රජකම රැකගන්න නග්න මූසික රැජිනියන් ප්‍රතිවාදී ගැහැනු සතුන්ගේ දරුඵල නැති කරන අයුරු

Close-up of a naked mole rat standing on a dark surface against a dark background, with her noise pointing upwards as if sniffing the air.

ඡායාරූප මූලාශ්‍රය, Felix Petermann, Max Delbrück Center

    • Author, ඩේසි ස්ටීවන්ස්
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ගැහැනු සතුන් තාවකාලිකව වඳභාවයට පත් කරන ගන්ධයක් ගැන අසන්නට ලැබීම ඩිස්ටෝපියානු නවකතාවක පූර්විකාවක් වැනි ය.

නමුත් නවතම අධ්‍යයනයකට අනුව, එය තමන්ට පමණක් පැටවුන් බිහි කිරීම සීමා කර ගැනීම සඳහා නේකඩ් මෝල් රැට්ස් ලෙස හඳුන්වන මීයන් විශේෂයක රැජිනියන් [නග්න මූසික රැජිනියන්] විසින් භාවිත කරනු ලබන ක්‍රමවේදයකි.

අප්‍රිකාවට ආවේණික ක්ෂීරපායී සතෙකු වන මෙම නේකඩ් මෝල් රැට්ස් විශේෂය එක් ගැහැනු සතෙකු පමණක් ප්‍රජනනය කරන සමාජ සංවිධානයක් (eusocial) සහිත සත්ව විශේෂයක් බව 1980 දශකයේ සිට විද්‍යාඥයෝ දැන සිටියහ.

මෙයින් අදහස් කරන්නේ එම සතුන්, වැඩකරන සතුන් සමූහයක් සහ ඊට නායකත්වය දෙන එක් රැජිනකින් සමන්විත, අතිශය සංවිධානාත්මක ජනපදවල ජීවත් වන බව ය. එම ජනපදයේ රැජින පැටවුන් බිහි කරන අතර සෙසු පිරිමි සහ ගැහැනු සත්වයෝ පැටවුන් රැකබලා ගැනීම සිදු කරති.

"තමන්ගේ ජනපදය සාමකාමීව තබා ගැනීමට වගේ ම අනෙකුත් ගැහැනු සතුන්ගේ ප්‍රජනන හැකියාව පාලනය කර තබා ගැනීමට රැජිනගේ පැවැත්ම වැදගත් බව අපි දැන සිටියා," නව අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ වන ජර්මනියේ අණුක වෛද්‍ය විද්‍යාව සඳහා වන මැක්ස් ඩෙල්බෲක් මධ්‍යස්ථානයේ ආචාර්ය මොහමඩ් කලාෆ් පවසයි.

නමුත් ඇය මෙය සිදු කරන්නේ කෙසේ ද යන්න දැන නොසිටි බව ඔහු පවසයි.

Close-up of a naked mole rat's head and front legs - it has grey/pink wrinkly skin and no hair.

ඡායාරූප මූලාශ්‍රය, Tennessee Witney via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම මී විශේෂයේ රැජින අනෙකුත් ගැහැනු සතුන්ගේ හෝමෝන මට්ටම් වෙනස් කර එම සතුන් වඳ තත්ත්වයේ තබා ගැනීමට උපකාරී වන රසායනික ද්‍රව්‍යයක් නිපදවයි

"එක් න්‍යායක් වුණේ, රැජින අනෙක් සතුන්ගේ ප්‍රජනන හැකියාව නැවැත්වීම සඳහා එම සතුන් තල්ලු කරමින් හෝ බියගන්වමින් කටයුතු කරනවා කියලා," වසර 15ක් පුරා මෙම මී විශේෂය පිළිබඳව පර්යේෂණයේ නිරත අණුක වෛද්‍ය විද්‍යාව සඳහා වන මැක්ස් ඩෙල්බෲක් මධ්‍යස්ථානයේ ම සේවය කරන, පර්යේෂණයේ සම-කතුවරයෙකු වන මහාචාර්ය ගැරී ලෙවින් පවසයි.

නමුත් අනතුරුව කෘමීන්ගේ අඝ්‍රාණ හැකියාව පිළිබඳව පර්යේෂණ කළ කලාෆ් මෙම පර්යේෂණය සඳහා එක්විය.

"ගැරී මාව මුලින් ම නේකඩ් මෝල් රැට්ස් විශේෂය බලන්න එක්කන් ගියා. ඒ වෙලාවේ මට තේරුණා උන් ගොඩක් ඉව කරනවා කියලා," ඔහු පවසයි.

එම සතුන්ගේ මෙම විශේෂ සමාජ සංවිධාන ක්‍රමයට ප්‍රධාන සාධකය එය දැයි ඔහුට සිතෙන්නට විය.

"අපේ අධ්‍යයනයේ මුල් ම අරමුණ වුණේ මේ සතුන්ගේ රසායනික පැතිකඩයන් එක්රැස් කරලා, උන්ට ආඝ්‍රාණය වැදගත් ද නැද්ද කියලා බලන එක," ඔහු පවසයි.

"නමුත් රැජින තුළ එක්තරා රසායනික ද්‍රව්‍යයක් බහුලව පවතින බව අපට සොයාගන්න ලැබුණු අවස්ථාව පර්යේෂණයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. එතැන් සිටයි මේ කතාව ආරම්භ වුණේ."

'සුපිරි උපත් පාලන ක්‍රමයක්'

ප්‍රශ්නගත රසායනික සංයෝගය අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් (isopropyl myristate) ලෙස හැඳින්වේ. එය නිපදවනු ලබන්නේ මෙම මී විශේෂයේ රැජින විසින් වන අතර, ප්‍රජනනය නොකරන අනෙකුත් සතුන් තුළ එය දක්නට නොලැබේ.

මෙම ගන්ධය නිසා මෙම මී විශේෂයේ ගැහැනු සතුන්ගේ හැසිරීම වෙනස් වේදැයි පරීක්ෂා කිරීමට කලාෆ් අධ්‍යයනයක් සිදු කළ අතර, එහිදී සොයා ගත්තේ, මෙම සත්ව ජනපදයේ ඉහළ මට්ටමේ සිටින අනෙකුත් ගැහැනු සතුන් මෙම ගන්ධයෙන් මිදී සිටීමට උත්සහ කරන බව ය.

"නේකඩ් මෝල් රැට්ස් විශේෂයට මෙම අණුව ඉතා වැදගත් වන බව පෙන්නුම් කෙරෙන පළමු ඉඟිය තමයි ඒක," ලෙවින් පවසයි.

ඉන්පසු ඔවුහු මෙම රසායනික ද්‍රව්‍යයේ ගන්ධය මෙම මී විශේෂයේ මොළයට බලපාන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා 'functional ultrasound imaging ලෙස හැඳින්වෙන ස්කෑන් ක්‍රමයක් භාවිත කළහ.

A photo of Khallaf, a man with glasses and a blue and white stripy shirt, and Lewin, a man with glasses and a white shirt; they are standing in front of a building and some vegetation.

ඡායාරූප මූලාශ්‍රය, Felix Petermann, Max Delbrück Center

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් හඳුනාගත් එම රසායනික ද්‍රව්‍යය මෙම මී විශේෂයේ අනෙකුත් ගැහැනු සතුන්ගේ හෝමෝනවලට බලපෑම් කළ හැකි ද යන්න සොයා බැලීමට විද්‍යාඥයන්ට අවශ්‍ය වූ බව ලෙවින් (දකුණේ) පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෙවින් පවසන්නේ, ගන්ධයන් හඳුනාගැනීම සහ එම තොරතුරු සැකසීම සඳහා වගකියනු ලබන මොළයේ කොටස වන ආඝ්‍රාණ කලාපය "විශාල ලෙස සක්‍රීය වන බව ඔවුන්ට ඉක්මනින් ම නිරීක්ෂණය" වූ බව ය. මෙයට අමතරව, ඇතැම් අවස්ථාවලදී හෝමෝන මුදා හැරීම මගින් ශරීරයේ විවිධ ක්‍රියාවලීන් පාලනය කරන හයිපොතැලමසය ද ඇතැම් විට සක්‍රීය වන බව නිරීක්ෂණය විය.

මෙම මී විශේෂයේ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන සැලකීමේදී, ඊට ප්‍රොලැක්ටින් සහ ප්‍රොජෙස්ටෙරෝන් යන හෝමෝන සම්බන්ධ වේ. ප්‍රොලැක්ටින් හෝමෝනය ක්ෂීරපායින් තුළ සරු බව අඩු කරන අතර, ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් එය ප්‍රවර්ධනය කරයි.

"මේ හෝමෝන ඇත්තට ම පාලනය වන්නේ අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් (isopropyl myristate) මගින් ද යන්න අපිට දැන ගන්න ඕනේ වුණා," ලෙවින් පවසයි.

පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රජනනය නොකරන සතුන් ඉවත් කර, පිරිමි සහ ගැහැනු ලෙස යුගල වශයෙන් රඳවා තබන ලදී. ඒ අතරින් ඇතැම් සතුන්ට උන් සිටි ජනපදයේ ගන්ධය සහිත ඇතිරිලි ලබා දුන් අතර ඇතැම් සතුන්ට විශේෂයෙන් ම අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් වෙත නිරාවරණය වීමට සැලැස්වීය. තවත් කණ්ඩායමක් ගෙන එම සත්වයින්ට කිසිදු ඇතිරිල්ලකට හෝ අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් රසායන ද්‍රව්‍යය වෙත නිරාවරණය වීමට ඉඩ නොදුන්හ.

ගන්ධයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙන් කර තබන ලද සතුන් "ලිංගික බාධාවලින් ඉවත් වී", සති කිහිපයක් ඇතුළත ලිංගිකව එකතු වීමට පටන් ගත් බව ලෙවින් පවසයි. එහි සිටි ගැහැනු සතුන් හය දෙනාගෙන් පස් දෙනෙකුම ගැබ් ගෙන තිබිණි.

නමුත් තවදුරටත් අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් රසායනිකයට නිරාවරණය වූ සතුන් ලිංගිකව එකතු නොවිණි.

"එය සුපිරි උපත් පාලන ක්‍රමයක්," බව ලෙවින් පවසයි.

A mother naked mole rat lying in a dark space with her pups climbing on top of her.

ඡායාරූප මූලාශ්‍රය, Neil Bromhall via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් නොමැතිව ජනපදයෙන් වෙන් කර තැබූ බොහෝ ගැහැනු සත්තු ගැබ් ගත්හ

මෙම අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් ප්‍රජනනයෙන් ඔබ්බට ගිය භූමිකාවක් ඉටු කරන බවක් පෙනෙන්නට තිබේ.

කලාෆ් සහ ලෙවින් විසින් කරන ලද වෙන ම අත්හදා බැලීමකදී, ජනපදයකින් රැජින ඉවත් කර සති 12ක් පුරාවට එහි ඇතිරිලි මතට අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් සැපයීම අඛණ්ඩව සිදු කළේ ය.

එම කාලය තුළ ජනපදය සන්සුන්ව තිබුණු නමුත් එම රසායන ද්‍රව්‍ය ඉවත් කළ විට සත්තු ආක්‍රමණශීලීවීමට පටන් ගත්හ. ඇතැම් ගැහැනු සතුන් ලිංගික හැසිරීම් පෙන්නුම් කළ අතර, අවසානයේ එක් ගැහැනු සතෙක් ගැබ් ගත්තාය. එමගින් ඇය නව රැජින බවට පත්ව තිබූ බව යෝජනා කෙරිණි.

කලාෆ් පවසන පරිදි, අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් "මුළු ජනපදය ම එකට බැඳ තබන" දෙයක් ලෙස ක්‍රියා කරයි.

"එය සියලු ම සතුන් එකිනෙකා සමග අ) ප්‍රචණ්ඩකාරී වීමෙන් සහ ආ) ප්‍රජනනය සඳහා ක්‍රියාකාරීවීමෙන් වැළැක්වූවා," ලෙවින් පැවසීය.

'ප්‍රජනන තත්ත්වය පෙන්වන දර්ශක'

රැජිනගේ ඩිම්බ මෝචනය වන අවස්ථාවලදී ඇයගේ යෝනි ශ්‍රාවයන්හි මෙම අණුව ප්‍රමාණයෙන් ඉහළ ම මට්ටමකට පැමිණෙන බව ද කලාෆ් සොයා ගත්තේ ය.

"මෙම අණුව, එනම් මෙම එස්ටරය කියන්නේ රැජිනගේ ප්‍රජනන තත්ත්වය ප්‍රකාශ කරන දර්ශකයක්" ලෙවින් පවසයි.

එමෙන් ම රැජින පැටවුන් බිහිකිරීම නතර කරන්නේ නම් මෙම මී විශේෂය ඒ සඳහා ද ප්‍රතිචාර දක්වති.

Two naked mole rats on a dark surface, one facing the camera and the other appearing to walk behind it.

ඡායාරූප මූලාශ්‍රය, Felix Petermann, Max Delbrück Center

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින ප්‍රජනනය කිරීම නතර කළහොත්, ඇය තවදුරටත් අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් නිපදවන්නේ නැති අතර, අනෙක් ගැහැනු සත්තු නව රැජින බවට පත්වීම සඳහා තරග කරති

"අනෙක් කිසිදු සතෙකු ප්‍රජනන කටයුතුවල නිරත නොවන බැවින්, රැජින සැබවින් ම පැටවුන් බිහි කරන්නේ ද යන්න ජනපදයේ අනෙක් සාමාජිකයින් දැන සිටීම ඉතාමත් වැදගත්" ඔහු පවසයි.

"රැජින සැබවින් ම පැටවුන් බිහි නොකරයි නම් රැජිනක් සිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ."

එවැනි අවස්ථාවකදී, රැජින මෙම රසායනික ද්‍රව්‍යය නිපදවීම නවත්වන අතර, එවිට අනෙකුත් ගැහැනු සතුන් නව රැජින බවට පත්වීම සඳහා එකිනෙකා සමග තරග කරනු ඇත.

මෙම සත්ව රංචුවේ පාලනය සහ විනය පවත්වා ගැනීම සඳහා අයිසොප්‍රොපයිල් මිරිස්ටේට් ඉටු කරන කාර්යභාරය, රැජිනගේ හැසිරීම පැහැදිලි කිරීමට ද උපකාරී විය හැක.

"ඇය ඉතා ක්‍රියාශීලී ලෙස ජනපදය පුරා මුර සංචාරයේ යෙදෙනවා," ලෙවින් පවසයි

වනාන්තර ප්‍රදේශවල මෙම මී විශේෂය එක් ජනපදයක් තුළ තනන ගුල් කිලෝමීටර 3ක් දක්වා දිගු විය හැක.

"රැජින උත්සහ කරන්නේ මෙම විශාල ගුල් පද්ධතිය පුරා ම මෙම අණුව තැන්පත් කිරීමටයි," ලෙවින් පවසයි. ඒ ආකාරයෙන්, ඇගේ රංචුවේ සිටින සියලු ම සතුන් මෙම රසායනිකයට නිරාවරණය වන බවටත්, ඇයට අභියෝග නොකරන බවටත් තහවුරු කර ගැනීමට ඇයට හැකියාව ලැබේ.

ප්‍රජනනය එක් සත්වයෙකුට පමණක් සීමා කර ගන්නේ ඇයි?

බැලූ බැල්මට ප්‍රජනනය එක් සත්වයෙකුට පමණක් සීමා වීම සත්ව ජනපදයකට නුවණට හුරු පද්ධතියක් ලෙස නොපෙනෙන්නට හැක.

නමුත් ලෙවින් පවසන්නේ, එමගින් ඔවුන්ට සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට හැකියාව හිමිවන නිසා එය නේකඩ් මෝල් රැට්ස් ලෙස හඳුන්වන මෙම මේ විශේෂයේ වැදගත් ම ලක්ෂණයන්ගෙන් එකක් වන බව ය.

A group of naked mole-rats resting together on top of wood shavings inside a transparent enclosure.

ඡායාරූප මූලාශ්‍රය, Ger Bosma via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සත්වයෝ එකට නිදා ගැනීමෙන් ශරීරයේ තාපය අහිමි වීම අවම කර ගනිති

නේකඩ් මෝල් රැට්ස් මී විශේෂය කාන්තාර ප්‍රදේශවල ජීවත් වන අතර, ශාකවල පොළොව අභ්‍යන්තරයේ ඇති කොටස් ආහාරයට ගනී. ඒවා එම සතුන් "සොයාගන්නේ ගුල් හාරමින් පමණක්" බව ලුවින් පවසයි.

"මේ සත්තු මුලක් හොයා ගත්තාට පස්සේ, ඒ ආහාර බෙදා ගන්නවා, ඊට පස්සේ ඒවා ආපහු අරගෙන ඇවිත් කුටියක ගබඩා කරලා මුළු ජනපදය අතරේ ම බෙදා ගන්නවා."

කණ්ඩායමක් ලෙස මෙය කිරීමෙන් මෙම සතුන් විවිධ දිශාවලට ගොස් ආහාර සෙවිය හැකි අතර, ආහාර හමු වූ විට එහි ප්‍රතිලාභ සැමට ලබා ගත හැක. යම් හෙයකින් එක් සතෙකු පමණක් තනිව ම මෙය කිරීමට උත්සහ කළහොත්, කෑමට යමක් සොයා ගැනීමට පෙර එම සතුන් කුසගින්නේ මිය යාමේ අවස්ථාව පවතී.

කණ්ඩායමක් ලෙස ජීවත් වීමෙන් තවත් වාසි ද ඇත - ඒ, සැවොම එකට නිදා ගැනීමෙන් ශරීරයේ තාපය පිටවීම අවම කරගත හැකිවීමයි.

"ඉතින් මෙහෙම ඉන්න එකෙන්, මූලික වශයෙන් ඔවුන්ට දිවි ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා," ලෙවින් පවසයි. "ඒ වගේ ම අපි හිතනවා රැජිනක් සිටීම ජනපදය තුළ සමාජයීය එකමුතුකම බලාත්මක කිරීමට ඇති එක් මාර්ගයක් කියලා."

මෙම විද්‍යාත්මක සොයාගැනීම සිදු වුව ද, මෙම මී විශේෂයේ මෙම ක්‍රමය ක්‍රමය පිළිබඳව අප තවමත් නොදන්නා කරුණු බොහෝමයක් ඇත.

තමාගේ සරුභාවයට බලපෑමක් කර ගැනීමෙන් තොරව අනෙකුත් ගැහැනු සතුන්ගේ හෝමෝන නිෂ්පාදනය මර්දනය කිරීමට රැජිනට හැකි වන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත.

"ඒ සතුන්ගේ මොළයේ යම් වෙනසක් සිදුවෙමින් පවතිනවා විය යුතුයි. එය ප්‍රතිග්‍රාහක මට්ටමින් හෝ ස්නායු පරිපථ තුළ සිදුවන්නක් විය හැකියි. උන් ඒ [හෝමෝන] නිපදුවත්, ඉන් ඒ සතුන්ට බලපෑමක් වෙන්නේ නැහැ," කලාෆ් පවසයි.