දරුවන් අතර සුලබ අත්, පා සහ මුඛ රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේ ද?


Child with with hand foot and mouth disease

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඩෙංගු වසංගත තත්ත්වය හා මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගයට අමතරව තවත් රෝගයක් මේ දිනවල රට පුරා පැතිරෙමින් පවතී.

අත්, පා සහ මුඛ රෝගය නමින් හඳුන්වන මෙම වෛරස් රෝගී තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ළමුන් ය.

වසරේ සෑම කාලයක ම සුළු වශයෙන් අත්, පා සහ මුඛ රෝගයට ගොදුරු වූ රෝගීන් වාර්තා වී ඇතත් පවතින වියළි කාලගුණයත් සමගම රෝගීන් වාර්තා වීමේ වැඩි අගයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

අත්, පා සහ මුඛ රෝගය යනු කුමක්ද?

දරුවන් අතර සුලබව දැකිය හැකි අත්,පා සහ මුඛ රෝගය සම්බන්ධව ළමා රෝග පිළිබඳ වෛද්‍ය රොෂාන් වෙළඳගේ බීබීසී සිංහල සේවය හා කතාබහකට එක්වෙමින් කරුණු පැහැදිලි කළේය.

"අත්,පා සහ මුඛ රෝගය කියන්නේ වෛරස් ආසාදනයක්. රෝගයට හේතු කාරක වන සුලබ වෛරස් හඳුනාගෙනත් තියෙනවා. ඒකේ වැඩිපුර ම සුලබව තියෙන්නේ කොක්සැකි වෛරස් A16 කියන එක. එයා තමයි වැඩියෙන් ම මේ රෝගය හදන්නේ නමුත් වෙනත් වෛරස්වලටත් සමාන ආසාදන ඇති කරන්න පුලුවන්. අලුතෙන් මේ දවස්වල එන්ටරෝ වෛරස් A6 කියලා ප්‍රභේදයක් තියෙනවා එයත් අත්, පා සහ මුඛ රෝගය හදන්න පුළුවන්."

වෛරසය හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වය මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන් අතර සුලබ වුවත්, අවුරුදු 13 සිට 14 දක්වා වුවත් එම වෛරස් ආසාදනයෙන් ඇති වන අත්, පා සහ මුඛ රෝගයට දරුවන් ගොදුරු විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

රෝග ලක්ෂ මොනවා ද?

මෘදු හෝ තද උණ තත්ත්වය මෙම රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ මුල් අවධියේ රෝග ලක්ෂණ බව පැවසූ වෛද්‍ය රොෂාන් වෙළඳගේ, රෝගයේ රෝග ලක්ෂණ මෙලෙස විස්තර කළේ ය.

"සමාන්‍යයෙන් දවස් දෙක; උපරිම තුන වෙද්දි උණ අඩුවේගන යනවා. ඒක අඩුවේගෙන යනවත් එක්ක ඇගේ රෑෂ් එකක් මතු වෙනවා. ප්‍රධාන වශයෙන් ම ඒක අතින් අල්ලපුවාම අතට දැනෙන විදියේ බිබිලි තියෙන රෑෂ් එකක්. ඒක වැඩිපුර ම දකින්න ලැබෙන්නේ අත්ලේ, යටි පතුලේ, දණහිස් ඉස්සරහා, වැලමිට පිටිපස්සේ, කට ඇතුලේ සහ තට්ටම්වල. දවස් දෙකක් තුනක් විතර රෑෂ් එක ටිකක් දැක්කාම බය හිතෙන විදියට වැඩි වෙනවා."

එම බිබිලි හෝ කුෂ්ඨ දින කිහිපයක දී වියළි බවට පත් වී කැළැල් ද නොමැතිව මැකී යන බව වෛද්‍යවරයා කියා සිටියේ ය.

"කට ඇතුළේ බිබිලි දාන නිසා ඒවා තල්ලේ, උගුරේ, කට ඇතුළේ බිබිලි එන නිසා කෙල ටික ගිල ගන්න අමාරුයි, කෑම කන්න අමාරුයි, කටින් සෙවල වැක්කෙරෙනවා කෙල ගිලින්න බැරුව ඕවා රෝග ලක්ෂණ හැටියට එන්න පුළුවන්."

කට ඇතුළත බිබිලි ඇති වූ විට ආහාර ලබා ගැනීමට හා පාන වර්ග ලබා ගැනීම අපහසු වුවහොත් කුඩා දරුවන් විජලනය විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

රෝගය පැතිරෙන්නේ කෙසේ ද?

පාසල් සහ පෙර පාසල් මෙන්ම වැනි පිරිස් ගැවසෙන ස්ථානවලින් අත්, පා සහ මුඛ රෝගය පැතිරීම සිදු වේ.

ආසාදිතයෙකුගේ හුස්ම මගින්, ශරීරයේ ඇති වන තුවාල ශ්‍රාවය හරහා රෝගය පැතිර යා හැකි අතර එන්ටරෝ වෛරස් හේතුවෙන් ඇති වන අත්, පා මුඛ රෝගය නැපි මාරු කිරීම වැනි අවස්ථාවකදී මළපහ හරහා ද පැතිරිය හැකි බව ළමා රෝග වෛද්‍ය රොෂාන් වෙළඳගේ කියා සිටියේ ය.

කලාතුරකින් ඇති වෙන සංකූලතා මොනවා ද?

"වැඩි සංකූලතා නැතිව හොඳ වෙන රෝගයක්. මුලින්ම රෝග ලක්ෂණ වැඩිය පෙන්වන්නේ නැතුව ඇගේ අමාරු කාලයක් තියෙනවා. ඊට පස්සේ උණ රෝගයක් හැටියට දවස් කීපයක් තියෙනවා. ඊට පස්සේ බිබිලි දාලා, බිබිලි ටික බැහැලා යනවා ඔක්කෝම දවස් 5ත් 7ත් අතර වගේ කාලයක් ඇතුළත තමයි ඔය රෝගය නිසා තියෙන කරදර," යැයි වෛද්‍යවරයා විස්තර කළේ ය.

එහෙත්, ඉතාම කලාතුරකින් මොළයේ ආසාදන, හෘදයේ ආසාදන වැනි සංකූලතා වර්තා වී ඇති බව ද වෛද්‍ය රොෂාන් වෙළඳගේ රෝගය ගැන පැහැදිලි කරමින් කියා සිටියේ ය.

"එන්ටරෝ වෛරස් එකෙන් ඇතිවෙන රෝගය සමහර අයට මොළේ ආසාදන ඇවිල්ලා තියෙනවා. ඒ වගේ කලාතුරකින් එන සංකූලතාවලට මොළේ ආසාදන, හෘද වස්තු ආසාදන, ලිවර් එකට ප්‍රශ්න ඇති කරනවා, හෙපටයිටිස් එනවා, ඒ වගේ දේවල් කලාතුරකින් ඇති වෙන්න පුළුවන්."

දිර්ඝ කාලීන සංකූලතා ලෙස ඇතැම් රෝගීන්ගේ නියපොතු, මාසයක් හෝ සති කිහිපයක් යන තුරු ගැලවී යා හැකි වුව ද ඒවා නැවත සමාන්‍ය ලෙස ම නැවත නියපොතු වර්ධනය වන බව ද ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයා කියා සිටියේ ය.

සුව කිරීමට ප්‍රතිකාර තිබේ ද?

ළමා රෝග පිළිබඳ වෛද්‍ය රොෂාන් වෙළඳගේ සඳහන් කළ පරිදි අත්, පා සහ මුඛ රෝගය සඳහා නිසි ප්‍රතිකාරයක් නොමැති අතර, වෛද්‍ය ප්‍රතිකාර නොලබා වුව ද රෝගය සුව වී යා හැකි ය.

මේ රෝගය මාරාන්තික නොවන බවත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම හරහා කරුණු ලබන්නේ ඇති වන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම පමණක් බව ද වෛද්‍යවරයා කියා සිටියේ ය.

"දරුවා අමාරුවෙන් ඉන්නවා කියලා හිතුනොතින් නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ට පෙන්න ගන්න එක තමයි සුදුසු," ඔහු පැවසුවේ ය.

ඩෙංගු සහ අත්, පා, මුඛ රෝගය වෙන් කර හඳුනා ගන්නේ කොහොම ද?

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් ලෙස මේ දිනවල පැතිර යන අතර, ඩෙංගු රෝගය සහ අත්, පා සහ මුඛ රෝගය වෙන් කර හඳුනා ගන්නා ආකාරය වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

"අත්, පා සහ මුඛ රෝගයත් මුලින්ම උණ රෝගයක් හැටියට තමයි මතු වෙන්නේ. ඩෙංගුවලත් මුල් දවස් දෙකේ තුනේ තද උණක් වෙන්න පුළුවන්. මුල් අවස්ථාවේ රෝග දෙකේ ම එකම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. හැබැයි උණ අඩු වෙද්දි අත්, පා සහ මුඛ රෝගය තියෙන අයගේ රෑෂ් එක එනවා. ඒ රෑෂ් එක වෛද්‍යවරු දැක්කා ම ඒ අය දන්නවා මේක ඩෙංගු නිසා ඇතිවෙන එකක් නෙමෙයි කියලා. ඩෙංගු රෝගයේ රෑෂ් එක එන්නේ ලෙඩේ හොඳ වෙද්දී. ඒක අතට අහුවෙන රෑෂ් එකක් නෙමෙයි. ඒක හම රතු වෙච්ච එකක්, ඒක සාමාන්‍යයෙන් කසනවා. අත්, පා සහ මුඛ රෝගයේ එන රෑෂ් එක කසන්නේ නැහැ."

ළමුන් හරහා වැඩිහිටයන්ට ද අත්, පා සහ මුඛ රෝගය වැළදෙන අතර, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්, දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන රෝගීන්, වකුගඩු, අක්මා සහ දියවැඩියා වැනි රෝග පවතින රෝගීන් මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම හේතුවෙන් මෙම වෛරස් ආසාදනය ඇති විය හැකි බව ළමා රෝග පිළිබඳ වෛද්‍ය රොෂාන් වෙළඳගේ කියා සිටියේ ය.