වසර 15ක් රිමාන්ඩ් භාරයේ සිටි 'ධනුෂ්' නමැති විත්තිකරුවෙකු ඇප මත මුදා හැර ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ධනුෂ් හෙවත් තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරු ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.
විත්තිකරු රිමාන්ඞ් භාරයේ සිටි කාලසීමාව සහ අදාළ නඩුව අවසන් වීමට ගත විය හැකි කාලසීමාව සුවිශේෂී කරුණු වශයෙන් සැලකිල්ලට ගනිමින් එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය සිය තීන්දුවේදී ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, මෙම විත්තිකරුට ඇප ප්රදානය කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දුන් නියෝගයක් ඉවත දමමින් අදාළ විත්තිකරු රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙස නියෝග කෙරිණි.
ඊට අමතරව විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසට ද නියෝග කළේ ය.
එමෙන් ම සෑම සති දෙකකට වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් අභියාචනාධිකරණය විසින් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අධිචෝදනා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේ අගෝස්තු මස 09 වන දා අත්අඩංගුවට ගන්නා ලද මෙම විත්තිකරුට 2012 වසරේ සැප්තැම්බර් මස 20 වන දා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අධිචෝදනා ගොනු කරන ලදී.
මෙම විත්තිකරුට එරෙහිව චෝදනා 230ක් ඉදිරිපත් වූ අතර ඉන් අධිචෝදනා 115ක් ම ඉදිරිපත් කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.
2012 වසරේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර, මුලින් ම සිදුවුණේ මෙම විත්තිකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබා දුන් පාපොච්චාරණය ඔහු ස්වේච්ඡාවෙන් ලබා දී තිබුණේ ද? යන්න පරීක්ෂා කිරීමේ විමර්ශනය යි.
එම විමර්ශනය අවසානයේදී මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ, අදාළ විත්තිකරු මෙම පාපොච්චාරණය කර තිබෙන්නේ ස්වේච්ඡාවෙන් ම බව ය.
විත්තිකරු එම තීරණය අභියෝගයට ලක් නොකළේ ය.
2024 වසරේ කළ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන් අනතුරුව විත්තිකරු මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් කළ අතර, මහාධිකරණ විනිසුරුවරයා එම ඇප ඉල්ලීම 2024 වසරේ පෙබරවාරි මස 05 වන දා ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දී තිබිණි.
එම තීන්දුව කෙරෙහි සෑහීමකට පත් නොවූ විත්තිකරු එම නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේ ය.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15( ආ) වගන්තිය යටතේ සුවිශේෂී කරුණු උද්ගත වන අවස්ථාවල විත්තිකරුවන්ට ඇප ලබා දීමේ බලය මහාධිකරණය වෙත පවරා දී තිබේ. නමුත් මෙම විත්තිකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු උද්ගත වී තිබියදීත් මහාධිකරණ විනිසුරුවරයා එම බලය ක්රියාවේ යොදවා නැත. සුවිශේෂී කරුණු උද්ගත වන අවස්ථාවක විත්තිකරුවන්ට ඇප ප්රදානය කළ යුතු බවට වන ව්‍යවස්ථාදායකයේ අරමුණ මහාධිකරණ වනිසුරුවරයා සැලකිල්ලට භාජනය කර නොමැත. මෙම විත්තිකරු අත්අඩංගුවට පත්ව තිබෙන්නේ, වයස අවුරුදු 26දී. එම අවස්ථාවේ විත්තිකරුට වයස අවුරුදු එකක දරුවෙකු සිටි බවත් අනාවරණය වී තිබේ. එම විත්තිකරු මේ වන විට වසර 14ක් සහ මාස 07ක් රිමාන්ඩ් භාරයේ පසුවීම හේතුවෙන් ඔහුගේ දරුවාට සහ පවුලට ඔහුගෙන් හිමි විය යුතු ආරක්ෂාව සහ රැකවරණය අහිමි වී තිබේ. මෙම විත්තිකරුට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් 108 දෙනෙකු නම් කර තිබේ. ඒ අනුව මෙම නඩු විභාගය අවසන් වීමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි අනුමාන කළ හැකි ය. ඒ අනුව මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයේ පසු වන කාලසීමාව සහ නඩු විභාගය අවසන් වීමට ගත විය හැකි කාලසීමාව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය හැකි යි. එම තත්ත්වය යටතේ මෙම විත්තිකරු ඇප මත මුදා හැරීමට තීරණය කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළේ ය.
මෙහිදී විත්තිකාර අභියාචක වෙනුවෙන් නීතිඥ අරුණ මදුශංක සමග නීතිඥ අස්තික දේවේන්ද්‍ර පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනූපා ද සිල්වා පෙනී සිටියා ය.

































