යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

2006 වසරේ සැප්තැම්බර් මස 01 වන දා සහ 2007 වසරේ ජූනි මස 08 වන දා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරුට අයුතුසහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 08කි.

මෙම අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතර එම චෝදනා භාර දීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය මගින් සිතාසි නිකුත් කිරීමට නියමිත ය.