ට කෲර ලෙස සැලකීමේ වැරදි ලෙස දක්වා ඇත්තේ මොනවා ද?
පහර දීම, පයින් ගැසීම, පාගා දැමීම, අධික බර පැටවීම, අධික ලෙස වැඩ කරවීම, අධික ලෙස ඇවිද්දවීම, අධික ලෙස බෝකරවීම, වධ හිංසා පැමිණවීම, බිය ගැන්වීම හෝ අන්‍යාකාරයකින් සත්වයකු අනවශ්‍ය වේදනාවකට පත් කරන ආකාරයකින් එම සත්වයාට සැලකීම හෝ සත්වයා භාර තැනැත්තා වශයෙන් සත්වයාට එලෙස සැලකීමට අවසර දීම මෙම පනත් කෙටුම්පතින් වැරදි ලෙස නම් කර තිබේ.
යම් රෝගයක්, අශක්නුතාවක්, තුවාලයක් හෝ වෙනත් කාරණයක් හේතුවෙන් භාවිත කිරීමට නුසුදුසු සත්වයෙක් යම් කාර්යයකට හෝ වැඩකට හෝ වෙනත් යම් කාර්යයක් සඳහා භාවිත කිරීම හෝ සත්වයා භාර තැනැත්තා වශයෙන්, යම් නුසුදුසු සත්වයෙකු එලෙස භාවිත කිරීමට අවසර දීම ද මෙම කෙටුම්පතට අනුව තහනම් වේ.
සත්වයෙකුගේ ස්වභාවික හැකියාව සහ ශක්තිය ඉක්මවා යන පරිදි සත්වයෙකුට බල කිරීම ඇතුළුව, එම සත්වයාගේ සෞඛ්‍යයට සහ ශුභසාධනයට අහිතකර වන ආකාරයකට සත්වයෙකු යම් දෙයක් සඳහා පුහුණු කිරීම මෙන් ම, හිතාමතා ම සහ අයුක්තිසහගතව සත්වයෙකුට යම් විෂක්, හානි කර ඖෂධයක් හෝ ද්‍රව්‍යයක් ලබාදීම සහ යම් විෂක්, හානිකර ඖෂධයක් හෝ ද්‍රව්‍යයක් සත්වයෙකු විසින් ලබා ගනු ලැබීමට හිතාමතා ම සහ අයුක්තිසහගතව ඉඩ සැලැස්වීම හෝ ඉඩ සැලැස්වීමට තැත් කිරීම ද සත්වයන්ට කෲර ලෙස සැලකීමේ වැරදි ලෙස පනත් කෙටුම් පතෙහි දක්වා ඇත.
අනවශ්‍ය වේදනාවක් ඇති වන යම් ඉරියව්වකින් සත්වයෙකු ප්‍රවාහනය කිරීම හෝ රැගෙන යාම, චලනය වීම සඳහා සත්වයෙකුට සාධාරණ ලෙස ඉඩ නොදෙන උසින්, දිගින් සහ පළලින් ප්‍රමාණවත් මිනුමකින් සමන්විත නොවන යම් කූඩුවක හෝ ස්ථානයක සත්වයෙකු තබා ගැනීම හෝ රඳවා ගැනීම ද කෙටුම්පතෙන් තහනම් කර තිබේ.
එමෙන් ම, සත්වයෙකු අයුක්තිසහගත කාලසීමාවක් සඳහා අයුක්තිසහගත ලෙස කෙටි හෝ අයුක්තිසහගත ලෙස බරින් යුතු දම්වැලකින් බැඳ දැමීම හෝ ලණුවකින් ගැට ගැසීම හෝ සත්වයාට අනවශ්‍ය වේදනාවක් ඇති වන ආකාරයකින් සත්වයෙකු බැඳ තබා ගැනීම හෝ සීමා කර තබා ගැනීම ද මෙම පනත් කෙටුම්පතට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
සත්වයෙකු භාරව සිටින තැනැත්තෙකු වශයෙන්, සත්වයෙකුට ආහාර, ජලය හෝ වාසස්ථාන චේතනාන්විතව අහිමි කිරීම, එකී සත්වයා මහජනතාවට බරපතළ සහ අත්‍යාසන්න අනතුරක් සිදු කරන්නේ නම් මිස, එම සත්වයා හෝ එම සත්වයාගේ පැටවෙකු මරා දැමීම, සත්වයෙකු නිරාහාරව තබමින් සහ වේදනාව ඇති කරමින් නොසලකා හැරීම සහ සිතාමතා ම වෙනත් යම් ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් සත්වයෙකුට අනවශ්‍ය වේදනාවක් ඇති කිරීම සත්වයන්ට කෲර ලෙස සැලකීමේ වැරදි ලෙස සඳහන් වේ.
2. කෲර ලෙස සැලකීමට සහ කෲර ආකාරයකින් සත්වයෙකු මැරීමට නියම වන දඬුවම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නව පනත් කෙටුම්පතෙහි දක්වා ඇති විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කරන යම් තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබන අතර මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙලක්ෂ පනස්දහසක් නොඉක්මවන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් විය යුතු ය.
කෲර ආකාරයකින් යම් සත්වයෙකු මැරීම සිදු කරන තැනැත්තෙකු මෙම පනත් කෙටුම්පත අනුව වරදක් සිදුකරනු ලබන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට හෝ වසර තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කළ හැකි වේ.
තව ද, යම් ගර්භණී සත්වයෙකු, එකී සත්වයා මහජනතාවට බරපතළ සහ අත්‍යාසන්න අනතුරක් සිදු කරන විටක මිස, සත්වයන් චේතනාන්විතව මැරීම හෝ මැරීම සඳහා බව දනිමින් ම විකිණීම හෝ භාර දීම කරනු ලබන යම් තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ 5ක් නොඉක්මවන දඩයකට හෝ වසර හතරක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් විය යුතු බව පනත් කෙටුම්පතේ දක්වා තිබේ.
3. පක්ෂීන් සිර කර තබා ගැනීම සහ උගුල් ඇටවීම සම්බන්ධ වැරදි
වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනතේ ප්‍රතිපාදනවලට අගති විරහිතව යම් තැනැත්තෙකු යම් සාධාරණ හේතුවක් නොමැතිව සත්වයෙකු අල්ලා ගැනීම, හානි කිරීම හෝ මැරීම සඳහා උගුලක් ඇටවීම හෝ උගුලක් ඇටවීමට සැලැස්වීම නොකළ යුතු බව මේ කෙටුම්පතේ සඳහන් කර ඇති තවත් විශේෂ කරුණකි.
තව ද, පක්ෂීන් නීති විරෝධීව සිර කර තබා ගැනීම ද පනතින් තහනම් කර ඇති අතර සත්වයෙකුගේ කකුලට මුදුවක්, දම්වැලක්, ලණුවක්, නූලක් හෝ කම්බියක් සම්බන්ධ කිරීම, ගෙල හෝ ශරීරය වටා සිර කිරීම හෝ පියාපත් කැපීම යන ආකාරවලින් පක්ෂීන් සිර කර තබා ගැනීම මෙයින් වරදක් බවට පත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
4. සත්වයෙකුට ප්‍රතිකාර කිරීමට සහ වඳ බවට පත් කිරීමට අවසර ඇත්තේ කාට ද?
යම් තැනැත්තෙකු විසින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව යම් රෝගාතුර වූ හෝ ආබාධිත සත්වයෙකුට යම් පොදු ස්ථානයක, වීදියක හෝ උද්‍යානයක මිය යාමට ඉඩ ලබා නොදිය යුතු අතර සත්වයන් අත්හැර දැමීම ද නව පනත් කෙටුම්පතින් තහනම් කර ඇත.
එමෙන් ම ප්‍රතිකාර කළ යුත්තේ කවුරුන් ද? යන්න සම්බන්ධයෙන් ද එහි සඳහන්ව තිබේ.
ඒ අනුව, පශු වෛද්‍යවරයකු හෝ 1961 අංක 31 දරන ආයුර්වේද පනත මගින් පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි, සතුන්ට ප්‍රතිකාර කිරීමේ පළපුරුද්ද සහිත ආයුර්වේද වෘත්තිකයෙකු හැර යම් තැනැත්තෙකු විසින් යම් වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ පශු වෛද්‍යවරයෙකු විසින් හැර සැත්කම් ප්‍රතිකාරයක් නොකළ යුතු ය.
නීති විරෝධීව සත්වයන් පුමංගහරණය හෝ වඳ බවට පත් කිරීම, විලවුන් ආදිය පරීක්ෂා කිරීමට සත්වයන් භාවිත කිරීම මෙන් ම විකිණීම සඳහා වේදනාවට හෝ පීඩාවට පත් කිරීම ද මෙම පනත් කෙටුම්පතින් තහනම් වේ.
සත්වයෙකු පුමංගහරණය [emasculation] කිරීම පශු වෛද්‍යවරයෙකු විසින් හෝ පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ නම් මිස, යම් තැනැත්තෙකු විසින් සත්වයෙකු පුමංගහරණය කිරීම හෝ සත්වයා පුමංගහරණයට පත් කිරීමට සැලැස්වීම නොකළ යුතු අතර, සත්වයෙකු වඳ බවට පත් කිරීම පශු වෛද්‍යවරයෙකු මිස වෙනත් අයෙකුට තහනම් කර තිබේ.
5. විලවුන් පරීක්ෂා කිරීමට සතුන් යොදා ගැනීම
එමෙන් ම, විලවුන්, විලවුන් අන්තර්ගත ද්‍රව්‍ය හෝ විලවුන් නිෂ්පාදන, අත්හදාබැලීම සඳහා සත්වයෙකු යොදා ගැනීම ද පනත අනුව තහනම් ක්‍රියාවකි. ඒ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතේ මෙලෙස සඳහන් කර තිබේ.
"යම් තැනැත්තෙකු විසින් අසනීපයක්, රෝගයක්, අංග ඡේදනයක්, නිරාහාරවීමක්, පිපාසයක්, අධික තදබදයක් හෝ හිංසා කිරීමක් හේතුවෙන් වේදනාවට පත්ව සිටින යම් සත්වයකු වෛද්‍ය ප්‍රතිකාර සහ සත්කාර සඳහා මිස, විකිණීම හෝ විකිණීම සඳහා අර්පණය කිරීම හෝ විකිණීමට ගිවිස ගැනීම නොකළ යුතු ය."
පනත් කෙටුම්පතින් තහනම් කළ ක්‍රියාවන් අතර යම් සත්වයකුට අනවශ්‍ය වේදනාවක් හෝ දැඩි පීඩාවක් ඇති කළ හැකි පරිදි එම සත්වයා විකිණීමට හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනයට තැබීම ද අයත් ය.
6. ක්‍රීඩා සඳහා හෝ විනෝදයට සතුන් දඩයම් කිරීම
සතෙකු දඩයම් කිරීම, තුවාල කිරීම, හෝ මැරීම සිදු කිරීමේ කාර්යය සඳහා යම් ආකාරයකින් වෙනත් සත්වයෙකු යොදා ගැනීම නොකළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් තවත් කරුණකි.
සත්වයන්ට තුවාල සිදුකරන්නා වූ හෝ සත්වයන්ගේ ජීවිත විනාශ කරන්නා වූ දඩයම් ක්‍රීඩා හෝ විනෝද පිණිස, වෙනත් යම් ආකාරයක ක්‍රීඩා, වෙඩි තැබීම හෝ සත්වයා දඩයම් කිරීම සඳහා සත්වයකු නිදහස් කරනු ලබන වෙඩි තැබීමේ තරග, සත්වයෙකුට ගොදුරු වීමට හෝ වෙනත් සත්වයෙකු සමග සටන් කිරීමට පෙළඹවීම මෙන් ම යම් සත්වයෙකු රඳවා තබා ගැනීම සිදු කරන්නා වූ ක්‍රීඩා ඉසව්වක් හෝ විනෝද අවස්ථා මෙම පනතින් තහනම් කර ඇත.
තව ද එවැනි තවත් වැරදි කිහිපයක් පනතේ දක්වා ඇති අතර එම ප්‍රතිපාදන උල්ලංඝනය කරන ලබන තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකදී වරදකරු බවට පත්වුවහොත් රුපියල් දෙලක්ෂ පනස් දහසක් නොඉක්මවන දඩයකට හෝ වසරක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කිරීමට මෙම පනතින් බලතල සපයා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
7. සතුන් ප්‍රවාහනය හා රැගෙන යාම කළ යුත්තේ කෙසේ ද?
සත්වයන් ප්‍රවාහනය හෝ රැගෙන යාම සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙම පනත් කෙටුම්පතෙහි දක්වා ඇත.
යම් තැනැත්තෙකු යම් සත්වයෙකු, එකී සත්වයාට අනවශ්‍ය වේදනාවක් හෝ පීඩාවක් හෝ එකී සත්වයාට තුවාලයක් හෝ අනතුරක් ඇති කිරීමේ ඉඩකඩ ඇති ආකාරයට රැගෙන යාම, ගෙන යාම හෝ ප්‍රවාහනය කිරීම හෝ රැගෙන යාමට, ගෙනයාමට හෝ ප්‍රවාහනය කිරීමට සැලසීම නොකළ යුතු බව පනතෙහි දක්වා තිබේ.
තව ද, සත්වයෙකු ප්‍රවාහනය කිරීම හෝ රැගෙන යාම සම්බන්ධයෙන් කොන්දේසි ගණනාවක් සත්ව ශුභසාධන පනත් කෙටුම්පතේ ඇතුළත් වේ.
කෙටුම්පතේ දක්වා ඇති ආකාරයට සත්වයෙකු ප්‍රවාහනය හෝ රැගෙන යාමේදී අදාළ කොන්දේසි උල්ලංඝනය කරන තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබන අතර එවන් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ තුනක් නොඉක්මවන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකට ම යටත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
8. පරීක්ෂණ සහ ඉගැන්වීමට සතුන් යොදා ගැනීම
පරීක්ෂණ සහ ඉගැන්වීම සඳහා සජීවි සත්වයන් භාවිත කිරීම සම්බන්ධ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි ඇතුළත් වේ.
"ජීවිත ආරක්ෂා කිරීම සඳහා, ජීවිතය දීර්ඝ කිරීම සඳහා, වේදනාවට සහනය සැලසීම සඳහා, යම් රෝගවලට විරුද්ධව සටන් කිරීම සඳහා, ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා, මනුෂ්‍යයන්, සත්වයන් හෝ ශාක මත ඖෂධ යෙදීමේ ආරක්ෂිත බව හෝ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා හෝ ඉගැන්වීම් සඳහා සතුන් යොදාගැනීම සඳහා උපකාර විය යුතු දැනුම නව සොයාගැනීම් මගින් වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා ප්‍රයෝජනවත් වන පරීක්ෂණ සිදු කරනු ලැබීම පිළිබඳ මේ පනතේ අන්තර්ගත කිසිවකින් නීත්‍යනුකූල නොවනු ලබන බවට නොසැලකිය යුතු ය," යනුවෙන් පනත් කෙටුම්පතේ සම්බන්ධයෙන් විස්තර කර තිබේ.
"එසේ වුව ද, එකී පරීක්ෂණ සිදු කිරීමට අදාළ තීරණ ගැනීමේදී, අදාළ පාර්ශ්වය විසින්, සජීවී සත්වයන් යොදාගෙන පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන්නා වූ පරිගණක අනුකාරක සහ අනෙකුත් ශබ්ද රූප ක්‍රම, කෘත්‍රිමව නිෂ්පාදිත ආදර්ශ, සදාචාරාත්මක වශයෙන් ප්‍රභවය ලද මළ සිරුරු සහ සායනික අත්දැකීම් ඇතුළුව විකල්ප ක්‍රම සහ උපකරණවල උපයෝග්‍යතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු ය," යනුවෙන් ද එහි සඳහන්ව තිබේ.
සත්ව ශුභසාධන නිලධාරියා විසින් සාධාරණ යයි සලකනු ලබන වේලාවකදී සත්වයන් පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබන ආයතනට හෝ ස්ථානයට ඇතුළු වී ඒවා පරීක්ෂා කිරීමට ද මෙම පනතින් බලය ලබා දී තිබේ.
පනතේ සඳහන් සත්වයන් පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් නියෝගයක් උල්ලංඝනය කරන තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබන අතර මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන නඩු විභාගයකින් වරදකරු කරනු ලැබුවහොත් රුපියල් දෙලක්ෂ පනස් දහසක් නොඉක්මවනන දඩයකට හෝ මාස තුනක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.
9. සුරතල් සතුන් විකණීම, බෝ කිරීම සහ සුරතල් සතුන් අලෙවිසල්වලට අදාළ කරුණු
සුරතල් සතුන් විකිණීමේ වෙළෙඳසල් සඳහා ද නව නීති මෙම නව කෙටුම්පත හරහා හඳුන්වා දී තිබේ.
"කිසිදු තැනැත්තෙකු විසින්, සුරතල් සත්ව සාප්පුවක් හෝ සුරතල් සත්වයන් බෝ කරවීමේ මධ්‍යස්ථානයක් පිහිටා ඇති ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ හැර, එකී සුරතල් සත්ව සාප්පුව හෝ සුරතල් සත්වයන් බෝ කරවීමේ මධ්‍යස්ථානය තබා ගැනීම හෝ පවත්වාගෙන යාම සිදු නොකළ යුතු ය," යැයි එහි සඳහන් කර තිබේ.
පනත් කෙටුම්පතට අනුව, "සුරතල් සත්ව සාප්පුවක් හෝ සුරතල් සත්වයන් බෝ කරවීමේ මධ්‍යස්ථානයක් තබා ගැනීමට හෝ පවත්වාගෙන යාමට අදහස් කරනු ලබන යම් තැනැත්තකු විසින්, පළාත් පාලන ආයතනය විසින් නිශ්චය කරනු ලැබිය හැකි ගාස්තුව ගෙවීම මත, බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතනය වෙත නියම කරනු ලැබිය හැකි ආකෘතියෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබිය යුතු ය."
මීට අමතර සුරතල් සතුන් විකිණීම සහ එම සත්වයන්ගේ ශුභසාධනය සම්බන්ධ කොන්දේසි කිහිපයක් පනතේ සඳහන් කර ඇති අතර වීදියක යම් කොටසක, පාරක හෝ පොදු ස්ථානයක සත්වයන් විකිණීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම සහ වයස අවුරුදු දහසයකට අඩු තැනැත්තෙකු වෙත සුරතල් සත්වයෙකු විකිණීම මෙම පනත අනුව තහනම් වේ.
එමෙන් ම, සුරතල් සත්වයන් විකිණීම මෙන් ම නියාමනය, සුරතල් සත්වයක් විකිණීමේ වැරදි සහ සුරතල් සත්ව සාප්පු පරීක්ෂා කිරීමට බාධා කිරීම වැරදි වශයෙන් පනතේ දක්වා ඇති අතර එවැනි ක්‍රියාවකට මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන නඩු විභාගයක දී වරදකරුවෙකු කරනු ලැබුවහොත් ලබා දෙන දඬුවම් වෙන වෙන ම සඳහන් කර ඇත.
10. සත්ව ශුභසාධන පනත යටතේ නඩු පැවරිය හැකි කාල රාමුව
මෙම පනත් කෙටුම්පත යටතේ වන සියලු වැරදි සංඥය වැරදි ලෙස සැලකිය ලැබිය යුතු බව ද සත්ව ශුභසාධන පනත් කෙටුම් පතෙහි දක්වා තිබේ.
මෙහි සඳහන් වරදක් සඳහා විමර්ශන පැවැත්වීම සහ වරෙන්තු ලබා ගැනීම ඇතුළු කරුණු මෙන් ම, විමර්ශන නිලධාරියෙකුට බාධා කිරීම ද වරදක් වේ.
තව ද, පනතේ සදහන් වරදක් කිරීමට ආධාර අනුබල දීම, සත්වයන් සම්බන්ධ නඩුවලට මැදිහත් වීමේ අයිතිය වැනි නෛතික කරුණු රාශියක් මෙම පනතෙහි දක්වා ඇත.
එමෙන් ම මෙම පනත යටතේ වරදක් සිදු කර තිබෙන්නේ නම් වරද සිදු කළ දිනයේ සිට මාස 12ක කාලයක් තුළ නඩු පැවරිය යුතු ය.
"මේ පනත යටතේ සිදු කරන ලද වරදක් සඳහා වරද සිදු නඩු පැවරීම කිරීමේ දින සිට මාස දොළහක කාලයක් ඉක්මවීමෙන් පසු නඩු සඳහා කාලසීමාව පැවරීමක් නොකළ යුතු ය," යනුවෙන් ද පනතේ සඳහන් කර තිබේ.
නිදසුනක් ලෙස යම් කෙනෙකු 2026 අගෝස්තු 01 වන දා මේ පනත යටතේ වරදක් කළහොත්, ඊට එරෙහිව නඩුව පැවරිය හැක්කේ, 2027 අගෝස්තු 01 දක්වා කාලය තුළ පමණි.

































