ඉරානයේ අත්හිටුවා ඇති වත්කම්: එම මුදල් ඇත්තේ කොහේ ද? ඒවා මෙතරම් වැදගත් ඇයි?

    • Author, අලි රාමසානියන්
    • Author, සාරා ෆයාද්
    • Role, බීබීසී අරාබි සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඉරානයේ අත්හිටවූ වත්කම් නිදහස් කිරීම ඉරානය සහ බටහිර රටවල් අතර පවත්නා සබඳතාවල වඩාත් විවාදාත්මක හා සංකීර්ණ ප්‍රශ්නවලින් එකක් වී තිබේ.

එය දෙරට අතර යුද්ධය අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජනපදය සමග පසුගිය දා අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අංගයකි.

ටෙහෙරානය දිගු කලක් තිස්සේ විදේශයන්හි තබා ඇති අරමුදල් වෙත ප්‍රවේශ වීමට උත්සහ කර ඇති අතර, සම්බාධක සහ බැංකු සීමා කිරීම් හේතුවෙන් ඒවායින් බොහොමයකට ළඟා වීමට නොහැකි වී තිබිණි.

ඉරාන වත්කම් බොහොමයක් එක්සත් ජනපදයේ තබා නොතිබුණ ද, ඒවාට ප්‍රවේශ වීමට ඉඩ දීම සම්බන්ධව තීරණය කිරීමේදී වොෂින්ටනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

විශේෂඥයන් පවසන්නේ, මෙම මුදලින් කොටසක් පවා නිදහස් කිරීම වසර ගණනාවක සම්බාධක, ආර්ථික හුදෙකලාව, ඉහළ යන උද්ධමනය සහ මුදල් අවප්‍රමාණය වීම මෙන් ම එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග මෑතකදී ඇති වූ ගැටුමෙන් සිදුවූ හානිය නිසා බැට කෑ ආර්ථිකයකට තීරණාත්මක ජීවන මාර්ගයක් සපයනු ඇති බව ය.

කෙසේ වෙතත්, නීතිමය, මූල්‍ය හා දේශපාලනික බාධා සැලකිල්ලට ගෙන ඕනෑ ම ගිවිසුමක් සැබෑ මාරුවීම් බවට පත් කිරීම මන්දගාමී හා සංකීර්ණ වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

සැබවින් ම මෙම අරමුදල් යනු මොනවා ද? ඉරානයට ඒවාට කෙතරම් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ද?

මේ අරමුදල් ඇත්තට ම මොනවා ද, ඉරානයට ඒවාට ප්‍රවේශ වීම කෙතරම් පහසුවෙන් කළ හැකි ද?

වත්කම්වලට ඇතුළත් වන්නේ මොනවා ද?

ඇති වත්කම්වල මුළු වටිනාකම නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් ඇස්තමේන්තු කරන්නේ ඩොලර් බිලියන 27ක සිට ඩොලර් බිලියන 100ක් දක්වා පරාසයක ඒවා පවතින බවට යි.

මෙම වත්කම් පහසුවෙන් ප්‍රවේශ විය හැකි එක් ගිණුමක තබා නොමැත. ඒ වෙනුවට, ඒවා ඉන්ධන විකිණීමෙන් ලැබෙන ආදායම්, තෙල්, ගෑස් සහ විදුලි අපනයනවලින් ලැබෙන ආදායම, විදේශ බැංකුවල ඇති විදේශ විනිමය සංචිත සහ නීතිමය ආරවුල්වලට සම්බන්ධ වත්කම්වලින් සමන්විත වන අතර ඒවායින් සමහරක් දශක ගණනාවක් තිස්සේ පවතින ඒවා ය.

ඉරානය විදේශයන්හි ඉන්ධන විකිණීම සිදු කරන විට, සාමාන්‍යයෙන් ඔවුහු ඒවා මිල දී ගන්නා රටේ ගිණුම්වල තැන්පත් කරති. කෙසේ වෙතත්, සම්බාධක නිසා ටෙහෙරානයට මෙම මුදල් ආපසු ගෙන්වා ගැනීම බොහෝ විට නොහැකි වී තිබේ.

වත්කම් අත්හිටුවීමේ පළමු ප්‍රධාන රැල්ල 1979 දී ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ අර්බුදයෙන් පසුව ආරම්භ විය. පසුව ඇති කරගත් ගිවිසුමක් යටතේ ඇතැම් වත්කම් නිදහස් කරන ලද නමුත් 1979 ඉස්ලාමීය විප්ලවයට පෙර අත්සන් කරන ලද හමුදා ගිවිසුම්වලට අදාළ ඇතැම් හිමිකම් සහ වත්කම් සම්බන්ධ ගැටලු තවමත් විසඳී නොමැත.

එහි දෙවන රැල්ල ආරම්භ වූයේ 2011 සහ 2012දී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දැඩි සම්බාධක හඳුන්වා දී ගෝලීය බැංකු පද්ධතියේ ඇතැම් කොටස්වලට ප්‍රවේශ වීම අවහිර සමග ය. 2018 දී එක්සත් ජනපදය 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් (JCPOA) ඉවත් වීමෙන් පසුව මෙම සීමා තවත් දැඩි විය.

සීමාවන් වැඩි වන විට, ඉරානයේ ආදායමෙන් වැඩි කොටසක් විදේශයන්හි සිරවන්නට විය. ඇතැම් අරමුදල් නිල වශයෙන් අත්හිටුවන ලද අතර අනෙක් ඒවා භාවිත කළ හැක්කේ දැඩි කොන්දේසි යටතේ පමණි.

මැදපෙරදිග ගෝලීය කටයුතු පිළිබඳ කවුන්සිලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ෆ්‍රෙඩ්රික් ෂ්නයිඩර්ට අනුව, විධිමත් ලෙස අවහිර කරන ලද වත්කම්, ආපසු ගෙන්වා ගත නොහැකි ආදායම් සහ අඛණ්ඩ නීතිමය ආරවුල්වලට මැදිවී ඇති මුදල් ඇතුළු "විවිධ ආකාරයේ අත්හිටුවීම්" තිබේ.

අරමුදල් රඳවා ඇත්තේ කොහේ ද?

ඉරානයේ සීමා කරන ලද වත්කම්වලින් බොහොමයක් එක්සත් ජනපදයෙන් පිටත පවතියි.

ඔවුන්ගේ විශාලතම තෙල් පාරිභෝගිකයා වන චීනයේ සැලකිය යුතු කොටසක් ඇති අතර එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 20 සිට ඩොලර් බිලියන 50 දක්වා වේ. අනෙකුත් විශාල මුදල් සංචිත ඉරාකයේ ඇති අතර, ඒවා ඩොලර් බිලියන 10 සිට ඩොලර් බිලියන 15 දක්වා ඇස්තමේන්තුගත ගෑස් සහ විදුලි අපනයන සඳහා ගෙවීම් සමග සම්බන්ධ වේ.

එක්සත් ජනපද කොංග්‍රස් සංඛ්‍යාලේඛනවලට අනුව, දකුණු කොරියාවේ ඉරාන තෙල් ආදායමෙන් ඩොලර් බිලියන 6ක් පමණ ඇති අතර, ඒවා 2023 දී කටාර්හි ගිණුම් වෙත මාරු කෙරිණි.

කෙසේ වෙතත්, පසුව වොෂින්ටනය පැවසුවේ ඉරානයට නුදුරු කාලයකදී මෙම අරමුදල් වෙත ප්‍රවේශ වීමට නොහැකි වනු ඇති බවත් ය. එහි ප්‍රතිඵලයක් ලෙස එම අරමුදල් දෝහාහි රැඳවිණි.

අනෙකුත් අරමුදල් ඉන්දියාව, ජපානය සහ ලක්සම්බර්ග් ඇතුළු රටවල රඳවා තිබේ.

ඊට වෙනස්ව, එක්සත් ජනපද පාලනය යටතේ පවතින ඉරාන වත්කම් ප්‍රමාණය සාපේක්ෂව කුඩා වන අතර එය ඇමෙරිකානු කොංග්‍රසයට අනුව ඩොලර් බිලියන 2ක් පමණ වේ. මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් අධිකරණ තීන්දු සහ වන්දි ඉල්ලීම් සමග සම්බන්ධ වී ඇති බැවින් එය නිදහස් කිරීම විශේෂයෙන් දුෂ්කර හා සංවේදී වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කාර්යභාරය කුමක් ද?

අරමුදල් බොහෝ දුරට එක්සත් ජනපදයෙන් පිටත රඳවා තිබුණ ද, ඒවා කෙරෙහි වොෂින්ටනයේ බලපෑම බොහෝ දුරට පැන නගින්නේ ඊනියා ද්විතීයික සම්බාධක මගිනි.

මෙම පියවර ඉරානය පමණක් නොව ඔවුන් සමග ව්‍යාපාර කරන විදේශීය බැංකු, සමාගම් සහ රජයන් ද ඉලක්ක කරයි.

ඉරාන අරමුදල් මාරු කිරීමට උදව් කරන ඕනෑ ම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් එක්සත් ජනපද මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ හෝ සම්බාධක සහ වෙනත් දඬුවම්වලට මුහුණ දීමේ අවදානමක පසුවේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉරාන මුදල් ඇති රටවල් බොහෝ විට පැහැදිලි එක්සත් ජනපද අනුමැතියකින් තොරව අරමුදල් නිදහස් කිරීමට හෝ මාරු කිරීමට මැළිකමක් දක්වති.

ගිවිසුමකින් ඉරානයට ලබා ගත හැක්කේ කුමක් ද?

මෙම ලියවිල්ල මගින් ප්‍රධාන ආර්ථික සහන වර්ග දෙකක් දක්වා ඇත:

  • ඉරානයට තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කිරීමට මෙන් ම නැව්ගත කිරීම, රක්ෂණය සහ බැංකුකරණය වැනි අදාළ සේවාවන් අපනයනය කිරීමට ඉඩ සලසන අත්හැරීම්
  • අත්හිටුවන ලද හෝ සීමා කරන ලද අරමුදල් වෙත ප්‍රවේශය, මුදල් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ඉරානයේ මහ බැංකුවට වැඩි පාලනයක් ලබා දීම

කලාපීය හවුල්කරුවන් සමග සහයෝගයෙන් ඉරානයේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සහ සංවර්ධනය කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 300ක් වටිනා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ද එය යෝජනා කරයි. අවසාන ගිවිසුමේ කොටසක් ලෙස එකඟ විය යුතු යාන්ත්‍රණයක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ලියවිල්ලේ සඳහන් වේ.

එක්සත් ජනපදය අවධාරණය කර ඇත්තේ තමන් ඉරානයට ඍජුව ම මුදල් නොගෙවන බව යි. (ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ එය 2015 ඉරානය සහ ඔබාමා පරිපාලනය අතර ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමට හාත්පසින් ම වෙනස් බවයි), ඒ වෙනුවට යටිතල පහසුකම්, බලශක්තිය, ප්‍රවාහනය සහ අනෙකුත් අංශවල ආයෝජන කෙරෙහි අවධානය යොමු කරයි.

අරමුදල් ඉරානයට ලැබෙයි ද?

ප්‍රායෝගිකව, මෙම අරමුදල් සඳහා ප්‍රවේශය සීමා සහිත විය හැකි බව එක්සත් රාජධානිය පදනම් කරගත් බුද්ධි මණ්ඩපයක් වන Bourse & Bazaar පදනමේ නිර්මාතෘ එස්ෆාන්දියාර් බත්මන්ගෙලිජ් පවසයි.

එවැනි විධිවිධාන "ඉතා සංකීර්ණ බාධකවලට" මුහුණ දෙන බව ඔහු බීබීසීයට පැවසුවේ ය. එයින් අදහස් කරන්නේ ඉරානයට නිශ්චිත රටක් තුළ අරමුදල් වියදම් කිරීමට හැකි විය හැකි නමුත්, ඒවා ජාත්‍යන්තර වශයෙන් මාරු කරගැනීම අපහසු බවයි.

ෂ්නයිඩර් ගැඹුරු ගැටලුවක් ඉස්මතු කරයි: එනම් ඕනෑ ම ගිවිසුමක් කෙතරම් කල් පවතින එකක් ද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව යි.

ඇතැම් ඇමෙරිකානු සම්බාධක කොංග්‍රසය විසින් නීතිගත කරනු ලබන බව ඔහු පවසයි. එනම්, ජනාධිපතිවරයෙකුට ඒවා ඒකපාර්ශ්විකව සම්පූර්ණයෙන් ම ඉවත් කළ නොහැකි අතර තාවකාලික නිදහස් කිරීම් පමණක් කළ හැකි ය.

එවැනි සහනයක් කොපමණ කාලයක් පවතිනු ඇතැයි ද යන්න පිළිබඳව සැකයක් ඇති බව ෂ්නයිඩර් තවදුරටත් පවසයි.

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් පසුව ද එවැනි ම රටාවක් අනුගමනය කළ අතර, ඉරානයට ඇතැම් අරමුදල් නැවත ලබා ගැනීමට හැකි විය.

කෙසේ වෙතත්, බොහෝ බැංකු ප්‍රවේශම්සහගතව සිටි අතර, 2018දී එක්සත් ජනපදය සම්බාධක ඉවත් කර නැවත පැනවීය.

පසුගිය සතියේ ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජනපදය ඩොලර් බිලියන 12ක අත්හිටවූ වත්කම් නිදහස් කිරීමට එකඟ වූ බව යි. නමුත් වොෂින්ටනය මෙය තහවුරු කර නොමැත.

යුද්ධය සම්බන්ධ හානි සඳහා ගල්ෆ් රාජ්‍යයන්ට වන්දි ගෙවීමට එක්සත් ජනපදය ඉරානයේ වත්කම්වලින් කොටසක් භාවිත කිරීමට ඉඩ තිබේ ද යන්න පිළිබඳව ද අවිනිශ්චිතතාවක් පවතී.

ජූනි මස මුලදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් Xහි සඳහන් කළේ, එවැනි පාඩු "ඉරාන ගිණුම්වලින් ලබාගත් අරමුදල්වලින් ගෙවනු ලබන" බව යි.

කෙසේ වෙතත්, ඉරානය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ප්‍රකාශ කළේ එහි වත්කම් "වොෂින්ටනයට යුද කොල්ලයක් නොවන බවත්, එහි මිත්‍ර පාක්ෂිකයින්ට ගෙවීමට අරමුදලක් නොවන බවත්," ය.

මෙයින් ඉරාන ආර්ථිකයට ලබා දෙන ඇඟවුම කුමක් ද?

ලෝක බැංකුවට අනුව 2024දී ඉරාන ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 475ක් පමණ විය.

ඉරාන නිලධාරීන් විසින් යුද්ධයට අදාළ ආර්ථික පාඩු ඩොලර් බිලියන 300ක් දක්වා ඇස්තමේන්තු කරනු ලැබ ඇති අතර, ඒ අනුව මෙම

වසරේ ආර්ථිකය 10%කින් පමණ හැකිලීමේ හැකියාවක් ඇත.

අරමුදල්වලින් කොටසක් හෝ නිදහස් කළහොත්, එය කෙටි කාලීන සහනයක් විය හැකි ය.

ඉරාන වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙකු බීබීසීයට පැවසුවේ රටේ විදේශ මුදල් හිඟය "බොහෝ ඇණවුම් නතර කර හෝ දිගු ප්‍රමාදයන්ට මුහුණ දී ඇති අතර, ආනයන මූලික භාණ්ඩ හා ආහාර සඳහා පමණක් සීමා වී ඇති" බව යි.

විශේෂඥයින් පවසන්නේ ඩොලර් බිලියන ගණනක විදේශ මුදල් ලබා ගැනීම ඉරාන මුදල් ඒකකය වන රියාල් ස්ථාවර කිරීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයන සඳහා ගෙවීමට සහ රටේ මූල්‍ය වෙළෙඳපොළවල් මත පීඩනය අඩු කිරීමට උපකාරී වන බව යි.

නමුත් මෙය ගැඹුරු ව්‍යුහාත්මක ගැටලු නොවිසඳන බවට ඔවුහු අනතුරු අඟවති.

ටෙහෙරානයේ ඉමාම් සාදික් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කම්රාන් නෙද්‍රි තර්ක කරන්නේ "ඕනෑ ම ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පෙර උද්ධමනය පාලනය කිරීම සහ ජීවන වියදම් අර්බුදයට මුහුණ දීමට ප්‍රමුඛත්වය දිය යුතු," බව යි.

ප්‍රතිසංස්කරණ සිදු නොකර ආර්ථිකයට වැඩිපුර මුදල් ගලා යාමට සැලැස්වීමෙන් එම අරමුදල්වල දිගුකාලීන ප්‍රතිලාභ අඩු විය හැකි බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත්, පැරිස් 13 විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මෙහර්දාද් වහාබි පවසන්නේ ඉරානයේ අභියෝගය වඩාත් පුළුල් බව ය. පසුගිය දශක දෙක තුළ "ආයෝජන හා කාර්මික යල්පැන යාමේ තියුණු පහත වැටීම" ආපසු හැරවීම අපහසු බව ඔහු පවසයි.

"ආර්ථික ආරක්ෂාව නොමැතිව ආයෝජනය කරන්න බෑ. සැබෑ ආයෝජකයින් නොමැතිව ඉරානයේ ආර්ථිකය සමෘද්ධිමත් වෙන්නේ නෑ, එයින් ආර්ථික සංවර්ධනය ඇණහිටින්න පුළුවන්," ඔහු තර්ක කරයි.

ජර්මනියේ ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු වන රේසා තලේබි ද මෙයට එකඟ වේ.

දේශපාලනික සහ ආරක්ෂක අවදානම්වලින් තම මුදල් ආරක්ෂා වන බවට ආයෝජකයින්ට විශ්වාසයක් ලබා දීම සඳහා ඉරානය ආතතීන් ලිහිල් කළ යුතු බව ඔහු පවසයි.

"යුද්ධය සහ සාමය අතර ඇති අවිනිශ්චිත තත්ත්වය ප්‍රාග්ධනය ආර්ථිකයට ඇතුළු වීමට ඇති ලොකු ම බාධාව," ඔහු තවදුරටත් පවසයි.