ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වී ඇත්තේ ඇයි?
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිකුරාදා (ජූලි 3) අත්අඩංගුවට ගත්තේ ය.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බැඳී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුවට යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ය.
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
මේ අතර, ජූනි මස 17 වන දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී යෝෂිත රාජාක්ෂ අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරිණි.
වසන්ත කරන්නාගොඩ යනු කවුද? ඔහු සම්බන්ධ ආන්දෝලන මොනවා ද?
1971 අගෝස්තු 1 වන දා නාවික හමුදා සේවයට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ඔහු 2005 සැප්තැම්බර් 1 වන දින නාවික හමුදාපති වශයෙන් පත් කෙරිණි.
වසර 59ක් වූ නාවික හමුදා ඉතිහාසයේ, නාවික විධානයක ආඥාපතිව සිටින අතරතුර නාවික හමුදාපති ධූරය සඳහා පත්වීම් ලැබූ ප්‍රථම නිලධාරියා වන්නේ ඔහු යි.
ශාස්ත්‍රපති උපාධි දෙකක් ඇති ප්‍රථම නාවික නිලධාරියා වීමේ අවස්ථාව ද ඔහු සතුවී ඇත.
රාජකීය ජලතරණ ආයතනයේ සහ එක්සත් රාජධානියේ නාවික ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු, හවායිහි පිහිටි ආරක්ෂණ අධ්‍යයනය සඳහා වූ ආසියානු පැසිෆික් මධ්‍යස්ථානයේත්, වොෂින්ටන් ජාතික ආරක්ෂණ විශ්වවිද්‍යාලයයේ නැගෙනහිර - දකුණු ආසියා උපායමාර්ගික සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
1987 වසරේදී එක්සත් රාජධානියේ රාජකීය නාවික මාණ්ඩලික විද්‍යා පීඨයේ සහ පකිස්ථානයේ පිහිටි ජාතික ආරක්ෂණ විද්‍යා පීඨයේ උපාධි පාඨමාලා සඳහා ද ඔහු සහභාගී වී ඇත.
ඔහු වසර හයක කාලයක් තුළ උතුර, නැගෙනහිර, බටහිර, සහ උතුරු මැද යනාදී වශයෙන් මෙහෙයුම් හා ඍජුව සම්බන්ධ වන නාවික විධානයන් හතරක්, හත්වරක් සිය ආඥාපතිත්වය යටතේ මෙහෙය වීමේ විරල අවස්ථාව සිය සේවා දිවිය තුළ අත්කර ගෙන තිබේ.
නාවික හමුදාවේ 'අධ්‍යක්ෂ ජනරාල් - මෙහෙයුම්' වශයෙන් පත්වූ ප්‍රථම නිලධාරිවරයා ලෙස සඳහන් වන්නේ ද ඔහු ය.
ඊට පෙර ඔහු අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් මෙන් ම, අධ්‍යක්ෂ නාවික පුද්ගල සහ පුහුණු වශයෙන් කටයුතු කර ඇත.
මීට අමතරව නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කිරිමේ අවස්ථාව ද ඔහු හිමි කර ගෙන ඇත.
තව ද, ඔහු බටහිර, දකුණ හා නැගෙනහිර නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති වශයෙන් ද කටයුතු කර තිබේ.
ජලතරණ විද්‍යාව පිළිබදව විශේෂඥයෙකු ලෙස ද සැලකෙන ඔහු නාවික හමුදාව සතු යාත්‍රා බොහෝ ගණනක විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.
ඔහුගේ මුහුදු සේවා කාලය 1992දී අවසන් වූ අතර, එවකට වූ වික්‍රම නෞකාවේ සේවය කරමින් සිටියේ ය.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වශයෙන් ක්‍රියාකරමින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය එරෙහි යුද්ධය නිමා කිරීමේදී උපාය මාර්ගික වශයෙන් නාවික හමුදාව සවිමත් කිරීම හේතුකොට ගෙන එවකට ජනාධිපතිවරයා විසින් ඔහු අද්මිරාල් තනතුර වෙත උසස් කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය තුළ සක්‍රීය සේවයේ යෙදි සිටින අතරතුර එම නිලයට පත් ප්‍රථම නාවික හමුදාධිපතිවරයා වශයෙන් ද වසන්ත කරන්නාගොඩ ඉතිහාසයට එක්වේ.
යුද්ධ බිමේදී ප්‍රකට කළ වීරත්වය හේතුවෙන් ඔහු රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.
ඊට අමතරව විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිරිය සේවා පදක්කම, ජනපති පදවි ප්‍රාප්ති පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම ආදි වශයෙන් පදක්කම් රැසක් ද ඔහු සතු ය.
විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' යන ගෞරව නාමයන් ලැබුණේ, 2019 වසරේ සැප්තැම්බර් 19 වන දින ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' යන ගෞරව නාමය සංක්තවත් කරමින් විශේෂ යෂ්ටියක් ද එවකට ඔහු වෙත ප්‍රදානය කළේ ය.
මෙම විශේෂ විශ්‍රාමික නොවන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' නිලය කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයට සමාන ය. රටක ත්‍රිවිධ සේවාවන් වෙනුවෙන් පිරිනමන මෙම ඉහළ ම ගෞරව සම්මානය තරු පහකින් සංකේතවත් කරන ගෞරවනීය හමුදා නිලයකි.
2021 වසරේදී ඔහු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කෙරුණේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොරෝනාවෛරසය ආසාදනය වී අභාවයට පත් වීමත් සමග ඇති වූ එම ධූරයේ පුරප්පාඩුව පිරවිමට ය.
මේ අතර, කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් ඇතුළු එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකරු වූයේ අද්මිරාල් වසන්න කරන්නාගොඩ යි.
කෙසේ නමුත්, හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව පවතින චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා 2021 වසරේ අගෝස්තු 4 වන දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
අනතුරුව ඔහු එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2025 වසරේ සැප්තැම්බර් 15 වන දා අවසර දුන්නේ ය.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි 30 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ අභියාචනය මැයි මස 27 වන දා විභාගයට ගැනීමට දින නියම කළේ ය.