ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රටට ම ආදර්ශයක් වූ අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ 'ස්මාර්ට්' ඩෙංගු මර්දන ව්‍යාපෘතිය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මෙතෙක් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,000 ඉක්මවා ඇති අතර මරණ 24ක් වාර්තා වී තිබේ. මෙය රටේ සෞඛ්‍ය පද්ධතියට ඍජු බලපෑමක් ඇති කර ඇති බව පැහැදිලිය.
තව ද, මෑතකදී නිකුත් කර ඇති දත්ත අනුව පාසල් පරිශ්‍රවලින් 41% ක්ම මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර වැසි ජලය රැඳෙන පොල්කටු, ටයර්, ප්ලාස්ටික් බඳුන් සහ අවහිර වූ කාණු පද්ධති ඩෙංගු වාහක ඊඩීස් (Aedes) මදුරුවන් බෝවන ස්ථාන ලෙස සනාථ වී ඇත.
මෙම පසුබිම මධ්‍යයේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ග්‍රාමීය පාසලක් වන අම්පේගම ප්‍රාථමික විද්‍යාලය විසින් ඒ සඳහා නව්‍ය හා ආදර්ශමත් විසඳුමක් ආරම්භ කර තිබේ. මෙය මදුරුවන් බෝවීම් අවම කිරීම සහ පරිසරය සුරැකීම අරමුණු කරගත් ස්මාර්ට් ප්‍රජා මූලික වැඩසටහනකි.
ඩෙංගු අවදානම හමුවේ හුදෙක් බලාපොරොත්තු සුන් කර නොගත් ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පිහිටි මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයත්, එහි අධ්‍යාපනය ලබන 600කට ආසන්න සිසු පිරිස සහ දෙමව්පියන් මෙම ව්‍යසනය වාසියක් බවට හරවා ගෙන ඇත්තේ, සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට යමිනි.
ඩෙංගු මදුරුවන් බෝවීමට ප්‍රධානතම තෝතැන්නක් වන්නේ ඉවතලන පොල්කටුය. එබැවින් නිවෙස් පරිශ්‍රවල තැන තැන දමා ඇති පොල්කටු එක් රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අම්පේගම ප්‍රාතමික විද්‍යාලය තීරණය කර ඇත.
පොල්කටු එක් රැස්කර විකුණා ලැබෙන මුදලෙන් පන්ති කාමර 15ක් සඳහා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් සිවි කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
පරිසරය සුරකින අතරම තම දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල් යුගයට රැගෙන යාමට අම්පේගම ප්‍රාථමික විද්‍යාලය තැබූ මෙම සුවිශේෂී පියවර, රටම වෙලාගත් සෞඛ්‍ය තර්ජනයකට එරෙහිව ප්‍රජා නායකත්වය පෙරදැරිව දියත් කළ හැකි විශිෂ්ටතම නිදසුනක් ලෙස සැලකිය හැකිය.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සතියකට වරක් පාසලට පැමිණ පාසල් භූමියේ තත්ත්වය පරීක්ෂා කරන බව අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ.කේ සමන් චන්දන බීබීසී සිංහල වෙත පැවසීය.
"ඩෙංගු බෝවීමේ කිසිම අවදාම් ස්ථානයක් අපි පාසලේ තියන්නේ නැහැ, සියයට සියයක්ම අපි පාසල් භූමිය ක්ලියර් කරලා තියෙන්නේ, කිසිම ඩෙංගු අවදානමක් නැති විදිහට. ඊට පස්සේ මම අදහස් කළා, දරුවන්ගේ ගෙවල්වලටත් මේ පණිවිඩය යන්න ඕනේ. අනිත් එක අපේ ඉස්සේකොල් තවත් අවශ්‍යතා ටිකක් තියෙනවා සපුරා ගන්න. එතකොට මං කල්පනා කළා මේකට අලුත් දෙයක්."
ඉවතලන පොල්කටු රැස් කිරීම
මෙම වැඩසටහන යටතේ පාසල් බලධාරීන් සිසු සිසුවියන්ට මුළින්ම දැනුම් දී ඇත්තේ, නිවසේ එක් රැස්වන හා ඉවතලන පොල්කටු පාසලට රැගෙන එන ලෙසයි.
සිසුන් රැගෙන එන පොල්කටු භාර ගනු ලබන්නේ, දෙමව්පිය සාමාජිකයින් 40 දෙනෙකුගෙන් යුත් පාසල් ඵලදායීතා කමිටුව විසිනි.
එම කමිටුව මගින් සිසුන් ගෙන එන පොල්කටු ප්‍රමාණය පිළිබඳ සවිස්තරත්මක සංඛ්‍යා දත්ත එක් රැස් කරයි.
වැඩිම පොල්කටු ප්‍රමාණයක් රැගෙන එන දරුවාට සහ පන්තියට වෙනම ත්‍යාග පිරිනැමීමටත් මෙම කමිටුව කටයුතු යොදා තිබේ.
ජුනි 05 වැනි දා වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු දිනයේම පාසල වෙත ලැබී ඇති පොල්කටු ප්‍රමාණය 11,000කට අධිකයි. ඒවා විකුණා රුපියල් 37,000ක ආදායමක් ලැබීමට පාසලට හැකිව තිබේ.
අනතුරුව පාසල් බලධාරීන් ව්‍යාපෘතියේ දෙවන අදිරය ද ජුනි 16 වැනිදා ක්‍රියාත්මක කළේය.
එදින පාසල් දරුවන් විසින් රැගෙන එන ලද පොල්කටු ප්‍රමාණය 25,000කට අධික වී තිබේ. ඒවායේ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2000කට අධිකය. ඒවා විකිණීමෙන් රුපියල් 135,000ක මුදලක් උපයා ගැනීමට පාසලට හැකිව තිබේ.
"ආදරණීය දෙමව්පියන් ඉතා කැමැත්තෙන්, උනන්දුවෙන් පොල්කටු මෙම ස්ථානයට ලබා දෙනවා, පාසලේ සියලුම දරුවනුත් මේකට දායක වනවා" යැයි පාසලේ දෙමව්පිය කමිටු සාමාජිකයෙකු වන හර්ෂ ප්‍රියංකර බීබීසී සිංහල වෙත පැවසීය.
අධ්‍යාපනයට තාක්ෂණය එක් කළ නව්‍ය පියවර
පළමුව ලද මුදලෙන් පාසලේ පන්ති කාමරයකට මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටරයක් සවි කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබිණි.
එය දැනටමත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදවා තිබේ.
පන්ති කාමර තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට උත්සහ කරන මෙම අපූරු පාසල දැන් සැලසුම් කර ඇත්තේ, පොල්කටු විකුණා ලැබෙන ආදයමෙන් සෙසු පන්තිකාමරවලට ද මල්ටිමීඩියා ප්‍රෝජෙක්ටර සවිකිරීමට සහ පරිගණක මිලදී ගැනීමටය.
"දැන් මේකෙන් දරුවන්ගේ ගෙවල්වල තියෙන ඩෙංගු අවධානම විශාල වශයෙන් අඩු වෙනවා. කවුරුත් ගණනන් ගන්නේ නැති අහක දාන නමුත් ලොකු රෝග කාරක තත්ත්වයක් ඇති කරන දෙයක් වෙච්ච පොල්කටු , අපි ඒක පාසලට ගෙන්වා ගෙන, තමන්ගේ භූමියත් පිරිසිදු වෙන ගමන්, රටටත් බරක් නැතිව, රටටත් සේවයක් කරන ගමන්, ඒක මුදල් බවට පත් කරලා අපි පාසලේ අවශ්‍යතාත් අපි සපුරා ගන්නවා." විදුහල්පතිවරයා බීබීසී සිංහල වෙත පැවසීය.
සෞඛ්‍යය, පරිසරය හා අධ්‍යාපනය එකට බැඳුණු ආදර්ශය
විදුහල්පතිවරයා පෙන්වා දෙන්නේ, මිනිසුන් සැලකීමක් නොදක්වන පොල්කටු වැනි ද්‍රව්‍ය ඩෙංගු ව්‍යාප්තියට දැඩි ලෙස දායක වන බවත්, ඒවා නිවැරදිව කළමනාකරණය කරමින් පරිසරය පිරිසිදු කරගැනීමෙන් සමඟ පාසල් අවශ්‍යතාද සපුරාගත හැකි බවයි.
මෙම වැඩසටහන ඔස්සේ ඩෙංගු අවදානම අවම කිරීම, පරිසරයේ පිරිසිදුකම වර්ධනය, ප්‍රජාව දැනුවත් කිරීම, පාසල් සංවර්ධනයට නව ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම යන අංග එකට සම්බන්ධ කර ඇත.
සෞඛ්‍ය උපදෙස් හා ප්‍රජා වගකීම
2026 වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 70ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝගය වැළඳුණු පසු මරණීය අවදානමෙන් බේරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දීර්ඝ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව,
- පොල්කටු, ටින්, ටයර්, ප්ලාස්ටික් බඳුන් විනාශ කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය
- ජලය රැඳීම වැළැක්වීම
- ජල ටැංකි වසා තැබීම
- සතියකට වරක් පරිශ්‍ර පරීක්ෂා කිරීම වැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ.
අම්පේගම විද්‍යාලය පොල්කටු එක් රැස්කළා සේම ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, පාවිච්චි නොකරන ටයර් සහ ටින් වර්ග ජලය නොරැඳෙන සේ විනාශ කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උපදේ දී තිබේ.
ගෘහස්ත අවශ්‍යතා සඳහා ජලය එකතු කර තබන බැරල්, ටැංකි සහ කළගෙඩි මදුරුවන්ට ඇතුළු විය නොහැකි සේ තදින් වසා තබන ලෙස මෙන්ම ශීතකරණ තැටි, මල් පෝච්චි තැටි සහ වතුර එකතු කරන බඳුන් සතියකට වරක් පරීක්ෂා කරන ලෙසටද උපදෙස් දී ඇත.
'පාසල වගේ ම නිවසේ ගෙවත්තත් පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න'
අම්පේගම පාසලේ විදුහල්පති කේ.කේ සමන් චන්දන පැවසුවේ, ප්‍රදේශයේ මදුරු ගහනය වැඩිවීමට පොල්කටු නිසි ලෙස බැහර නොකිරීම හේතුවක් වී ඇති බවයි.
"මං හිතුවා අපේ ගෙවල්වල පොල්කටු භාවිතය ගත්තාම නිවැරදිව බැහැර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ වතුර පිරෙනවා. ඩෙංගු බෝවීමට ප්‍රධානම කාරණයක් තමා ගෙවල්වල පොල්කටු."
පසුගිය කාලසීමාව තුළ ප්‍රදේශයේ ඩෙංගු අවදානමක් නොතිබුණද මේවන විට ප්‍රදේශයේ ඩෙංගු අවදානම තදින්ම පවතින බව තමන්ට හැඟී යන්නේ යැයි, විදුහල්පතිවරයා කියා සිටියේය.
"පුළුවන් තරම් තමන්ගේ පාසල වගේම නිවසේ ගෙවත්තත් පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න කියන පණිවිඩය අපි දෙනවා.
අම්පේගම ප්‍රාථමික විද්‍යාලය විසින් ආරම්භ කර ඇති මෙම ස්මාර්ට් වැඩසටහන සෞඛ්‍ය අභියෝගයක් සාර්ථක අවස්ථාවක් බවට පරිවර්තනය කළ දේශීය උදාහරණයක් ලෙස සැලකිය හැකිය.
"පාසල වගේම නිවෙස් පරිසරයත් පිරිසිදුව තබා ගැනීම" යන සරල පණිවිඩය සමඟ, ප්‍රජා සහභාගීත්වය හරහා රටටම ආදර්ශයක් සපයන මෙවැනි වැඩසටහන් රට පුරා ව්‍යාප්ත වීම කාලෝචිත අවශ්‍යතාවකි.