ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු 6ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Author, ස්වාති ජෝෂි
- Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම, නවදිල්ලිය
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව මේ වන විට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් එළිදක්වනු ලැබ තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ පළමු සංගණනය වීම විශේෂත්වයකි.
2024 ඔක්තෝබර් ආරම්භ කළ දත්ත රැස් කිරීම 2025 පෙබරවාරි දක්වා සිදු කර ඇති අතර, මෙම නව සංගණන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය නව නැඹුරුතාවන් පිළිබඳ නව මානයන් රැසක් පෙන්වා දෙයි.
මේ එම වාර්තාවේ පෙන්වා දෙන සුවිශේෂී කාරුණු කිහිපයක් පිළිබඳ බීබීසී සිංහල සහ බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම සිදු කළ විමසා බැලීමකි.
01. ශ්‍රම බළකායේ කාන්තා-පිරිමි පරතරය
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් වැඩ කරන වයසේ ජනගහනය එනම් වයස අවුරුදු 15ට වැඩි ජනගහනය මිලියන 17.2ක් වන අතර, ඔවුන්ගෙන් 52.3%ක් කාන්තාවෝ වෙති.
ඉහත ජනගහනයෙන් ශ්‍රම බළකායට දායක වී ඇත්තේ, මිලියන 8.1ක් පමණක් වන අතර, එයින් කාන්තාවන් සිටින්නේ මිලියන 2.6ක් පමණක් වීම කැපී පෙනෙන කරුණකි.
ආර්ථික වශයෙන් අක්‍රීය මිලියන 9න් 70.6%ක් කාන්තාවන් ය. එය සංඛ්‍යාත්මකව මිලියන 6.4ක් පමණ වේ.
කාන්තා ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතය (FLFPR) 28.9%ක් පමණි.
පිරිමින්ගේ මෙම සහභාගීත්ව අනුපාතය 67.4%ක් වන අතර එය කාන්තා අනුපාතයට වඩා දෙගුණයකටත් වඩා වැඩි ය.
ශ්‍රම බළකා සහභාගීත්වයේ ස්ත්‍රී පුරුෂ පරතරයේ ප්‍රතිශතය 38.5%කි.
ඕනෑ ම වයස් කාණ්ඩයක් තුළ කාන්තා සහභාගීත්වයේ උපරිමය 42.4% ඉක්මවා නොගොස් ඇති අතර, පිරිමින්ගේ වයස අවුරුදු 25 සිට 59 දක්වා ශ්‍රම බළකායේ සහභාගීත්වය 80%ට වඩා වැඩි ය.
02. කාන්තාවන් රැකියා නොකරන්නේ ඇයි?
ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි ජනගහනයෙන් වැඩි පිරිසක් තම අනාගතය, එසේත් නැතිනම් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට ශ්‍රම බළකායෙන් ඉවත්ව සිටිති.
ආර්ථිකය රඳා පවතින නමුත් වැටුප් නොලබන ශ්‍රමයක් වන ගෘහ කටයුතු සහ රැකවරණ කටයුතු නිසා බොහෝ කාන්තාවන් රැකියා කිරීමෙන් ඉවත්ව සිටින බව වාර්තාව පෙන්වා දෙයි.
ආර්ථික වශයෙන් අක්‍රිය කාන්තාවන්ගෙන් 51%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයට ගණන් නොගන්නා පූර්ණ කාලීන නිවසේ වගකීම් සහ ළමා හා වැඩිහිටි රැකවරණ කටයුතුවල නිරත වෙති.
03. රැකියාවල ස්ත්‍රී-පුරුෂ පරතරය
රැකියාවල නියුතු කාන්තාවන් වැඩි පිරිසක් රජයේ රැකියාවල නිරත වන අතර, ආර්ථික වශයෙන් ක්‍රියාකාරී, රජයේ රැකියා කරන කාන්තාවන් සංඛ්‍යාව 22.6%ක් වන විට එහි පිරිමි ප්‍රතිශතය 11.8%කි.
පෞද්ගලික අංශයේ රැකියාවල ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය ම සමාන ප්‍රතිශතයක් නියෝජනය කරති.
ව්‍යවසායක සහ ස්වාධීන රැකියාවල කාන්තා නියෝජනයේ සැලකිය යුතු අඩුවක් මෙම වාර්තාව නිරීක්ෂණය කර තිබේ.
ඔවුන් පිරිමින්ට වඩා සේවා යෝජකයින් හෝ ව්‍යාපාර හිමිකරුවන් වීමට ඇති ඉඩකඩ අඩු බව මෙහි පෙන්වා දෙයි.
වාර්තාවේ පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ, රැකියා කරන කාන්තාවන් රැකියා කරන පිරිමින්ට වඩා සැලකිය යුතු ලෙස හොඳින් අධ්‍යාපනක් ලබා ඇති බව ය. වැඩ කරන කාන්තාවන්ගෙන් 43.7%කට ආසන්න ප්‍රමාණයකට උසස් පෙළ හෝ ඊට වැඩි සුදුසුකම් ඇති අතර, පිරිමින්ගෙන් එම සුදුසුකම් ඇත්තේ 24.6%කට පමණි.
ශ්‍රම බළකායේ කාන්තාවන් බොහෝවිට ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතා ඇති අය වුව ද, ඔවුන් තවමත් නායකත්ව තනතුරු කරා ළඟා වීමට හෝ ව්‍යාපාර හිමිකරුවන් වීමට ඇති ඉඩකඩ අඩු බව මෙම වාර්තාවේ දත්තවලින් පෙනී යන්නකි.
04. විවාහ වීමේ වයස් සීමාව ඉහළට
කාන්තාවන් විවාහ වන සාමාන්‍ය වයස කාලයත් සමග බොහෝ සෙයින් වැඩි වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
1950 දශකයේ මුලදී බොහෝ කාන්තාවන් ඔවුන්ගේ වයස 20 ගණන්වල මුල් භාගයේදී විවාහ වූ නමුත් දැන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ 20 ගණන්වල අගභාගයේදී හෝ 30 ගණන්වලදී විවාහ වෙති.
වයස අවුරුදු 20-24 අතර තරුණ කාන්තාවන් අතර විවාහ අනුපාත අඩු වී ඇති අතර, 30 ගණන්වල කාන්තාවන් අතර එය ඉහළ මට්ටමක පවතී හෝ ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව වාර්තාව පවසයි.
මෙයින් පෙනී යන්නේ විවාහය පෙරට වඩා පසුකාලීනව සිදුවන බව යි.
05. කාන්තාවකට තම ජීවිත කාලය තුළ ලැබීමට අපේක්ෂිත දරුවන් සංඛ්‍යාවේ අඩුවක්
උපත් අඩු වීම සහ විවාහ ප්‍රමාදය අඛණ්ඩව සිදුවීම හේතුවෙන් මුළු සාඵල්‍යතා අනුපාතය 1.3ක් දක්වා පහත වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
එමෙන් ම වයසින් අඩු තරුණ කාන්තාවන් අතර දරුවන් ලැබීම අඩු මට්ටමක පවතින අතර, 20 ගණන්වල අගභාගයේ කාන්තාවන් වැඩි පිරිසක් දරුඵල ලබන බව මෙහි සඳහන් වේ.
කුඩා පවුල් දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව වාර්තාවේ දත්ත පෙන්වා දෙන අතර, බොහෝ කාන්තාවන්ට දරුවන් දෙදෙනෙක් හෝ එක් දරුවෙක් සිටිති.
06. අභ්‍යන්තර සංක්‍රමණය සහ විදෙස්ගත වීම
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 13%ක් පමණ ජනතාව දැනට ජීවත් වන්නේ ඔවුන් උපන් ස්ථානයට වඩා වෙනස් දිස්ත්‍රික්කයක ය.
මිනිසුන් වැඩි වශයෙන් බස්නාහිර පළාතට, විශේෂයෙන් ගම්පහට සංක්‍රමණය වන බව වාර්තාව පෙන්වා දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයට ඉහළ ම ධනාත්මක සංක්‍රමණ අනුපාතයක් ඇති අතර එයින් අදහස් වන්නේ පිටව යන අයට වඩා බොහෝ පිරිසක් එම දිස්ත්‍රික්කයේ පදිංචියට පැමිණෙන බව යි.
මේ අතර, නුවරඑළිය, යාපනය, මාතර, ගාල්ල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවලින් බොහෝ දෙනෙක් සංක්‍රමණය වෙමින් සිටිති.
ශ්‍රී ලාංකිකයන් මිලියන 0.7ක් පමණ කෙටි කාලයක් සඳහා විදේශයන්හි ජීවත් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එනම් 86%ක් රැකියා සඳහා එලෙස සංක්‍රමණය වන බව වාර්තාව පෙන්වා දෙයි.
එලෙස "තාවකාලිකව විදේශගත" අය ලෙස ගණන් ගනු ලබන්නේ තවදුරටත් ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සහිත මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටින අය හා මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටීමේ බලාපොරොත්තුවෙන් විදේශගතව සිටින අය වේ.
බොහෝ පිරිමින් රැකියා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ කටාර් රාජ්‍යයට යන අතර, බොහෝ කාන්තාවන් රැකියා සඳහා කුවේට් සහ සෞදි අරාබියට යන බව වාර්තාවේ දත්ත පෙන්වා දෙයි.
කෙසේ නමුත් අධ්‍යාපනය ලැබීම සඳහා සංක්‍රමණය වැඩි වශයෙන් සිදු වන්නේ, ඔස්ට්‍රේලියාවට (24.1%) සහ ජපානයට (21.3%) ය.


































