ශරීරයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන හඳුනා ගන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පරිසර දූෂණයට සහ සෞඛ්‍යයට අහිතකර වන තරමට ප්ලාස්ටික් උපකරණ එදිනෙදා ජීවිතයේ සුලබ වී තිබේ.
ආහාර ද්‍රව්‍ය හා පාන වර්ග සඳහා ද ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කරන අතර, නිසි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ ඒ සඳහා උපයෝගී කර ගැනීම හරහා ගැටලු රැසක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඉතා අඩු මුදලට ප්ලාස්ටික් කෑම බඳුන්, බෝතල් හා ආහාර ඇසුරුම් වර්ග මිලට ගැනීමට ඇති අතර බොහෝ දෙනෙකු ප්‍රමිතිය ගැන නොසැලිකිලමත් වෙමින් එම උපකරණ මිලට ගැනීමට පෙළඹී තිබේ.
'හැම එකකින් ම ඉතා විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වෙනවා'
සෞඛ්‍ය අමාත්‍යංශයේ, පරිසර සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අධ්යක්ෂ, වෛද්‍ය චාන්දනී විතානගේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් මෙවලම් ආහාර සැකසීමට සහ ආහාර ලබා ගැනීමට හෝ කල් තබා ගැනීමට යොදා ගැනීම තුළින් ඇතිවන සෞඛ්‍ය අනතුර ගැන පැහැදිලි කළා ය.
තව ද, එදිනෙදා භාවිතයට ගන්නා ප්ලාස්ටික් උපකරණ තුළ සියුම් අංශූ ක්‍රියාත්මක බවත්, ඒවා මයික්‍රෝ ප්ලාස්ටික් නමින් හඳුන්වන බවත්, ඊට අමතරව ඒවා තුළ විෂ රසායන රැසක් අඩංගු බව වෛද්‍යවරිය කියා සිටියා ය.
"ඒ වගේ BPA වැනි තවත් විෂ රසායන මේ ප්ලාස්ටික්වල අඩංගු වෙනවා. සමහර වෙලාවට අපි හොදි ටිකක් ගෙනියන්නේ ප්ලාස්ටික්, පොලිතීන් ආවරණයකින්. කෑම පැකට්වල තියෙන්නේ පොලිතීන්වල බැඳපු කෑම එකක්. මේ හැම එකකින් ම ඉතා විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වෙනවා," වෛද්‍යවරිය පැහැදිලි කළා ය.
පිළිකාවට අත වනන දීර්ඝ කාලීන ප්ලාස්ටික් භාවිතය
මෙම විෂ රසායන, කලක් භාවිත කිරීමෙන් ශරීරයේ රුධිර වාහිනී හරහා මොළය, වකුගඩු හා අක්මාව වැනි අවයවවල තැන්පත් වන අතර ඉන් එම අවයව අකර්මණ්‍ය විය හැකි බවට වෛද්‍ය චාන්දනී විතානගේ අනතුරු ඇඟවූවා ය.
"රුධිර වාහිනී තුළ ගමන් කරන මයික්‍රෝ ප්ලාස්ටික්වලින්, ඒවා රුධිර වාහිනිවල තැන්පත් වෙලා, රුධිර වාහිනී අවහිර වීම්, හෘද රෝග, හාට් ඇටෑක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්."
එමෙන් ම, ප්ලාස්ටික් තුළ අන්තර්ගත ඇතැම් විෂ රසායනවලින් ශරීරයේ හෝමෝන ආශ්රිත රෝග, මදසරුභාවය වැනි විකෘතිතා මෙන් ම, බෝ නොවන රෝග ඇති විමේ අවදානමක් ඇති කරන බව ද වෛද්‍යවරිය කියා සිටියා ය.
"දීර්ඝකාලීනව පවතින විෂ බීජ නොමැතිව හැදෙන දීර්ඝකාලීන ආසාදිත තත්ත්වයන් පවා මේ මයික්‍රෝ ප්ලාස්ටික්, BPAවලින් ඇති වෙන්න පුළුවන්. අවසානයේ නොයෙකුත් පිළිකා වර්ගවලට මේවා වර්ධනය වෙන්න පුළුවන්."
"මේ වගේ දේවල් භාවිත කිරීමෙන් ඇතිවෙන රෝග එක සැරේට ඇතිවෙන දේවල් නෙමෙයි," වෛද්‍යවරිය පවසයි. "ප්ලාස්ටික් පිඟානේ කාපු ගමන් ම හැදෙන්නේ නැහැ, ඒක දීර්ඝ කාලීනව භාවිත කිරීමෙන් ඇතිවෙන දෙයක් මේක වළක්වා ගැනීම තමයි කළ යුත්තේ," යැයි වෛද්‍යවරිය නිරන්තර ප්ලාස්ටික් භාවිතයේ අවදානම පැහැදිලි කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්ලාස්ටික් වෙනුවට ඇති හිතකර විකල්ප මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වෛද්‍ය චාන්දනී විතානගේ පවසන පරිදි, මැටි බඳුන්, මල නොබැදෙන වානේ (stainless steel), සෙරමික් හෝ වීදුරු උපකරණ වැනි දෑ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර ද්‍රව්‍ය පිළියෙලා කිරීමට හෝ කල් තබා ගැනීමට ප්ලාස්ටික්වලට විකල්ප ලෙස භාවිතා කිරීමේ හැකියාව පවතියි.
"ප්ලාස්ටික් භාජනවල රස්නේ දේවල් දානකොට එහෙම නැතිනම් තෙල් සහිත දේවල් දානකොට, එහෙමත් නැතිනම් ප්ලාස්ටික් භාජනය පරණ වෙනකොට දිරාපත් වීම වෙන කාලය වෙනකොට මේ රසායන ද්‍රව්‍ය එකතු වීම වැඩිපුර සිද්ධ වෙනවා."
"ෆුඩ් ප්ලාස්ටික් කියලා වර්ගයක් තියෙනවා, ඒක අපිට හඳුනගන්න පුලුවන් ගෑරුප්පුවයි, කප් එකයි ලකුණ තියෙනවා. වීදුරු භාජනයක් එක්ක ළමයෙක් ඉස්කෝලේ යවන්න බැරි නම් ලෝහ භාජනයක් හරි එහෙම නැති නම් සේෆ් ෆූඩ් ප්ලාස්ටික් ලකුණ තියෙන පෙට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්," යැයි තවදුරටත් වෛද්‍යවරිය විකල්ප ගැන විස්තර කරමින් පැවසුවා ය.
කෙසේ වෙතත්, ආහාර සඳහා සුදුසු ප්ලාස්ටික් භාවිත කිරීමේ දී ද එය උණුසුම් නොවන, තෙල් රහිත ආහාර සඳහා පමණක් භාවිතයට හෝ සැකසීමට සුදුසු බව ද වෛද්‍ය චාන්දනී විතානගේ සඳහන් කළා ය.
නමුත් ඇය පෙන්වා දුන්නේ ෆුඩ් සේෆ්ටි ලකුණ ඇති ප්ලාස්ටික්වල පවා ගැටලු ඇති බව ය.
අංක අනුව ප්ලාස්ටික් ප්‍රමිතිය දැනගන්නා ආකාරය
පරිසරයට හා සෞඛ්‍යයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදනවල අඩංගු අමුද්‍රව්‍ය අනුව, ඒවා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයකට ත්‍රිකෝණ සංකේතයක් සමග 1 සිට 7 දක්වා අංක අනුව වර්ගීකරණය කරනු ලබයි.
ඒ අනුව අංක 1, PET / PETE (Polyethylene Terephthalate) ලෙස හදුන්වන අතර වතුර බෝතල්, බීම බෝතල් සහ ආහාර ඇසුරුම් සඳහා එම වර්ගයේ ප්ලාස්ටික් භාවිත කරන අතර ඒවා එක් වරක් පමණක් භාවිතයට සුදුසු ය.
අංක 2, යටතේ HDPE (High-Density Polyethylene) වර්ගීකරණය කර ඇති අතර එය වඩාත් ආරක්ෂිත ප්ලාස්ටික් වර්ගයක් වන අතර නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වේ.
ජලනල, විදුලි කම්බි ආවරණ සහ වැහි කබා සඳහා යොදා ගන්නා PVC (Poly Vinyl Chloride) අංක 3 යටතේ වර්ගීකරණය කර ඇත.
මෙම වර්ගීකරණය යටතේ ඇති මෙවලම් රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් කිසිවිටෙක ආහාර සඳහා භාවිත නොකළ යුතුය.
ප්ලාස්ටික් බෑග් සහ ආහාර එතීමට ගන්නා පටල LDPE (Low-Density Polyethylene) අංක 4 යටතේ වර්ගීකරණය කර ඇත.
ආහාර බහාලුම් වැනි ද්‍රව්‍ය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් වර්ගයක් වන PP (Polypropylene) අංක 5 යටතේ වර්ගීකරණය කරනු ලැබ ඇති අතර එය ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ ආහාර සඳහා යෝග්‍ය ප්ලාස්ටික් වර්ගයකි.
PS (Polystyrene) අංක 6 යටතේ හඳුන්වනු ලබන අතර ක්ෂණික ආහාර ඇසුරුම්, ඉවත දැමිය හැකි කෝප්ප වැනි දෑ සදහා යොදා ගනී.
මෙම වර්ගය රත් වූ විට සෞඛ්‍යයට අහිතකර විෂ රසායනික නිකුත් කරන බව සඳහන් වේ.
අංක 7 යටතේ පොලිකාබනේට් වැනි වෙනත් ප්ලාස්ටික් වර්ගීකරණය කර ඇති අතර මේවායේ BPA (Bisphenol A) අඩංගු විය හැකි බැවින් ආහාර සඳහා භාවිතයේදී සැලකිලිමත් විය යුතු ය.


































