පාසල් ආපන ශාලාවල අලෙවි කිරීමට අවසර ඇති ආහාර ලැයිස්තුව මෙන්න

Published
කියවීමේ කාලය: මිනිත්තු 8

මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය එක්ව පාසල් ආපන ශාලා සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

"සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශය" නමින් 2026 වසරේ ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

දරුවන්ට පාසල් ආපන ශාලා තුළින් සපයන ආහාර පෝෂ්‍යදායී, සෞඛ්‍යාරක්ෂිත සහ දැරිය හැකි මිලකට ලබා දීම සඳහා සිසු හිතකාමී ආපන ශාලා ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇතැයි බලධාරීහු පවසති.

අනාගතය ඉලක්ක කරන වැඩපිළිවෙළ

පසුගිය කාලයේ ආහාර සම්බන්ධයෙන් විවිධ රෙගුලාසි හඳුන්වා දීමත් සමග පාසල්වල විවිධ ව්‍යාපෘති සඳහා අනුග්‍රහකත්වය ලබා දුන් සමාගම් කිහිපයක් එම අනුග්‍රහය අඩු කළ බවට පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

එවැනි තත්ත්වයකදී පාසල් ව්‍යාපෘති සඳහා මුදල් සපයා ගැනීම සඳහා හානිකර ආහාර ලබා දෙනවා ද?, නැතිනම් අනාගතයේ රටට දායක වන දරුවන්ගේ පෝෂණය පිළිබඳ වැඩි අවධානය යොමු කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම වැඩපිළිවෙළ 2070 සහ 2080 වැනි අනාගත කාලය තුළ මෙරට වයස්ගත ජනගහනය බවට පත්වන දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය. තව ද, බෝ නොවන රෝග වැළැක්වීම සඳහා කාර්යසාධන බළකායක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

පෝෂණය රෝග නිවාරණයේ ප්‍රධාන අංගයක් වන බැවින් ඊට සම්බන්ධ ගැටලු කෙටි කාලීනව විසඳිය නොහැකි බවත්, ජනතා ආකල්ප වෙනස් කිරීම සඳහා දිගුකාලීන මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේ ය.

සමීක්ෂණවලින් හෙළි වී ඇති ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍ය දත්ත

2025 වසරේ ජාතික පෝෂණ මාසයට සමගාමීව නිකුත් කළ දත්ත අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර මිටිබව 10.1%ක්, කෘෂබව 8.6%ක්, අඩු බර 16.1%ක් සහ අධි බර/තරබාරුකම 0.57%ක් ලෙස වාර්තා වී ඇත.

2024 වසරේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයට (Global School-based Student Health Survey) අනුව, අවුරුදු 13–17 අතර සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන නිතර පරිභෝජනය කරන බව අනාවරණය වී ඇත.

එම දත්ත අනුව සිසුන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත බීම පානය කරන අතර 28%ක් දිනපතා සීනි සහිත පානයන් පරිභෝජනය කරති. තව ද, වයස අවුරුදු 13-17 අතර පාසල් සිසුන්ගෙන් 28.5%ක් ලුණු අධික කෙටි ආහාර සහ 29.3%ක් මේදය අධික ආහාර දිනපතා පරිභෝජනය කරන අතර 40.9%ක් අධික සීනි සහිත ආහාර භාවිත කරති.

සිසුන්ගෙන් 70.4%ක් අවම වශයෙන් සතියකට එක් වරක්වත් ක්ෂණික ආහාර ලබාගෙන ඇති බව එම සමීක්ෂණයෙන් කරුණු අනාවරණය වී ඇත.

සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපන ශාලාවක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැවගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් ද සඳහන් කර ඇත. ආහාර සකස් කිරීම, ගබඩා කිරීම, සනීපාරක්ෂාව සහ අලෙවිය සම්බන්ධයෙන් වූ කරුණු ගණනාවක් මූලික මාර්ගෝපදේශයට ඇතුළත් වේ.

"සෞඛ්‍යාරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාරපාන ලබා නොගැනීම නිසා අධ්‍යාපන කටයුතු අඩාළ වන අතර කෘෂබව, මිටි බව, අධිබර හා ස්ථුලතාව හා ක්ෂුද්‍ර පෝෂක ඌණතාව වැනි පෝෂණ ගැටලුවලට ගොදුරු වීම ද ඒ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සහ දන්ත ආබාධ වැනි වෙනත් ආබාධ වැළඳීමේ අවදානම ද වැඩි වී ඇත. එබැවින් නිවැරදි ආහාර පුරුදු ගොඩනැගීම සඳහා අත්දැකීම්, පාසල් පරිසරය තුළදී ම ලබා දීම ඉතා වැදගත් වේ," යනුවෙන් එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.

පාසල් සිසුන් සඳහා පෝෂණීය මෙන් ම පිරිසිදු ආහාර ලබා දීම, නිවැරදි ආහාර පුරුදු හා චර්යා රටා පාසල් සිසුන් තුළ ප්‍රර්වධනය කිරීම, නිසි පෝෂණ තත්ත්ව සහිත පාසල් සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ නැංවීම, පාසල් සිසුන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු කිරීම සහ නිවැරදි ආහාර පුරුදු හා රටා පිළිබඳව පණිවුඩ පාසල් ප්‍රජාව තුළින් සමාජගත කිරීම සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම තුළින් අපේක්ෂිත ප්‍රතිලාභ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් ආහාර කමිටුවේ නියෝජනය

මෙම චක්‍රලේඛයේ පාසල් ආහාර කමිටුවේ සංයුතිය දක්වා ඇති අතර විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති කමිටු ප්‍රධානී ලෙස නම් කර ඇත.

පාසල් ආපන ශාලාව නිසි ප්‍රමිතියකින් යුක්තව පවත්වාගෙන යාම පිළිබඳ මූලික වගකීම විදුහල්පති සතු වන අතර ගුරුවරුන්, පාසල් ආහාර කමිටුව, පාසල් සංවර්ධන සමිතිය, පාසල් සිසුන්, පාසල් ප්‍රජාව සහ අධ්‍යාපන බලධාරීන් ද මේ සඳහා වගකීමට යටත් බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

ඊට අමතරව පාසල් පෝෂණ වැඩසටහන් භාර ගුරුවරයා (පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සඳහා), පාසල් සෞඛ්‍ය ප්‍රර්වධන කටයුතු භාර ගුරුවරයා, වෙනත් ගුරුවරයෙකු, පාසල අයත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පාසල් සෞඛ්‍ය ශිෂ්‍ය සමාජයේ සාමාජිකයෙකු, පරිසර භට කණ්ඩායමේ සාමාජිකයෙකු, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයෙකු, ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකාව හෝ වෙනත් ශිෂ්‍ය නායක/නායිකාවන් සහ පාසල් පාරිභෝගික කවයක සාමාජිකයෙකු මෙම කමිටුවේ සෙසු නියෝජිතයෝ වෙති.

පාසල් තුළ ප්‍රවර්ධනය කළ යුතු ආහාර සහ පාන වර්ග මොනවා ද?

පාසල් ආපන ශාලාවල ප්‍රධාන ආහාර, කෙටි ආහාර සහ පාන වර්ග ලෙස ප්‍රවර්ධනය කළ යුතු ආහාර ලැයිස්තුවක් මෙම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

ඒ අනුව බත් වර්ග, කිරිබත්, පොංගල් බත්, පිට්ටු, ඉඳිආප්ප, ආප්ප සහ බිත්තර ආප්ප, කොස් කොත්තු සහ ඉඳිආප්ප කොත්තු, රොටී වර්ග (පෝෂණ රොටි/කුරක්කන් රොටි), තෝසේ (මුං තෝසේ, මසාලා තෝසේ), ඉට්ලි, එළවළු උත්තාපම්, උප්පුමා, හාල්පිටි/කුරක්කන්/පාන් පිටි නූඩ්ල්ස්, තම්බාගත් අල වර්ග (ගාගත් පොල් සහ ලුණු මිරිස් හෝ උම්බලකඩ සම්බෝල සමග), පරිප්පු, කඩල, කව්පි, සෝයා බෝංචි, මුං ඇට වැනි පියලි ඇට තම්බා හෝ ව්‍යංජන ලෙස සකස් කර ගත් ආහාර සහ තෙම්පරාදු කළ ඇට වර්ග ප්‍රධාන ආහාර ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව සඳහන් වේ.

තව ද, බිත්තර, ටූනා හෝ එළවළු සලාද සහ සැන්ඩ්විච්, එළවළු/මස්/මාළු/බිත්තර ව්‍රැප්ස්, එළවළු සලාද, පලා මැල්ලුම්, එළවළු ව්‍යංජන, මාළු සහ මස් ව්‍යංජන, අච්චාරු සහ මෝජු වර්ග ද ප්‍රධාන ආහාර ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව දක්වා ඇත.

කෙටි ආහාර ලෙස පළතුරු, පළතුරු කෙබාබ්, සීනි සහ ලුණු නොයෙදූ කැපූ මිශ්‍ර පළතුරු කප්, අමු හෝ තම්බා කැබලි කළ එළවළු, පොප්කෝර්න් (සීනි, ලුණු, වර්ණකාරක හෝ රසකාරක නොයෙදූ), කඩල කප්, කජු සහ රටකජු වැනි බීජ සහ ඇට වර්ග, මුහුන් යොදා මුදවාගත් කිරි, සීනි අඩුවෙන් යෙදූ වණ්ඩු ආප්ප සහ කිතුල් පිටි තලප ප්‍රවර්ධනය කළ යුතු බව සඳහන් වේ.

පාන වර්ග ලෙස ජලය, නැවුම් දියර කිරි, කැඳ වර්ග (හාල්, කුරක්කන්, මිශ්‍ර ධාන්‍ය, පොල් කිරි, කොළ කැඳ, මුං ඇට කිරි කැඳ, කිතුල් පිටි කැඳ), සුප් (රසකාරක නොයෙදූ), අඩු සීනි සහිත තේ සහ කෝපි, ඖෂධීය පානයන් (ඉරමුසු, රණවරා, බෙලි මල්, කොත්තමල්ලි), තැඹිලි, කුරුම්බා, පොල් වතුර සහ සීනි/ලුණු අඩුවෙන් යෙදූ ස්වභාවික පළතුරු යුෂ අලෙවි කළ හැකි බව අමාත්‍යංශය සඳහන් කරයි.

පාසල් ආපන ශාලාවල සහ පාසල් පරිශ්‍රයේ අලෙවි කිරීම තහනම් ආහාර මොනවා ද?

මෙම චක්‍රලේඛය මගින් පාසල් ආපනශාලාවල සහ පාසල් පරිශ්‍ර තුළ අලෙවිය තහනම් කර ඇති ආහාර ලැයිස්තුවක් ද සඳහන් කර ඇත.

ඒ අනුව සැකසූ මස් සහ මාළු වර්ග (සොසේජස්, මීට් බෝල්ස්, බේකන්, හැම්), එවැනි මස් යොදා සකස් කරන ලද ආහාර (බර්ගර්, හොට්ඩොග්, සබ්මැරීන්, පීට්සා), සීනි සහිත බනිස්, පේස්ට්‍රි, ගැඹුරු තෙලේ බැදගත් ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ චිලී පේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර සහ ක්ෂණික සුප්, තක්කාලි සහ සෝයා වැනි සෝස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස් සහ පැකට්/ටින් කළ අච්චාරු තහනම් කර ඇත.

එමෙන් ම, චුවින්ගම්, ටොෆි, ලොලිපොප්, ලොසින්ජර්, කිසස්, ජුජුබ්ස්, බොම්බේ මොටයි, බුල්ටෝ වැනි සීනි අධික ආහාර, අයිස් පැකට්, ජෙලි වර්ග, බූන්දි, මස්කට්, දොදොල්, බයිට්ස්, මුරුක්කු වැනි කෙටි ආහාර, චොකලට්, ඩෝනට්, ඉක්ලෙයාර්ස්, බිස්කට්, කේක් සහ අධික සීනි සහිත පුඩින් වර්ග ද තහනම් වේ.

තව ද, අයිස්ක්‍රීම් සහ අධිශීත කළ අතුරුපස, කාබනීකෘත බීම, අධික සීනි සහිත බීම, කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක යෙදූ බීම, රසකාරක සහ වර්ණකාරක යෙදූ කිරි සහ යෝගට් පාන, ශක්තිජනක පාන, රස කළ පළතුරු බීම, නෙක්ටාර්, කෝඩියල් සහ ක්ෂණික තේ හා කෝපි වර්ග ද තහනම් කර ඇත.

පිටු 100කට වැඩි මෙම පාසල් ආපන ශාලා මාර්ගෝපදේශය තුළ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර නිසි පරිදි සකස් කරන ආකාරය පිළිබඳ විස්තර ද ඇතුළත් කර තිබේ.

'යම් කාලයක් යනවා, හැබැයි අපි එය නිරීක්ෂණය කරනවා'

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධ නව චක්‍රලේඛය මෙම වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කළ ද, ඒ සඳහා අදාළ මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත්තේ දින කිහිපයකට පෙර බව ය.

එමෙන් ම, මෙම වැඩපිළිවෙළ පාසල් ආපන ශාලාවල ක්‍රියාත්මක වන්නේ ද? යන්න අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව නියාමනය හා නිරීක්ෂණය කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා පාසල් ආපන ශාලා හිමියන්ට යම් කාලයක් ලබා දිය යුතු බව ද ඔහු පැවසීය.

"කැන්ටීන්වල කන්ට්‍රැක්ට්වලට ඕවා ඇතුළු වෙන්න ඕනේ. දැනට තියෙන කන්ට්‍රැක්ට්වලට ඕවා නෑනේ. අපි දෙන උපදෙස තමයි ඉස්සරහට ගිවිසුමට ඇතුළත් කරන්න කියන එක. එතකොට අපිට මැදිහත් වෙන්න පුළුවන් ගිවිසුමේ ඒ දේවල් තියෙනකොට. අපි ඕක පසුව දාන කොන්දේසියක් නේ, මගේ පෞද්ගලික අත්දැකීමට අනුව යම් කාලයක් යනවා වැඩපිළිවෙළ හැදෙන්න. හැබැයි අපි ඕක මොනිටර් කරනවා," අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.