T20 කාන්තා ලෝක කුසලානය: ශ්‍රී ලංකාවේ භයානක ම ක්‍රීඩිකාව ලෙස අනාවැකි පළ කර ඇති කවීෂා දිල්හාරි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
හිටපු එංගලන්ත දඟ පන්දු යවන්නෙකු සහ 2017 ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ බීබීසී ටෙස්ට් තරග විශේෂ විශ්ලේෂකයෙකු ද වන ඇලෙක්ස් හාර්ට්ලි පළ කර ඇති අනාවැකි අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලපෑම්සහගත ක්‍රීඩිකාව ලෙස කවීෂා දිල්හාරි හඳුන්වා දී තිබේ.
කවීෂා දිල්හාරි යනු, 2026 පන්දු වාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටින කැපී පෙනෙන ක්‍රීඩිකාවකි.
දකුණතින් පන්දුවට පහර දෙන සහ දකුණතින් පිට දඟපන්දු යවන කවීෂා දිල්හාරි මේ වන විට 25 වැනි වියේ පසු වන්නී ය.
දිළිඳුබව පරදා ඉදිරියට පැමිණි කවීෂා
ගාල්ල, රත්ගමදී 2001 වසරේ ජනවාරි 24 වන දා උපත ලද වෙලිකොන්තගේ කවීෂා දිල්හාරි අධ්‍යාපනය ලැබූවේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වැඩි ම සාමාජිකාවන් සංඛ්‍යාවක් දායාද කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙනි.
කවීෂා දිල්හාරි කුඩා කල සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වූවා ය.
කෙසේ වෙතත්, මසුන් ඇල්ලීම ජීවිකාව කර ගත් ඇගේ පියාට ඒ සඳහා අවශ්‍ය වියදම් දැරීම පහසු නොවී ය.
පියා කොළඹ පැමිණි අවස්ථාවක අඩු මුදලකට ලබා ගත් ඇඳුමකින් සැරසී කවීෂා ක්‍රිකට් පුහුණුවීම් ඇරඹී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 14කි.
කෙතරම් ආර්ථික පීඩා පැවතිය ද, දියණිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට රැගෙන යාමට ඇයගේ පියා ඇයට සහය විය.
සැහැල්ලු පන්දුවෙන් ලෙදර් පන්දුවට
2013 වසරේදී පාසල් ක්‍රීඩා උත්සවයක සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මේ සුවිශේෂී ක්‍රීඩිකාව දුටු දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ඇය ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ ය.
ඇය පළමු වරට ලෙදර් පන්දුවකින් තරගාවලියක් ක්‍රීඩා කළේ, 2014 වසරේදී ය.
දේවපතිරාජ විද්‍යාලයේ බාලිකා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ මහේෂ් සඳරුවන්ගේ මග පෙන්වීම යටතේ ඔප මට්ටම් වූ කවීෂා නොබෝ කලකින් ම පාසල් මෙන් ම ජාතික මට්ටමේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක බවට පත් වූවා ය.
මුල් කාලයේදී වේගපන්දු යවන්නියක ලෙස ක්‍රීඩා කළ ඇය, පසුකාලීනව දඟපන්දු යවන්නියක බවට පත් වූයේ, පුහුණුකරුගේ මග පෙන්වීම යටතේ ය.
පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ඇය හැඳින්වූයේ "බට්ටි" යන සුරතල් නාමයෙනි.
2016 වසරේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කඳවුරක් සඳහා සහභාගි වීමේ අවස්ථාව කවීෂාට හිමි විය.
එම පුහුණු කඳවුරෙන් ලැබූ අත්දැකීම් හා දැනුම ඇයගේ පන්දු යැවීම හා පිතිකරණය තවත් වැඩිදියුණු කර ගැනීමට උපකාරී වූ බව කවීෂා පසුකාලීනව සඳහන් කළා ය.
නොදැවී ලකුණු 353ක්
පන්නිපිටිය ධර්මපාල විදුහල සමග 2018 වසරේදී පැවති තරගයකදී ඇය නොදැවී ලකුණු 353ක් රැස් කළා ය. එය මෙරට බාලිකා පාසල් ක්‍රිකට් වාර්තා අතරට ද ඇතුළත් විය.
කවීෂා ඇතුළු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය වසර ගණනාවකදී වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පාසල් ක්‍රිකට් පිටියේ ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළ කිහිපයකදී ම දක්ෂතම පිතිකාරිය, දක්ෂතම පන්දු යවන්නිය සහ හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩිකා යන සම්මාන දිනා ගැනීමට කවීෂා සමත් වූවා ය.
ඇයට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වූයේ ද දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරුගේ සම්බන්ධීකරණය ඔස්සේ ය.
ජාතික කණ්ඩායමට පිවිසුණු හැටි
ජාතික කණ්ඩායමට දඟ පන්දු යවන ක්‍රීඩිකාවක තෝරා ගැනීම සඳහා පැවති තරගයකදී ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ඇයට එම අවස්ථාව හිමි විය. එම තරගය සඳහා ඇය යොමු කර තිබුණේ, ඇගේ පුහුණුකරු ය.
ජාතික කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතුවල නිරත වීම සඳහා රත්ගම සිට කොළඹටත් කොළඹ සිට නැවත රත්ගමටත් පැමිණීමට ඇයට සිදුවිය.
2018 වසරේදී ජාත්‍යන්තර වරම් දිනා ගන්නා විට කවීෂා පසුවූයේ 17 හැවිරිදි වියේ ය.
පකිස්ථානයට එරෙහිව දඹුල්ලේදී පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇය ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා ය.
රත්ගම, දේවපතිරාජයෙන් ජාතික කණ්ඩායමට පැමිණි පළමු ක්‍රීඩිකාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තේරී පත්වූ පළමු ක්‍රීඩිකාව වන්නේ ද කවීෂා ය.
2018 වසරේදී ම ඉන්දියාවට එරෙහිව ඇය පන්දු වාර 20 ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය.
ඇය එම තරගාවලියේදී ඩිල්ස්කූප් පහර භාවිත කරමින් එල්ල කළ හතරේ පහර බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
ජාතික කණ්ඩායමට එක් වී වසරකින් අනතුරුව ඇයට ඇති වූ අස්ථි බිඳීමක් නිසා ඇයගේ ක්‍රීඩා කටයුතු යම්තාක් දුරකට පසුබෑමකට ලක් විය.
කෙසේ නමුත්, දැඩි උත්සහයකින් සහ කැප කිරීමකින් යුතුව පුහුණුවීම්වල නිරත වූ ඇය ඉතා කෙටි කලකින් ම නැවතත් දක්ෂතා අතරට පැමිණීමට සමත් වූවා ය.
2019 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවති ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩිකාව බවට කවීෂා පත් වූවා ය.
2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවති බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ සංචාරය සහ එම වසරේ ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය මෙන් ම අබුඩාබිහි පැවති පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පන්දු වාර 20 තරගාවලිය ඇතුළු තරගාවලි රැසක දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට කවීෂා සමත් වූවා ය.
2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල දායකත්වයක් දුන් ක්‍රීඩිකාවන් අතර කවීෂා ද සිටියා ය.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ලකුණ කවීෂා රැස් කළේ, 6 පහරකිනි.
එක්දින ජාත්‍යන්තර තරග 44කදී ලකුණු 825ක් රැස් කළ ඇය, කඩුලු 37ක් ද දවා ගැනීමට සමත්ව සිටී.
කවීෂා එක්දින අර්ධ ශතක 3ක් රැස් කර තිබේ.
පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 80කදී ඇය ලකුණු 637ක් රැස් කර තිබේ. අර්ධ ශතකයක් ද ඊට ඇතුළත් ය.
ඇගේ 20/20 පන්දු යැවීමේ දක්ෂතා අතරට කඩුලු 66ක් ඇතුළත් ය.
'මගේ වීරයා විරාත් කෝලි'
ක්‍රිකට් ලෝකය තුළ තම වීරයා විරාත් කෝලි බව කවීෂා දිල්හාරි පවසා තිබේ. ESPNcricinfo වෙබ්අඩවියේ මේ බව සඳහන් විය.
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ලෙස තමා හිටපු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන අනුකරණය කිරීමට කැමති බව ද සඳහන් කර ඇත.
"මම විරාට් කෝලිගේ වීඩියෝ බලනවා. ඔහු ක්‍රීඩා කරද්දී එල්ල කරන පහරවල්, කඩුලු අතර ඔහු දුවන ආකාරය, ඔහු ලකුණු හඹා යාමේදී කටයුතු කරන විදිහ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
"ඒත්, ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු කාන්තාවක් නිසා මම හැම වෙලාවෙ ම ශෂිකලා සිරිවර්ධන අනුකරණය කරන්න කැමතියි. මගේ තවත් ප්‍රියතම ක්‍රීඩිකාවක් තමයි මෙග් ලැනින්. ඇයට පන්දු යැවීමට මට අවස්ථාව ලැබුණු අතර ඒක විශ්මයජනක අත්දැකීමක්. ඔවුන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරලා තියෙන කාර්යය විශාලයි," එහි තවදුරටත් සඳහන් විය.
"ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන්නයි මට අවශ්‍යයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තනිව ම තරග ජයග්‍රහණය කිරීම මගේ බලාපොරොත්තුවයි. මම පොඩි කාලේ ඉඳල ම ක්‍රිකට් ක්‍රීඩා කරන්න කැමතියි," යනුවෙන් ද ඇය තවත් අවස්ථාවකදී පවසා ඇත.
මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, කවීෂා දිල්හාරි තමාගේ කුඩා කාලය සිහිපත් කරන බව වරෙක පවසා තිබිණි.
"මට හිතෙන්නේ ඇයත් මම වගේ කියලයි. මගේ පොඩි කාලේ මමත් ඇය වගේ හිටියා, ආක්‍රමණශීලී, ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාව ම ඔප්පු කරන්න ගොඩක් දේවල් කරන්න ඕන කියන හැඟීම තිබුණා. ඇය ලෝකයේ හොඳ ම තරුණ ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක්, ඇය අපේ කාලයේ හොඳ ම ක්‍රීඩිකාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා."

































