රුමේෂ් සිය උරහිසට ඉහළින් හෙල්ලය ඔසවා ගනිමින් තම (ධාවන) ප්‍රවේශය ආරම්භ කරයි. ඔහු මුලින් ම සිය දකුණු විළුඹ ද, ඉන්පසු වම් විළුඹ ද ඔසවා, පියවර 3ක් ඉදිරියට තබා දිවවිත් වේගය ලබා ගැනීම ආරම්භ කරයි.

ඔහු වේගය ලබා ගැනීම සඳහා පියවර 9ක් හෝ 10ක් පමණ දිව එන අතර, එමගින්ඔහුට අවශ්‍ය වේගය සහ නිවැරදි රිද්මය ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබෙයි.

වේගයෙන් දිව ආ පසුව, මාරුවෙන් මාරුවට තබන හරස් පියවර තුනක් පමණ සිදු කෙරේ. එමගින් හෙල්ලය හොඳින් මුදා හැරිය හැකි නිවැරදි ඉරියව්වකට සිරුර සකස් කර ගන්නා අතර ම, දිවීමේ වේගය තවදුරටත් වැඩි කර ගැනීමට ද උපකාරී වේ.

අවසාන හරස් පියවර තරමක් දිගු කර තබනු ලබන අතර, එමගින් ඔහුගේ ශරීරයේ බර පසුපස පාදය මත රඳවා ගනිමින් පොළොවට පතිත වීමට ඔහුට අවස්ථාව ලැබෙයි.

හෙල්ලය මුදාහරින මොහොතේදී, ඔහු තම පසුපස පාදය මත රැඳෙමින්, අත හොඳින් කෙළින් කර දිගු කර ගන්නා අතර හෙල්ලයේ තුඩ තම ඇස් මට්ටමට සමාන්තරව තබා ගනියි.

ඔහුගේ ඉදිරිපස පාදය, දණහිස නැමීම අවම කරමින් සහ වේගය පාලනය කිරීමේ අරමුණින් යුතුව කෙලින් තබා තදින් පොළොව මත පතිත කරනු ලබයි. එමගින් විසි කරන ක්‍රීඩකයාගේ සිරුරේ දකුණු පස ඉතා වේගයෙන් වම් පස වටා භ්‍රමණය වෙමින් ඉදිරියට පැමිණේ.

92.62m: 'අවංකව ම, මටවත් ඒක හිතාගන්න බැරි වුණා'


රුමේෂ් වගේ හෙල්ලය විසි කරන්න: හෙල්ල විසි කිරීමේ සුවිශේෂී ජයග්‍රහණ පිටුපස ඇති තාක්ෂණය සහ දත්ත







ස්වාති ජෝෂි
නිර්මාණය: ලෝකේෂ් ෂර්මා

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත්විය. ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර් 88.5ක දක්ෂතාවක් දක්වමිනි. මෙය 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබාගත් එක ම රන් පදක්කම වේ.

වත්මන් ඔලිම්පික් ශූරයා සහ ආසියානු වාර්තාවට හිමිකම් කියන පකිස්ථානයේ අර්ෂාඩ් නදීම්, එහිදී මීටර් 80.29ක දක්ෂතාවක් දක්වමින් සිව් වන ස්ථානයට පත්විය.

රුමේෂ් තරංගගේ මෙම ප්‍රගතිය සැබවින් ම මවිත කරවනසුලු ය. ඔහු 2021 වසරේදී මීටර් 68.33ක් ලෙස පැවති ඔහුගේ පෞද්ගලික හොඳ ම දක්ෂතාව, 2026 වසර වන විට මීටර් 92.62ක් දක්වා වර්ධනය කරගෙන ඇත. ඒ අනුව ඔහු වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ මීටර් 24කට වඩා වැඩි දියුණුවක් ලබා තිබේ.

පසුගිය වසර කිහිපය තුළ රුමේෂ් දැක්වූ දක්ෂතා

ලෝක මලල ක්‍රීඩා සංවිධානයට අනුව, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පිරිමි ක්‍රීඩකයෙකුගේ හෙල්ල විසි කිරීමේ සාමාන්‍ය දුර ප්‍රමාණය මීටර් 80ත් 90ත් අතර වේ. රුමේෂ් ද පසුගිය වසර 2ක කාලය තුළ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වැඩි කොටසක් රැඳී සිටියේ මෙම සීමාවේ ය. කාන්තා ක්‍රීඩිකාවන් සඳහා මෙම සාමාන්‍ය දුර ප්‍රමාණය මීටර් 60ත් 70ත් අතර වේ.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් වාර්තා කරන ලද හොඳ ම දක්ෂතා

දකුණු ආසියාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතර රුමේෂ්ට හිමි තැන

කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා ඉසව්වේ ඉතිහාසය

හෙල්ලයේ පිරිවිතරයන් සහ පිරිවැය

හෙල්ලයක් විසි කරන්නේ කෙසේ ද?

මීටර් 90 සීමාව ඉක්මවා ගිය විසි කිරීම් (1900-2026)

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව පිටුපස ඇති භෞතික විද්‍යාව කුමක් ද?

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා ඉසව්වේ ඉතිහාසය

708BC

ක්‍රි.පූ. 708 දී ග්‍රීසියේ පැවැත්වුණු පුරාණ ඔලිම්පික් උළෙලේදී මෙම ක්‍රීඩාව ප්‍රථම වරට ඇතුළත් කරන ලදී. එකල මුල් ම හෙල්ල නිෂ්පාදනය කර තිබුණේ ඔලිව් ලීවලිනි

394 AD

රෝම අධිරාජ්‍යයා වූ පළමුවන තියඩෝසියස් විසින් මිථ්‍යා දෘෂ්ටික සැමරුම් සහ උත්සව නීතිවිරෝධී බවට පත් කිරීමෙන් පසුව, ක්‍රි.ව. 394 දී පමණ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන් විය.

1700s

ස්කැන්ඩිනේවියානු ජාතිකයන් විසින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව නැවත වරක් ප්‍රචලිත කරන ලදී.

1908

1908 වසරේ ලන්ඩන් නුවර පැවැත්වුණු තුන් වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ඇතුළත් කරන ලදී. එහිදී එරික් ලෙමින් නමැති ක්‍රීඩකයා සාමාන්‍ය මෙන් ම නිදහස් ශෛලියේ හෙල්ල විසි කිරීමේ ඉසව් ද්විත්වයෙන් ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

1932

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන ලද අතර, එහිදී ඇමෙරිකානු ක්‍රීඩිකා බේබ් ඩිඩ්‍රික්සන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා ය.

1986 & 1999

හෙල්ලයේ ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට ගෙන ඒම සඳහා, 1986 වසරේදී පිරිමි හෙල්ල ද, 1999 වසරේදී කාන්තා හෙල්ල ද වෙනස් කරමින් සිදුකළ නව සැලසුම්කරණය, එතෙක් පැවති වාර්තා පොත් අලුතින් ලිවීමට හේතු විය. මෙමගින් හෙල්ල විසි කළ හැකි දුර ප්‍රමාණය අඩු වූ අතර තරගකරුවන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු විය.

Scroll to continue ↓

Back to top

හෙල්ලයේ පිරිවිතරයන් සහ පිරිවැය

Vijitha Amerasekera of Sri Lanka competes in the Women's Javelin during the Athletics competition of the 1992 Summer Olympics

හෙල්ලය හෝ කුන්තායුධය (spear) සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර එහි දෙකෙළවර ම ක්‍රමයෙන් සිහින් වී යයි. එහි ප්‍රධාන කොටස් තුනක් පවතී: එනම් හිස (head - ලෝහමය තුඩ), දණ්ඩ (shaft) සහ නූල්වලින් සකසන ලද අත් මිට (cord grip) වේ.

හෙල්ලයේ ප්‍රධාන බඳ ලෝහවලින් හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යවලින් සාදා ඇත.

වැඩිහිටි පිරිමි තරග සඳහා භාවිත කරන හෙල්ලයක අවම බර ග්‍රෑම් 800ක් විය යුතු අතර, එහි දිග මීටර් 2.6ක් සහ 2.7ක් අතර විය යුතුය. කාන්තා තරග සඳහා හෙල්ලයක අවම බර ග්‍රෑම් 600ක් විය යුතු අතර, එහි දිග මීටර් 2.2ක් සහ 2.3ක් අතර විය යුතුය.

හෙල්ලයක මිල කොපමණ ද?

ලෝක මට්ටමේ දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් භාවිත කරන්නේ නෝර්ඩික් Nordic සහ නෙමෙත් Nemeth යන සමාගම් නිෂ්පාදනය කරන හෙල්ල වේ. රුමේෂ් තරග වදින්නේ (Nordic Valhalla) වර්ගයේ හෙල්ලයකිනි.

නෙමෙත් හෙල්ලයක VAT බදු රහිත මිල

Scroll to continue ↓

Back to top

හෙල්ලයක් විසි කරන්නේ කෙසේ ද?

Dilhani Lekamge competes in the women's javelin throw final during the athletics event at the Scotstoun Stadium in Glasgow

හෙල්ලයක් විසි කිරීම ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. එනම්: දිවීමේ වේගය ලබා ගැනීම, ඉරියව් මාරු කිරීමේ අවධිය සහ හෙල්ල මුදා හැරීම වේ.

දිවීමේ වේගය ලබා ගැනීම

මෙහිදී සිදු වන්නේ හෙල්ලය අතට ගෙන, එය විසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ගම්‍යතාව ගොඩනඟා ගැනීමට වේගයෙන් දිවීමයි.

ඉරියව් මාරු කිරීමේ අවස්ථාව

වේගයෙන් දිව ආ පසුව, මාරුවෙන් මාරුවට තබන හරස් පියවර 2ක් හෝ 3ක් සිදු කෙරේ. එමගින් හෙල්ලය හොඳින් මුදා හැරිය හැකි නිවැරදි ඉරියව්වකට සිරුර සකස් කර ගන්නා අතර ම, දිවීමේ වේගය තවදුරටත් වැඩි කර ගැනීමට ද උපකාරී වේ.

හෙල්ලය මුදා හැරීමේ අවස්ථාව

මෙහිදී හෙල්ල විසි කරන ක්‍රීඩකයා, එහි තියුණු ලෝහමය තුඩ විසි කරන දිශාවට එල්ල කරමින්, හෙල්ලය හිස අසලින් උරහිසට ඉහළට ඔසවයි. ඉන්පසුව ක්‍රීඩකයා තමන්ගේ සිරුර පැත්තකට නමමින්, උරහිසට උඩින් හෙල්ලය ඉදිරියට විසි කරයි.

හෙල්ල විසි කිරීමේදී, ක්‍රීඩකයෙකුගේ ඉලක්කය වන්නේ තමන්ට හැකි උපරිම දුරකට හෙල්ල විසි කිරීමයි. තමන්ගේ වාරය නිවේදනය කිරීමෙන් පසුව, ක්‍රීඩකයන් විනාඩියක් ඇතුළත සිය විසි කිරීම සම්පූර්ණ කළ යුතු ය. හෙල්ලය පතිත වන සීමාව ඇතුළත නිවැරදිව වැදුණහොත් පමණක් එය වලංගු විසි කිරීමක් ලෙස සලකනු ලැබේ.

හෙල්ලය විසි කිරීම වලංගු එකක් ලෙස ගණන් ගැනීමට නම්, එය පොළොව මත සලකුණක් තැබීම පමණක් ප්‍රමාණවත් වන අතර තණතිල්ල සිදුරු කරමින් ඇතුළට ම කිඳා බැසීම අනිවාර්ය නොවේ. එමෙන් ම හෙල්ල විසි කිරීම සම්පූර්ණයෙන් ම අවසන් වන තෙක් ක්‍රීඩකයන් හෙල්ලය පතිත වන සීමාව දෙස බලා සිටිය යුතු ය.

හෙල්ලය මුදා හරින අතරතුර සහ එය පොළොවට පතිත වීමට පෙර, ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම හෙල්ල විසි කරන සීමා රේඛාව (throwing arc හෝ foul line) පිටුපස රැඳී සිටිය යුතුය.

Scroll to continue ↓

Back to top

මීටර් 90 සීමාව ඉක්මවා ගිය විසි කිරීම් (1900-2026)

මීටර් 90 සීමාවට වඩා වැඩි හෙල්ල විසි කිරීම්, රටවල් අනුව

Scroll to continue ↓

Back to top

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව පිටුපස ඇති භෞතික විද්‍යාව කුමක් ද?

Rumesh Tharanga Pathirage competes in the men's javelin throw final during the athletics event at the Scotstoun Stadium in Glasgow, on day eight of the Commonwealth Games

බොහෝ මලල ක්‍රීඩා ඉසව් මෙන් ම, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ද මූලික භෞතික විද්‍යාවේ සහ මිනිසාගේ දක්ෂතාවයේ මනා එකතුවකි. හෙල්ලය මුදාහරින උස, හෙල්ලයේ වේගය, මුදාහරින කෝණය, සුළඟට මුහුණ දෙන කෝණය සහ හෙල්ලය මත ක්‍රියා කරන විවිධ සාධක කිහිපයක් හෙල්ලය ගමන් කරන දුර ප්‍රමාණය කෙරෙහි ඍජුව ම බලපායි.

හෙල්ලයේ වේගය
පන්දුවක් වැඩි බලයක් යොදා වේගයෙන් විසි කරන විට එය ඈතට ම ගමන් කරන්නා සේ ම, හෙල්ලය ද වැඩි වේගයකින් මුදාහරින තරමට එය ගමන් කරන දුර ප්‍රමාණය වැඩි වේ.
මුදාහරින උස
වැඩි උසකින් හෙල්ලය මුදාහරින විට, ගුරුත්වාකර්ෂණය මගින් එය නැවත පොළොවට ඇද ගැනීමට පෙර හෙල්ලය වැඩි වේලාවක් ගුවනේ රැඳී පවතී. එක්තරා අධ්‍යයනයකට අනුව, හෙල්ලය මුදාහරින උස විසි කරන ක්‍රීඩකයාගේ උසින් 105%ක් පමණ විය යුතු ය.
මුදාහැරීමේ කෝණය

ප්‍රක්ෂේප චලිතයකදී, මුදාහැරීමේ ස්ථානය හා පතිත වන ස්ථානය එකම මට්ටමේ පිහිටා ඇත්නම්, උපරිම දුරක් ලබාගැනීමට සුදුසුම මුදාහැරීමේ කෝණය අංශක 45කි. එහෙත්, හෙල්ලය විසි කිරීමේදී මුදාහැරීමේ ස්ථානය සහ හෙල්ලය බිමට පතිත වන ස්ථානය එකම මට්ටමේ නොපවතින බැවින්, සෑම විසි කිරීමකදීම උපරිම දුර ලබාදෙන එකම නියත හොඳම කෝණයක් නොමැත.

සුළඟට මුහුණ දෙන කෝණය

සුළඟට මුහුණ දෙන කෝණය යනු හෙල්ලය මුදාහරින ප්‍රවේගයේ දිශාව සහ හෙල්ලයේ සිරස් පිහිටීමේ කෝණය අතර පවතින කෝණයයි.

හෙල්ලය මුදාහළ පසු ගුවනේදී ඒ මත ක්‍රියා කරන බලවේග

හෙල්ලයේ බර ගුරුත්ව කේන්ද්‍රය හරහා ක්‍රියා කරමින් එය නැවත පොළොව දෙසට ඇද ගනී.

වායුගතික විද්‍යාව යනු හෙල්ලයේ වේගය සහ හැඩය අනුව එය වටා සුළඟ ගලා යන ආකාරය යි. මෙයට එසවුම් බලය සහ වායු ප්‍රතිරෝධය වැනි බලවේග ඇතුළත් වේ. හෙල්ලය ගුවනේ පියාසර කරන විට, මෙම වායුගතික බලවේගයන් ඒවා ක්‍රියා කරන ස්ථානය වෙනස් කරන අතර එය සැමවිට ම හෙල්ලයේ ගුරුත්ව කේන්ද්‍රය මත ම සිදු නොවේ, එමගින් ගුවනේදී හෙල්ලයේ කෝණය සහ එහි ස්ථාවරත්වයට බලපෑම් එල්ල වේ.

ක්‍රීඩකයා හෙල්ලය මුදාහරින විට, ඒ මත කෝණික ප්‍රවේගයක් ඇති කරයි. මෙය හෙල්ලය ඉදිරියට හා පසුපසට කැරකැවීමට බලපාන 'පිචිං මෝමන්ට්' ලෙස ද හැඳින්වේ.

Credits:

රචනය සහ දෘශ්‍ය නිෂ්පාදනය:
ස්වාති ජෝෂි
නිර්මාණය සහ නිදර්ශන: ලෝකේෂ් ෂර්මා
අතිරේක වාර්තාකරණය: සම්පත් දිසානායක
මූලාශ්‍ර: ලෝක මලල ක්‍රීඩා සංවිධානය, නෙමෙත් ජවලින්, නෝර්ඩික් ස්පෝර්ට්ස්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, Getty Images, BBC