T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: අඛණ්ඩව ඉනිම තුනකදී අර්ධ ශතක රැස්කළ හර්ෂිතා සමරවික්‍රම යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය වැඩිමහල් සොහොයුරාගේ පෙරැත්ත හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි හර්ෂිතා සමරවික්‍රම මෙවර 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකාරීණියක වේ.
1998 වසරේදී කොළඹදී උපත ලැබූ හර්ෂිතා මාධවී දිසානායක සමරවික්‍රම, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරා ඇත.
අවුරුදු 17දී ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට
පාසල් වියේ සිට ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වූ හර්ෂිතා සමරවික්‍රම ජාත්‍යන්තර වරම් දිනා ගන්නා විට ඇය 17 වන හැවිරිදි වියේ පසුවූවා ය. වමතින් පිත්ත හසුරුවන ඇය 2016 වසරේ මාර්තු මාසයේදී අයර්ලන්තයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූවාය.
විස්සයි 20 තරග 83කදී ලකුණු 1729ක් රැස් කර ගෙන සිටින හර්ෂිතා, අර්ධ ශතක 9ක් රැස් කිරීමට සමත්ව ඇත. අයර්ලන්තයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 86 හර්ෂිතා, විස්සයි 20 තරගයකදී රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වේ.
හර්ෂිතා සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූයේ 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ඇය එක්දින තරග 53කදී ලකුණු 1447ක් රැස් කර ඇති අතර එයට අර්ධ ශතක 8ක් සහ එක් ශතකයක් ඇතුළත් වේ.
රිදී පදක්කම කරා රැගෙන ගිය හර්ෂිතාගේ නායකත්වය
2019 වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ ද හර්ෂිතා ය.
2020 වසරේ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය ද හර්ෂිතාට හිමි විය.
2022 වසරේදී සිම්බාබ්වේහිදී පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළේ ද හර්ෂිතා ය.
මලයාසියාවේ සත්කාරකත්වයෙන් 2022 වසරේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උප නායිකාවකගේ වගකීම ද ඇයට පැවරුණ අතර එම තරගාවලියේ ශූරියන් බවට පත්වූයේද ශ්‍රී ලංකා කණ්ඩායම යි.
ඒ අනුව 2022 වසරේ එංගලන්තයේ බර්මින්හම්හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට හර්ෂිතාට අවස්ථා උදාවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විස්සයි 20 තරගවලදී දැක්වූ දක්ෂතා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2023 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර එහි උද්වේගකර බව වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සුපිරි ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා ගනු ලැබීය. එම ක්‍රීඩකාවන් දස දෙනා අතරට ඇතුළත් වූ එක ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූයේ ද හර්ෂිතා ය.
හර්ෂිතා එම තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු තරගයේදීම විස්සයි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය රැස් කිරීමට සමත්විය.
එමෙන් ම 2024 වසරේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ජයගත් අවස්ථාවේදී ද හර්ෂිතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා ය.
2024 වසරේදී ශ්‍රී ලංකාවට පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම සඳහා ද උරදුන් ක්‍රීඩිකාවන් අතරට හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත් වේ.
එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඇය දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ද හර්ෂිතාට ය. ඉන්දියාවට එරෙහිව පැවැති එම අවසන් මහා තරගයේදී ඇය නොදැවී ලකුණු 69ක් රැස් කළා ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 වසරේ අයර්ලන්ත තරග සංචාරයේදී එක් දින සහ විස්සයි 20 තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරට හර්ෂිතා ද ඇතුළත් වේ.
ඇය එම එක් දින තරගාවලියේදී ලකුණු 172ක් රැස් කිරීමට සමත් වුයේ එම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩිකාව බවට පත් වෙමිනි.
අයර්ලන්තයට එරෙහිව විස්සයි 20 තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකාරිණිය වූ හර්ෂිතා, එහිදී ලකුණු 151ක් රැස් කිරීමට සමත්විය.
විස්සයි 20 කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල අඛණ්ඩව ඉනිම තුනකදී අර්ධ ශතක රැස්කළ ක්‍රීඩිකාවන් අතර ලොව 7 වන ස්ථානය හිමිව තිබෙන්නේ ද හර්ෂිතා සමරවික්‍රමට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පීඩනය ආශිර්වාදයක් කර ගත් හර්ෂිතා
මීට වසර කිහිපයකට පෙර සිය මව මිය යාමෙන් පසුව හර්ෂිතා සමරවික්‍රම දැඩි පීඩනයකට ලක්ව සිටි බව ඇය 2024 වසරේදී ලංකාදීප සමග පැවැත්වූ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. මවගේ සමු ගැනීම තමාට දැඩි පීඩනයක් එල්ල කළ ද ඇගේ ආශිර්වාදය තමන්ට නිරන්තරයෙන් හිමිවන බව ඇය එහිදී කියා සිටියා ය.
2024 වසරේ අගෝස්තු මාසේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකාව ලෙස ICC ඇගයීමට ලක් වූයේ ද හර්ෂිතා සමරවික්රමය.
නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇය එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 19 වන ස්ථානයේ ද, විස්සයි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 21 වන ස්ථානයේ රැඳී සිටියි.

































