නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2022 වසරේදී මෙරටට බලපෑ ආර්ථික අර්බුදයත් දෛනිකව සිදුවූ විදුලි කප්පාදුවත් සමග සිය නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවලට "Solar" යන නමින් ජනප්‍රිය වී ඇති සූර්ය බලශක්ති පද්ධති සවි කිරීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ. දිනෙන් දින ඉහළ යන විදුලි බිලට පිළියමක් ලෙසත් අමතර ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාවත් නිසා එය මේ වන විට තවත් ජනප්‍රිය වී තිබේ.
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
1. අනුමැතිය ලබා ගැනීම
ජාතික විදුලි බල පද්ධතියේ මධ්‍යම ජාලයට සම්බන්ධ කරන සූර්ය බල පද්ධතියක් ලබා ගන්නා පුද්ගලයෙකු පළමුව සිදුකළ යුත්තේ තමන් අයිති වන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය වෙත ගොස් ඊට අදාළ පූර්ණ අනුමැතියක් ලබා ගැනීම බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරී පද්මදේව සමරනායක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.
ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පැවසුවේ සූර්ය පැනල පද්ධති සවි කිරීමෙන් අනතුරුව වරලත් ඉංජින්රුවරයෙකුගෙන් එම පද්ධතිය නිසි ලෙස සවි කිරීම සිදුකර තිබේද යන්න පිළිබඳ සහතිකයක් ද ලබා ගත යුතු බවයි.
"සාමාන්‍යයෙන් සූර්ය පැනල සවිකරන ආයතනයේ ඉංජිනේරුවරුනුත් පද්ධතිය සවි කළාට පස්සේ ඒක නිවැරදිව සිදු කර ඇති බවට සහතිකයක් ලබා දෙනවා. මේ සහතිකය අරන් ආපහු ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට ගිහින් තමන්ගේ අන්තිම ඉල්ලුම් පත්‍රය ලබා දෙන්න ඕන." සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරීවරයා පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. වහලයේ යෝග්‍යතාව සහ ආලෝකය
විවිධ ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල වෙළෙඳපොලේ පවතින අතර මහජන උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ වොට් අගය 320ක් වන සූර්ය පැනලයක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 23 ක් පමණ වන බවය.
නිවසකට කිලෝ වොට් 2ක සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුට ඒ සඳහා තම නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සූර්ය පැනල 6ක් සවි කළ යුතු අතර එම උපකරණවල ආසන්නම බර කිලෝ ග්‍රෑම් 138ක් පමණ වේ.
අවශ්‍ය විදුලි ධාරිතාව ඉහළ යනවිට වහලය මතට සූර්ය පැනල මගින් පැටවෙන බරද ඉහළ යන බැවින් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වහලයේ ශක්තිමත් බව පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කරයි.
එමෙන්ම වහල මතට ලැබෙන සූර්ය ආලෝකය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වන අතර නිවසේ වහලය මතට පතිතවන අලෝකය අවට වූ ගස් හෝ ගොඩනැගිලි නිසා අඩුවේ නම් එවැනි බාධක පිළිබඳව ද සැලකිලිමත් විම සුදුසුය.
3. සුදුසු ආයතනයක් තෝරා ගන්නේ කොහොම ද?
සූර්ය බල පද්ධති සවිකරන ආයතන විශාල ප්‍රමාණයක් පිළිබඳ ඔබ දිනපතා අන්තර්ජාලය ඔස්සේ මෙන්ම පුවත්පත් දැන්වීම් ඔස්සේ දැක ඇත. ඇතැම් සූර්ය බල පද්ධති නියමිත ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගිකයින්ට ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන පුවත් ද අසන්නට දකින්නට ලැබේ.
නමුත් මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සූර්ය බල පද්ධතියක් සවි කිරීමට තීරණය කරන්නේ නම් ඒ සඳහා තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් බවයි.
එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලබන සූර්ය බල පද්ධතියක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටලු ඇති විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.
මේ හේතුවෙන් යම් පුද්ගලයෙකුට නිත්‍යානුකුල සේවයක් ලබා ගැනීමට නම් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ එහි ලියාපදිංචි සූර්ය බල පද්ධති සේවා සපයන ආයතන සොයා ගත හැක.
4. සූර්ය පැනල ඇතුළු උපාංග තෝරාගැනීම
ඔබ විසින් සූර්ය පැනල සහ ඉන්වෙන්ටර් තෝරා ගැනීමේදී එම උපාංග සඳහා ලබාදෙන වගකීම් කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු වේ.
සූර්ය පැනලයක් තෝරා ගැනීමේදී ඔබ "A" වර්ගයට අයත් සූර්ය පැනල සවිකිරීමට වග බලා ගත යුතු බව මහජන උපයෝගිතා කොමිසම විසින් නිර්දේශ කර සිටියි.
එම උපකරණවල කාර්යක්ෂමතාව සහ කල් පැවැත්ම පිළිබඳව නිවැරදි සහතිකයක් ලබා ගැනිමට හැකි වන්නේ බලයලත් සේවා ආයතන මගින් පමණකි.
විශේෂයෙන් සූර්ය පැනල සවි කිරීමෙන් පසු පාරිභෝගිකයා වෙත ලබා දෙන නඩත්තු කටයුතු පිලිබඳ සහතිකය සහ මිලදී ගන්නා භාණ්ඩ සඳහා ලබාදෙන වගකීම් කාලය (අවම වශයෙන් වසර 10-25ක්) පිළිබඳ කරුණු සොයා බැලීමට පාරිභෝගිකයා කටයුතු කළ යුතුය.
ඔබ විසින් සවිකරන සූර්ය පැනල පද්ධති නිසි තාක්ෂණික ක්‍රමවේදයෙන් යුතු ඒවා විය යුතු අතර, එසේ නොවන ඒවා ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
5. ආදායමක් ලබා ගැනීම සඳහා විදුලි උත්පාදනය කිරීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සූර්ය බල පද්ධති සවි කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන ප්‍රධාන හේතුවක් වන්නේ මාසිකව භාවිතා කරන විදුලි ඒකක ගණනට සමාන ඒකක ගණනක් උත්පාදනය කිරීමේ අරමුණය. එය හඳුන්වනු ලබන්නේ නෙට් මීටරින් (Net Metering) ලෙසය.
එහිදී සූර්ය බල පද්ධතිය හරහා නිපදවන විදුලිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය වෙතින් මුදල් ගෙවීමක් පාරිභෝගිකයාට සිදු කරනු නොලැබේ. එහිදී පාරිභෝගිකයා විසින් සවි කරගත යුතු විදුලි බල පද්ධතියේ ධාරිතාව තීරණය කළ යුත්තේ ඔහු විසින් මසකට භාවිතා කරන විදුලි ඒකක ගණන අනුවයි.
උදාහරණයක් ලෙස නිවසේ මාසික විදුලි පාරිභෝජනය ඒකක 200ක් පමණ නම් එම නිවසට කිලෝ වොට් 2ක ධාරිතාවයෙන් යුතු සූර්ය බල පද්ධතියක් සවිකිරීම ප්‍රමාණවත් වේ.
කිලෝ වොට් 01ක් යනු විදුලි ඒකක 115-120 ත් අතර ප්‍රමාණයක් වේ. කිලෝ වොට් 02ක ධාරිතාවයකින් යුතු සූර්ය බල ශක්ති පද්ධතියක් ඉදිකිරිම සඳහා ආසන්න වශයෙන් රු.ලක්ෂ 5ක් පමණ ආයෝජනයක් සිදුකළ යුතු වේ.
එමෙන්ම ආදායමක් ලබා ගැනීමේ අරමුණින් සිදුකරන විදුලි උත්පාදනය කිරීම සඳහා ද සූර්ය බල පද්ධති යොදා ගනු ලැබේ.
එහිදී පාරිභෝගිකයා විසින් සිය නිවසේ හෝ ආයතනයේ සවි කර ඇති සූර්ය බල පද්ධති හරහා උත්පාදනය කරන ඒකක ප්‍රමාණයෙන් මාසිකව පරිභෝජනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩුකර, වැඩිපුර උත්පාදනය කරන විදුලි ඒකක විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගමට විකිණීමට අවස්ථාව උදාවේ.
එහිදී එක් විදුලි ඒකකයකට රු. 22.00 (වසර 7ක් දක්වා) බැගින් සේවා සපයන්නා වෙත ගෙවනු ලබන අතර මුල් වසර 7න් පසුව එක් විදුලි ඒකකයකට රු 15.50 බැගින් ගෙවනු ලබන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
































