ඔබේ වකුගඩු සෞඛ්‍ය සම්පන්න නොමැති බව හඟවන රෝග ලක්ෂණ 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දීපක් මණ්ඩල්
- Role, බීබීසී වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 5
වකුගඩු අපගේ ශරීරය තුළ කාර්යයන් රැසක් එකවර ඉටු කරයි. ඒවා ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කරයි. තරල සහ ඉලෙක්ට්‍රෝටයිට්වල සමතුලිතතාව පවත්වා ගනී.
ඒවා මගින් රුධිර පීඩනය නිරීක්ෂණය කරන අතර රතු රුධිර සෛල සෑදීමට ද උපකාරී වේ. නමුත් මිනිස්සු බොහෝ අවස්ථාවලදී වකුගඩු අකර්මණ්‍ය වීම පෙන්නුම් කරන මූලික රෝග ලක්ෂණ පිළිබඳ සැලකිල්ලක් නොදක්වති.
මෙම රෝග ලක්ෂණ නියමිත වේලාවට හඳුනා ගන්නේ නම්, වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කල්තබා ආරම්භ කිරීමේ හැකියාව පවතී.
අපි නිරන්තරයෙන් අවධානය යොමු නොකරන එම රෝග ලක්‍ෂණ පහ ගැන මෙතැන් සිට කියවන්න. මේවා වකුගඩු රෝගයේ හෝ ඒවා අක්‍රීය වීම පිළිබඳ ලක්ෂණ විය හැකි ය.
1. නිතර මුත්‍රා කිරීම
නිතර මුත්‍රා කිරීම වකුගඩු රෝගයේ ලක්ෂණයක් විය හැකි ය.
නිතර මුත්‍රා කිරීම වකුගඩු අකර්මණ්‍ය වීමේ ලක්ෂණයක් විය හැකි අතර මෙය 'පොලියූරියා' ලෙස හඳුන්වයි.
නමුත් වකුගඩුවලට හානි වූ විට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයෙන් මුත්‍රා පිට වේ. නිතර නිතර මුත්‍රා පෙණ සහිතව පිටවීම මෙහි ලක්ෂණයක් බව පැවසෙයි.
නමුත් මෙය ඒ නිසා ම සිදු නොවන බව ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි පවසයි. පෙණ සහිතව මුත්‍රා පිටවීම වෙනත් රෝග නිසා ද සිදුවිය හැකි ය.
2. ශරීරය ඉදිමීම
ඇස් සහ කකුල් ඉදිමීම ද වකුගඩු අකර්මණ්‍ය වීමේ ලක්ෂණයක් විය හැකි යි. වළලුකර සහ කකුලේ පහළ පිටුපස ප්‍රදේශය ඉදිමී තිබේ නම් එය නොසලකා හැරිය යුත්තක් නොවේ. එය වකුගඩු රෝගය පෙන්නුම් කරන ආකාරයකි.
මනිපාල් රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගරීමා අග්රවාල් පවසන්නේ පාද ඉදිමෙන විට පරීක්ෂාකාරී විය යුතු බව ය. ඇස්, මුහුණ සහ කකුල් ඉදිමීම මගින් පෙන්නුම් කෙරෙන්නේ වකුගඩු රෝගය විය හැකි ය.
3. රුධිර පීඩනය
අධි රුධිර පීඩනය වකුගඩු වලට බලපෑම් එල්ල කරයි.
විශේෂඥයින්ට අනුව රුධිර පීඩනය යනු දෙපැත්ත කැපෙන කඩුවකි. අධි රුධිර පීඩනය වකුගඩු වලට බලපෑම් එල්ල කරයි.
ඊට අමතරව, වකුගඩු අකර්මණ්‍ය වීම නිසා ද රුධිර පීඩනය ද ඉහළ යයි.
එබැවින් ඔබ රුධිර පීඩනය සම්බන්ධයෙන් විපරමින් සිටිය යුතු ය.
බොහෝ විට රුධිර පීඩනය පාලනය නොවන බව සහ ඖෂධ මාත්‍රාව ඉහළ නංවන බව වෛද්‍ය ගරිමා අග්රවාල් පවසයි. එයද වකුගඩු රෝගයේ ලක්ෂණයකි.
4. දියවැඩියාව
දියවැඩියාව හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ වකුගඩුවලට ය.
වකුගඩු රෝගීන්ගෙන් 80%ක් දියවැඩියාවෙන් පීඩාවිඳින බව වෛද්‍ය ගැරීමා අග්රවාල් පවසයි.
දියවැඩියා රෝගීන්ගෙන් 30% සිට 40% දක්වා වකුගඩුවලට බලපෑම් එල්ල වී තිබේ.
දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළ වකුගඩු රෝගය වර්ධනය වීමට පටන් ගන්නේ නම්, ඔවුන්ගේ සීනි මට්ටම ද පහත වැටේ.
වසර ගණනාවක් පුරා සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වකුගඩු රෝගය වර්ධනය වීම ආරම්භ වේ.
5. විඩාව, කැසීම සහ ඔක්කාරය
වකුගඩු රෝගය ශරීරයේ පොස්පරස් ඌනතාවයට හේතු වේ. මෙය ශරීරයේ කැසීම් ඇති කරයි.
තෙහෙට්ටුව, ශරීරයේ කැසීම සහ ඔක්කාරය වකුගඩු රෝගයේ ලක්ෂණ විය හැකි ය.
විශේෂඥයන්ට අනුව කැසීම ඇතිවන්නේ ශරීරයේ පොස්පරස් නොමැතිකම හේතුවෙන් විය හැකියි. වකුගඩු රෝගය ශරීරයේ පොස්පරස් ඌනතාවයට හේතු වේ.
ඇතැම් වකුගඩු රෝගීන්ට ඔක්කාරය දැනීම පටන් ගනියි. ඔවුන්ට ආහාර ගැනීමට නොසිතෙයි.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වකුගඩු රෝගය වළක්වා ගැනීම සඳහා බොහෝසෙයින් උපකාරී වන බව විශේෂඥයෝ පවසති. නියමිත පරිදි ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ ලුණු සහ සීනි අඩුවෙන් භාවිතා කිරීම වකුගඩු රෝගය වැළැක්වීම සඳහා ඵලදායී බව ඔවුහු පෙන්වා දෙති.
වෛද්‍ය මොහ්සින් වාලි සහ වෛද්‍ය ගරිමා අග්රවාල් බීබීසී හින්දි සේවයට මෙම රෝගය වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ පැවසූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
සෑම දිනක ම අවම වශයෙන් ජලය ලීටර් දෙකහමාරක් හෝ පානය කරන්න.
නිරෝගිමත් වකුගඩු සඳහා ජලය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන විට, වකුගඩු මගින් ශරීරයෙන් හානිදායක ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් මුත්‍රා නිපදවයි.
එමෙන් ම වකුගඩුවල ගල් ඇතිවීමේ හා ආසාදන හටගැනීමේ අවදානම ද අවම වේ. ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්නේ නම්, ඔබේ මුත්‍රාවල පැහැදිලි පැහැයක් හෝ ලා කහ පැහැයක් පවතී.
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් දෙකක් හෝ දෙකහමාරක් පානය කළ යුතු බව වෛද්‍ය ගැරීමා අග්රවාල් පවසයි.
ලුණු අඩුවෙන් භාවිත කිරීම
රුධිර පීඩනය වැඩි කර වකුගඩු වලට හානි කරන බැවින් අධික ලෙස ලුණු පරිභෝජනය වකුගඩු සඳහා සුදුසු නොවේ. එමෙන් ම අච්චාරු, පපඩම් සහ කලින් පිසූ ආහාර භාවිතයෙන් ද වළකින්න.
නූඩ්ල්ස්, චාමේන් වැනි ආහාරවල ලුණු බහුලව අඩංගු වේ. ඒවා පරිභෝජනයෙන් ද වළකින්න.
සහිඳ ලුණු භාවිත නොකරන්න
සහිඳ ලුණු වකුගඩුවලට හානිකර විය හැකි ය.
වර්තමානයේදී රෝස පැහැති සහිඳ ලුණු පරිභෝජනය කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. නමුත් අධි රුධිර පීඩනය පවතින රෝගීන් සහිඳ ලුණු පරිභෝජනය නොකළ යුතු ය.
සාමාන්‍ය ලුණු වලට වඩා සහිඳ ලුණු සෞඛ්‍යයට වඩාත් සුදුසු බව පොදුවේ විශ්වාස කරන බව වෛද්‍ය මොහ්සින් වාලි පවසයි. නමුත් එහි අඩු පොටෑසියම් ප්‍රමාණයක් සහ වැඩි සෝඩියම් ප්‍රමාණයක් අන්තර්ගත වේ.
සීනි පරිභෝජනය අඩු කරන්න
ඔබට වකුගඩු රෝග වළක්වා ගැනීමට අවශ්‍ය නම් පැණිරස ආහාර අඩුවෙන් පරිභෝජනය කරන්න.
සීනි පරිභෝජනය නොකිරීම වඩා හොඳ වේ. කේක්, කුකීස්, පේස්ට්‍රි සහ කෝලා වැනි දෑ තුළ සැකසූ සීනි අඩංගු වේ.
ඔබේ බර පාලනය කර ගන්න
ඔබට වකුගඩු රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, ව්‍යායාම කිරීම මගින් ඔබේ බර පාලනය කර ගන්න.
තරබාරු පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති නිසා ශරීරයේ බර අඩු කර ගත යුතු බව විශේෂඥයෝ පවසති.
ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) අඩු මට්ටමක තබා ගන්න. එය 24ට වඩා අඩු නම් එය ඉතා හොඳ ය.
සැහැල්ලු ශාරීරික ව්‍යායාම්වල නිරත වන්න. මෙය ඉතා වැදගත් වේ. මෙය පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් තබා ගනියි.
මෙය හොඳ මට්ටමක පවතී නම්, ඔබ වයස අවුරුදු 50ට ළඟා වන විට, දියවැඩියාව සහ රුධිර පීඩනය ඇතිවීමේ අවදානම අඩු වනු ඇත.
සමබල ආහාර වේලක් ලබා ගන්න
පලතුරු, එළවළු සහ ධාන්‍යවලින් පොහොසත් ආහාර වේලක් පරිභෝජනය කරන්න. ප්‍රෝ-බයෝටික් සහිත ආහාර සෞඛ්‍යයට හිතකර වේ. එවැනි ආහාර වර්ග සඳහා ආහාර වේල තුළ ප්‍රමුඛත්වය දෙන්න. බැදපු ආහාර පරිභෝජනයෙන් වළකින්න.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සමබර ආහාර වේලක් ලබා ගැනීම සහ ව්‍යායාම කිරීම මගින් වකුගඩු නිරෝගීව තබා ගන්නා අතර ඔබේ සමස්ත ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වා ගත හැකි යි.
වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ භාවිත නොකරන්න
"බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් ඖෂධ අලෙවිසැල්වලින් ඖෂධ මිල දී ගන්නා අතර ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන ඒවා භාවිත කරන බව අපට පෙනෙන්නට තිබෙනවා," වෛද්‍ය ගරිමා අග්රවාල් පවසයි.
වෛද්‍ය ගරිමා අග්රවාල් පවසන්නේ බොහෝ පුද්ගලයින් වේදනා නාශක ලබා ගන්නා බව ය.
ඔහුට අනුව "වැඩිහිටියන් බොහෝ විට ශාරිරික වේදනාව සහ ආතරයිටීස් සඳහා වේදනා නාශක භාවිත කරනවා. ඇතැම් ඖෂධවල බැර ලෝහ සහ ස්ටෙරොයිඩ්ස් අඩංගු වෙන්න පුළුවන්. එය වකුගඩුවලට හානිදායක වෙන්න පුළුවන්."
සීනි ස්ථූලභාවය වැඩි කරන අතර වකුගඩු රෝග අවදානම ඉහළ නංවයි.

































