'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී

යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා ජාතික ධජය සමගින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය.

"ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," ඔහු එහි සඳහන් කර ඇත.

යුපුන්ගේ නිවේදනය

මේ සම්බන්ධයෙන් යුපුන් අබේකෝන් ෆේස්බුක්හි පළ කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේ ය:

"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!

"දකුණු ආසියාවේ වේගවත් ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කර ගන්න ඕනෙ දිනුමක් කියලා. කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකට ම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුරන්ට ගන්නට බැරි දිනුමක්. මුලින් ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාව දක්වනවා.

"ඔබ හැම දෙනා ම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුණේ නෑ, ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවට ම මම ඇත්තට ම ලබා ගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න, පහන් පත්තු කරපු, යාච්ඤා කරපු හැම දෙනාට ම ගොඩක් ආදරෙයි. ඒ හැම දේ ම මට විශාල ශක්තියක් වුණ බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වග බලාගැනීම මං ඔයාලට ඉටු කළ යුතුකමයි.

"ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින් ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරි ම සතුටක් දැනෙනවා. මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උණාට, ඒ වගේ ම මගේ පාසල් දෙකට ම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලු ම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඒ වගේ ම මේ ගමනේ පටන්ගැන්මේදී යුද හමුදාව ලබාදුන්න ඒ සහයෝගය මට ලොකු පිටිවහලක් උණා. විශේෂයෙන් ම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ එවක සිටි සහ අදත් සේවයේ සිටින සියලු ම නිලධාරීන් සහ සෙසු නිල සියලු දෙනාට ම ඒ ලබාදුන්න සහයෝගවලට මං මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

"ඒ එක්ක ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට මම ස්තූතිය පුද කරනවා.

මගේ ජයග්‍රහණ (ලංකාවේ ජයග්‍රහණ) වෙනුවෙන් ශ්‍රමය, බලාපොරොත්තු, කාලය, මුදල් වියදම් කරපු සෑම ඉතාලි ජාතික වෘත්තීමය හැම දෙනාට ම මම මේ අවස්ථාවේ ආචාර කරනවා.

"රටේ ජයග්‍රහණය වෙනුවෙන් (අවංකව) කටයුතු කළ රජයේ අමාත්‍යංශවල සහ කමිටුවල සේවය කළ සහ දැනට සේවය කරන පිරිසට ස්තූතියි. මා සමග එකට වැඩ කටයුතු කළ, සහයෝගය ලබා දුන්න පෞද්ගලික අංශයේ සියලු ම දෙනාටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.

"ලෝකයේ පුහුණුවීම් කරන්නට මට අනුග්‍රහය දැක්වූ 'TV දෙරණ' මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා, ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු සියලු ම දෙනාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටමත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

"අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන, නැගී එන සහෝදර සහෝදරියන් හැමෝට ම අපේ රටේ නම ලෝකයේ දිනවන්නටත්, අපේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයේ අභිමානයෙන් ඔසවා තබන්නටත් ජයග්‍රහණ ලැබෙන්නට කියා මං හදවතින් ම ප්‍රර්ථනා කරනවා.

"ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස, රට දැයට ගෙන දුන් ජයග්‍රහණයන් සහ අභිමානයෙන්, මාව ඇති දැඩි කළ මගේ රටට ණය ගෙවන්නට ලැබීම මා තෘප්තිමත් කරයි. එය මගේ අවසන් හුස්ම දක්වා මා සමග එනු ඇත. එහෙත් මාව පුහුණු කළ මට තාක්ෂණය දුන්, අපේ රටට ආදරය කළ රටවල් සහ මිනිසුන්ට ණයකාරයෙක් වෙන්නට සිදුවීම ගැන මා කනගාටු වෙමි.

"තවත් ක්‍රීඩා කරන්න කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසි ම විදිහකින් ගැනීමට පහසු තීරණයක් උණේ නෑ. ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු.

ඔයාලා හැමෝටම ස්තූතියි, ආදරෙයි!

ශ්‍රී ලංකා මාතාවට ජය වේවා!"

Yupun Priyadarshana Abeykoon

ඡායාරූප මූලාශ්‍රය, Yupun Priyadarshana Abeykoon / Facebook

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා

ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2023 වසරේදී සමත් විය.

යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් එලෙස රිදී පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.

"මේ වසරට විශිෂ්ට ආරම්භයක්! මම හැමදා ම කියනවා වගේ ඉවසීමෙන්, විශ්වාසයෙන්, අධිෂ්ඨානයෙන් සිටීම අනාගතයේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් හොඳ මාර්ගයක්."

"මට තත්පර 10.01 (+2.7) ක කාලයකින් 2 වන ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ගමනට සහය දුන් සැමට ස්තුතියි," යනුවෙන් තරගයෙන් පසු යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබිණි.

යුපුන් අබේකෝන් යනු කවුද?

අබේකෝන් මුදියන්සේලාගේ යුපුන් ප්‍රියදර්ශන උපත ලැබුවේ, 1994 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දා පන්නල ප්‍රදේශයේදී ය. ඔහු පන්නල ජාතික පාසලෙන් සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

යුපුන් පන්නල ජාතික පාසලේ සිට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ අධ්‍යාපනයට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නේ පාසල් සමයේ සිට මලල ක්‍රීඩා ඉසව් සඳහා ඔහු දක්වන දක්ෂතාවය යි.

2014 වසරේදී යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන අතර ඔහු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු රෙජිමේන්තුව නියෝජනය කළේ ය.

මලල ක්‍රීඩා පිටියේ දක්ෂතා

යුපුන් 2013 වසරේ ඉන්දියාවේ, රංචිහි පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර පිරිමි තුන්පිම්ම තරගයෙන් සිව්වන ස්ථානයට පත්විය.

2015 මිලිටරි ලෝක ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 x 4 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ කණ්ඩායම නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන්ගේ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් යටතේ ඔහුට ඉතාලියේ ෆිආමි ගිලී (Fiamme Gille) ක්‍රීඩා ඇකඩමියේ පුහුණුවීම් සඳහා ඇතුළත් වීමට අවස්ථාව උදාවිය.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 × 4 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමට හිමිකම් කී කණ්ඩායම නියෝජනය කිරීමට ද යුපුන් සමත් විය.

2020 සැප්තැම්බර් 8 වන දින, ජර්මනියේ ඩෙසාවුහි පැවති මලල ක්‍රීඩා තරගයකදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.16ක කාලයකින් ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

එහිදී ඔහු මීටර් 100 පිරිමි ඉසව්වෙන් හිමාෂ ඊෂාන් සතුව තිබූ දකුණු ආසියානු වාර්තාව මෙන් ම ජාතික වාර්තාව ද බිඳ දැම්මේ ය.

යුපුන් අබේකෝන් "දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා" යන අන්වර්ථ නාමය තමන් සතු කර ගත්තේ පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමෙන් පසුව ය.

2020 සැප්තැම්බර් 26 වන දින, ස්විට්සර්ලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ කොටසක් ලෙස ගාලා ඩී කැස්ටෙලි හිදී තත්පර 10.24ක කාලයකින් මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

2020 ගාලා ඩී කැස්ටෙලි තරග ඉසව්වේ දී ඔහුගේ ලෝකඩ පදක්කම් ජයග්‍රහණයත් සමග යුපුන් අබේකෝන්, 1990 දශකයෙන් පසු ප්‍රවීණ යුරෝපීය සහ අප්‍රිකානු කෙටි දුර ධාවන තරගකරුවන් සමගින් ධාවන ඉසව්වකට සහභාගිවූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත්විය.

වසර 2021 ෆ්ලොරන්ස්ෆ ඩයමන්ඩ් ලීග් ධාවන තරගාවලියේදී පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් සිව්වන ස්ථානයට යුපුන් අබේකෝන් පත්වූ අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 48 ස්ථානයට පත් විය.

2022 ජුලි 3 වන දා, යුපුන් අබේකෝන් රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර ශූරතාවලියේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරනු ලැබුවේය. එහිදී ඔහු එම තරගය තත්පර 9.96කින් අවසන් කිරීමට සමත් විය. ඔහුගේ එම නිපුණත්වය හමුවේ යුපුන්, තත්ත්පර 10 බාධකය බිඳ දැමූ පළමු ශ්‍රී ලාංකික ධාවකයා මෙන් ම පළමු දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයා බවට ඉතිහාසගත වූ අතර, ඔහු සමස්ත ඉතිහාසයේ සිව්වන ආසියානු ක්‍රීඩකයා බවට ද පත්විය.

2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට යුපුන් අබේකෝන් සුදුසුකම් ලැබූ අතර, එම වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම පිරිමි ක්‍රීඩකයා වුයේ ද ඔහු ය.

2022 අගෝස්තු 3 වන දා, බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර 10.14කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

1998 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රියානි කුලවංශ සහ සුගත් තිලකරත්නගේ පදක්කම් ජයග්‍රහණයෙන් පසු මලල ක්‍රීඩා ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද ඔහු පත්විය.

එමෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද යුපුන් අබේකෝන් ය.