නූපන් ළදරුවන් ගැන නව බලාපොරොත්තුවක්: ගැබ් ගැනීමේ මාරාන්තික සංකූලතා වළක්වා ගත හැකි නව ප්‍රතිකාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Maria Patzwald
- Author, කේට් බෝවී
- Role, ගෝලීය සෞඛ්‍ය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
"මෙම ප්‍රතිකාරය නොතිබුණා නම් මම හිතනවා දරුවා කලින් ඉපදෙන්නට ඉඩ තිබුණු බව සහ ඔහුට ජීවිතය ආරම්භ කිරීම බොහොම දුෂ්කර වෙන්න තිබුණා කියලා," මරියා පැට්ස්වෝල්ඩ් පවසයි.
වයස අවුරුදු 38 වන විට ඇය සිය දෙවන දරුවා ලැබීමට ගැබ් ගත් අතර ආරම්භයේදී ඇයට කිසිදු අපහසුතාවක් නොතිබිණි. "ඒක සිද්ධ වෙනකම් ම හැම දේ ම හොඳින් සිදුවෙමින් තිබුණා," ඇය බීබීසී ලෝක සේවයට පැවසුවා ය.
අනතුරුව ගැබ්ගෙන සති 32ක් ගතවූ විට මරියා, අධිරුධිර පීඩනය නිසා වර්ධනය වන මාතෘ හා ප්‍රසව රෝගාබාධ හා මරණ සඳහා ප්රමුඛ හේතුවක් වන ප්රීක්ලැම්ප්සියාව තත්ත්වයට මුහුණ පා ඇති බව හඳුනා ගත් අතර දරු ප්‍රසූතිය තෙක් රෝහලේ සිටීම අවශ්‍ය බව ඇයට පවසා තිබිණි.
ඇය තම පුත්‍රයාගේ උපත සිදුවන තුරු බලා සිටියදී, විද්‍යාඥයින් ඔවුන් බලාපොරොත්තු වන පරිදි පළමු වරට මෙම තත්ත්වය ඇති වීමට මූලික හේතුවට ප්‍රතිකාර කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන තාක්ෂණයක පුරෝගාමී අත්හදා බැලීමකට සහභාගී වන කාන්තාවන් 16 දෙනාගෙන් එක් අයෙකු ලෙස ඇය තෝරාගෙන තිබිණි.
අධික රුධිර පීඩනයට සම්බන්ධ වෙනත් තත්ත්වයන් ද ඇතුළුව ලොව පුරා සෑම වසරක ම ප්රීක්ලැම්ප්සියාව හේතුවෙන් මව්වරුන් 70,000කට වඩා වැඩි පිරිසක් සහ ළදරුවන් 500,000කට වැඩි පිරිසක් මිය යති.
එය බහුලව පැවතුණ ද ප්‍රතිකාර ක්‍රම දශක ගණනාවක් තිස්සේ එකතැන පල්වෙමින් පවතින අතර, රෝගී තත්ත්වය ආරම්භ වූ පසු එය නතර කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇත. එක ම පිළියම වන්නේ දරු ප්‍රසූතිය පමණි.
මෙම මුල් අවධියේ අත්හදා බැලීමේදී, එක්සත් ජනපද විද්‍යාඥයින් ප්රීක්ලැම්ප්සියාව ඇති කළ හැකි යැයි ඔවුන් විශ්වාස කරන එක් ප්‍රෝටීනයක් ඉලක්ක කර ගත් අතර, එය මවගේ රුධිරයෙන් භෞතිකව ඉවත් කිරීමෙන් ඇගේ තත්ත්වය වැඩිදියුණු කර ඇගේ ගැබ් ගැනීම ආරක්ෂිතව දිගු කළ හැකි ද යන්න සොයා බැලූහ.
දරු ප්‍රසූතියට නියමිත කාලයට පෙර දැඩි ප්රීක්ලැම්ප්සියා තත්ත්වයෙන් පෙළුණු මෙම කාන්තාවන් 16 දෙනාට, ඔවුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට කිසිදු අහිතකර බලපෑමක් නොමැතිව, ඔවුන්ගේ ගර්භණී කාලය සාමාන්‍යයෙන් දින 10කින් දිගු කර ගැනීමට හැකි වූ බව ඔවුන් සොයා ගත් අතර එහි ප්‍රතිඵල Nature Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කළහ.
මෙයින් මරියා ඇගේ පුතු බෙනට් සති 34 දී බිහි කළා ය. මෙය නොමේරූ දරු උපත්වලදී ළදරුවන්ට ජීවත් වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන ප්‍රධානතම ගර්භණී සන්ධිස්ථානයකි.

රුධිර පෙරීමේ චිකිත්සාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
විද්‍යාඥයින් නිශ්චිතව ම නොදන්නා නමුත්, පර්යේෂණවලින් පෙනී යන්නේ වැදෑමහ අසාමාන්‍ය ලෙස සෑදෙන විට, රුධිරය ගලා යන ආකාරය වෙනස් වන අතර මවගේ සාමාන්‍ය රුධිර පීඩන පාලනයට බාධා එල්ල වන විට ප්රීක්ලැම්ප්සියාව සිදුවන බව ය.
ඉන් ඇති වන අධික රුධිර පීඩනය, ආඝාතය සහ ශරීරයේ ඉන්ද්‍රියයන්ට හානි සිදුවීමට හේතු විය හැක.
සාමාන්‍යයෙන් ගැබ්ගැනීමකින් සති 20කට පසුව හෝ දරු ප්‍රසූතියෙන් පසු ඉතා ඉක්මනින් මෙම තත්ත්වය ඇති විය හැකි අතර, සාමාන්‍ය ප්‍රසව පූර්ව රුධිර පීඩන පරීක්ෂණ සහ මුත්‍රා පරීක්ෂණ මඟින් එය හඳුනාගත හැක.
වෙනත් රෝග ලක්ෂණ අතරට සාමාන්‍ය වේදනා නාශකවලින් සුව නොවන දැඩි හිසරදය, ඇස් පෙනීම සම්බන්ධයෙන් මතුවන ගැටලු, ඉළ ඇටවලට පහළින් ඇති වන වේදනාව, මුහුණ, දෑත් හෝ දෙපා එකවරම ඉදිමීම, පපුවේ දැවිල්ල සඳහා ලබා ගන්නා ඖෂධවලින් සුව නොවන පපුවේ දැවිල්ල සහ වමනය යෑම ඇතුළත් වේ.
මහාචාර්ය රවී තදානි සහ මහාචාර්ය ආනන්ත් කරුමාන්චිම්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද සීඩාර්ස් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම අත්හදා බැලීමේදී කාන්තාවන්ගෙන් රුධිරය ලබා ගෙන මෙම රෝගී තත්ත්වය ඇති කිරීමට හේතු වන බව විශ්වාස කරන 'sFlt-1' නමැති ප්‍රෝටීනය ඉන් පෙරා ඉවත් කර නැවත එම රුධිරය ශරීරයට ඇතුළු කිරීම සිදු කෙරිණි. මෙය වකුගඩු පිරිසිදු කිරීමේ (ඩයලිසිස්) ක්‍රියාවලියට සමාන වේ.
රෝගය පවතින බවට හඳුනා ගැනුණු මව්වරුන්ට වලිප්පුව වැළැක්වීමට සහ රුධිර පීඩනය කළමනාකරණය කිරීමට ඖෂධ ලබා දිය හැකි වුවද, එය සුව කළ හැක්කේ දරු ප්‍රසූතියෙන් පමණි - නමුත් නොමේරූ දරු ප්‍රසූතිය දරුවාට අවදානම් ඇති කරයි.
ජර්මනියේ මරීයා මෙන් ඒ සඳහා සහභාගී වූ ඇතැම් මව්වරුන්ට මෙම අත්හදා බැලීමේදී ප්‍රතිකාර සැසි කිහිපයක්ම සිදු කර තිබිණි. මෙම ප්‍රතිකාරය ඇගේ දරුවාට වර්ධනය වීම සඳහා අතිරේක තීරණාත්මක සති දෙකක කාලයක් ලබා දුන්නේ ය.
"ළදරුවෙකු සති 34 දී හෝ ඊට පසුව උපත ලැබුවහොත්, ඔවුන්ට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් හෝ දිගුකාලීන අතුරු ආබාධ ඇති නොවීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි" ඇය පවසයි. "ඒක ලොකු සහනයක් වුණා," ඇය සඳහන් කළා ය.
ප්‍රතිකාරයට ගැබ්ගැනීම් තවත් දිගු කිරීමේ හැකියාව ඇති බව අධ්‍යයනයේ කතුවරයා විශ්වාස කරයි.
''ඇත්තට ම ඉලක්කය වන්නේ කල්තියා ප්‍රතිකාර ආරම්භ කිරීම සහ ප්‍රතිකාර වැඩි වශයෙන් සිදු කිරීමයි...අපි කල්තියා පටන් ගත්තොත්, අපිට පුළුවන් ගර්භණී කාලය සති කිහිපයකින් දීර්ඝ කරන්න,'' තදානි පවසයි.
නොදන්නා ප්‍රධාන දේ
"මේක හරි ම උද්යෝගිමත් මුල් අවධියේ පවතින අධ්‍යයනයක්," ලන්ඩනයේ සාන්ත ජෝර්ජ් රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක වන මහාචාර්ය අස්මා ඛලීල් පවසයි. මෙම තත්ත්වයට බලපාන ජෛව විද්‍යාත්මක හේතුව ඉලක්ක කර ගනිමින් කරන ප්‍රතිකාරයක් ''බලාපොරොත්තු තැබිය හැකි" එකක් බව ඇය වැඩිදුරටත් පවසයි.
''ගර්භණී සමයේ මූලික සමයේදී දැඩි ප්රීක්ලැම්ප්සියා තත්ත්වය වර්ධනය වන කාන්තාවන්ට, ආරක්ෂිතව අමතර දින කිහිපයක් පවා ලබා ගැනීම දරුවාගේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙන්න පුලුවන්," ඇය පැහැදිලි කරන අතරම මහා පරිමාණයෙන් සිදුකරන අහඹු සායනික පරීක්ෂණ ද අවශ්‍ය බව ද පවසයි.
මෙම ක්‍රියාවලිය සාර්ථක ප්‍රතිකාරයක් බව පිළිගන්නා අතර මෙම සායනික පරීක්ෂණය ඉතා කුඩා මට්ටමකින් සිදු වූවක් බැවින්, රුධිරය පෙරීම මව්වරුන්ට සහ ළදරුවන්ට සැබවින්ම ආරක්ෂිතද යන්න දැනට "හඳුනා නොගත් විශාල දෙයක්" ලෙස පවතින බව Action on Pre-eclampsia පුණ්‍යායතනයේ සභාපති සහ ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි මාතෘ හා කලල සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ඇන්ඩෲ ෂෙනන් පවසයි.
ඔහු පවසන්නේ ප්රීක්ලැම්ප්සියා තත්ත්වය හේතුවෙන් මිය යන කාන්තාවන්ගෙන් බොහෝදෙනෙකු ජීවත් වන්නේ සෞඛ්‍ය පහසුකම් අවම අඩු ආදායම්ලාභී රටවල බවයි. මෙම කාන්තාවන්ට "තාක්ෂණික වශයෙන් දියුණු" වූ රුධිරය පෙරා හැරීමේ තාක්ෂණයෙන් ප්රතිලාභ ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් පෙර පැවැති ප්‍රතිකාර ක්‍රම මගින් බොහෝදෙනෙකුගේ ජීවිත බේරා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
"අපි මූලික දේවල් ටික වඩා හොඳින් සිදු කරනවා නම් හෙට දවසේදී වෙනසක් කිරීමට අවශ්‍ය තාක්ෂණය අප සතුව තිබෙනවා" ඔහු අවධාරණය කරයි.
නමුත් තදානි තර්ක කරන්නේ රුධිරය පෙරා හැරීමට අවශ්‍ය උපකරණ ඩයලයිසිස් යන්ත්‍රවලට බොහෝසෙයින් සමාන වන බැවින් සෞඛ්‍ය පහසුකම් හිඟ සායනවලට මෙම යන්ත්‍ර ප්රීක්ලැම්ප්සියා තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහ සුදුසු පරිදි යළි සකස් කර ගත හැකි බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Maria Patzwald
'ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්'
මෙම ප්‍රතිකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහා පරිමාණ අධ්‍යයනයක් ලබන වසරේ මුල් භාගයේදී සිදු කිරීමට නියමිත බව තදානි පවසන අතර ඉදිරි වසර තුනත් පහත් අතර කාලය තුළ එය සායනවලදී සිදුකිරීමට හැකි වනු ඇතැයි ඔහු සුබවාදී ලෙස අපේක්ෂා කරයි.
"මේ සඳහා සහභාගී වීමට එකඟත්වය පළ කළ නිර්භීත කාන්තාවන් නොසිටින්නට අපි අද මෙහි නැහැ... ඔවුන් තමයි මේ කතාවේ සැබෑ වීරයන්. ඒක ගැන කිසි ම සැකයක් නැහැ," ඔහු පවසයි.
තමන් සහභාගී වූ කුඩා අධ්‍යයනයෙන් මව්වරුන්ට සහ ළදරුවන්ට උපකාර කළ හැකි යැයි සිතීම "මනසට සතුටක්" බව මරියා පවසන අතර ඇය තමන් ලද එම අවස්ථාවට ස්තූතිවන්ත වූවා ය.
"මීට දවස් කිහිපයකට පෙර, මම මව්වරුන්ගේ කණ්ඩායමක් සමග ඒ ගැන කතා කළා, සහභාගී වීමට ධෛර්යය ලබා දීම සහ ළදරුවන්ට සහ මව්වරුන්ට ජීවත්වීමට අවස්ථා වැඩි කිරීමට උපකාර කිරීම ගැන ඔවුන් මට ස්තූති කළා," ඇය පවසයි.
"ඒ වෙලාවෙදි තමයි මටත් තේරුම් ගියේ ඒක මටත් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කියලා."


































