කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ බහුතර කොටස් මිල දී ගත් Mazagon Dock ඉන්දීය සමාගම වැඩ අරඹයි

මසගාන් ඩොක් නෞකා ඉදිකිරීමේ සමාගම ඉන්දීය රජයට අයත් සමාගමක් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ නෞකා ඉදිකිරීමේ සමාගමක් වන කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ බහුතර කොටස් (51%) හිමිකාරීත්වය Mazagon Dock සමාගම විසින් මිල දී ගැනීමත් සමග සම්පූර්ණ වූ ගනුදෙනුව හේතුවෙන් එහි සභාපතිත්වය ඉන්දීය සමාගමට හිමි වී තිබේ.

ඒ අනුව, කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය නම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි බහුතරය ඉන්දීය ජාතිකයෝ වෙති.

ANI පුවත් සේවය පළ කර තිබූ අදාළ නිවේදනයට අනුව කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ය.

  • සභාපති (විධායක නොවන) - කැප්ටන් (විශ්‍රාමික) ජග්මෝහන්
  • අධ්‍යක්ෂ (නැව් තැනීම්) - බිජූ ජෝර්ජ්
  • කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී - තිමිර එස්. ගොඩකුඹුර
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ - සන්ෂයින් හෝල්ඩිංස් ලිමිටඩ් (Mazagon Dock සමාගමේ නියෝජනය) - විෂ් ගෝවින්දසාමි

මෙම අධ්‍යක්ෂ මණ්ඩලය අප්‍රේල් 07 වන දා සිට බලාත්මක බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

MDL Press release

ඡායාරූප මූලාශ්‍රය, X/ANI

2025 වසරේදී අනාවරණය කළ ගනුදෙනුව

ඉන්දියානු රජයට අයත් Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම විසින් මෙරට නෞකා ඉදිකිරීම් සමාගමක් වන කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ බහුතර කොටස් මිල දී ගනු ලැබීමට එකඟ වී ඇති බව අප කළ විමසුමකදී 2025 වසරේ ජූලි මාසයේදී කොළඹ කොටස් හුවමාරුව තහවුරු කළේ ය.

කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ කොටස්වලින් 51%ක කොටස් මෙම ඉන්දීය සමාගම විසින් මිල දී ගැනීමට නියමිතව සිටි අතර එතැන් සිට මාස 06ක කාලයක් තුළදී අදාළ ගනුදෙනුව සම්පූර්ණ වනු ඇතැයි එහිදී අනාවරණය කෙරිණි.

එහි සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96කි.

මේ වන විට කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ 51%ක කොටස් හිමි ජපානයේ සීමාසහිත ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම විසින් මෙලෙස තමන්ට අයත් 51%ක කොටස් ඉන්දියානු රජයට අයත් Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම වෙත විකිණීමට නියමිතව සිටි බව සඳහන් විය.

Colombo Harbour

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන කොටස් හිමියන් කවුද?

2024 වසරට අදාළව කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවට අනුව එහි 51%ක කොටස් අයිතිය හිමිව තිබුණේ, ජපානයේ සීමාසහිත ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට ය.

මීට අමතරව, සේවක අර්ථ සාධක අරමුදලට 16.34%ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - සාමාන්‍ය රක්ෂණ අරමුදලට 5%ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - ජීවිත රක්ෂණ අරමුදල ට4.92%ක්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 3.04%, සේවක භාරකාර අරමුදල් මණ්ඩලයට 2.42%, ලංකා බැංකුවට 1.11% ලෙස කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන කොටස්වල හිමිකාරිත්වය පැවරී ඇත.

කේරලයේදී විවෘත කරන ලද විලින්ජම් ජාත්‍යන්තර ජල බහුකාර්ය වරාය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කලම්බු ඩොක්යාර්ඩ්හි වැඩි ම කොටස් හිමිකාර සමාගම කුමක් ද?

කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ වැඩි ම කොටස් හිමිකරුවා බවට පත්වීමට සූදානම් වන Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම ඉන්දීය රජයට අයත් සමාගමකි.

එය 1934 දී පෞද්ගලික සීමිත සමාගමක් ලෙස සංස්ථාගත කර තිබෙන අතර, 1960 දී ඉන්දීය රජය Mazagon Dock ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය ලබාගෙන ඇත.

ඉන්දීය රජය එහි හිමිකාරිත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදාවේ ප්‍රමුඛතම යුද නෞකා තැනීමේ සමාගම බවට ඔවුන් පත්ව තිබේ.

1960 වසරේ සිට මේ දක්වා Mazagon Dock නෞකා ඉදිකිරීමේ සමාගම නෞකා 805ක් ඉදිකර ඇත. එමෙන් ම, එම සමාගම විසින් යුද්ධ නෞකා, මිසයිල රැගත් ප්‍රහාරක යාත්‍රා 30ක් සහ සබ්මැරීන් 08ක් ද ඉදිකරනු ලැබ ඇති බව එම සමාගම පවසයි.

ඉන්දියාවට අමතරව විදේශ රටවල සිටින විවිධ ගනුදෙනුකරුවන් සඳහා භාණ්ඩ ප්‍රවාහන නැව්, මගී නැව්, සැපයුම් යාත්‍රා, බහුකාර්ය ආධාරක යාත්‍රා, ජල ටැංකි, ටග් යාත්‍රා, ධීවර ට්‍රෝලර් යාත්‍රා සහ බාර්ජ් යාත්‍රා ආදිය මෙම සමාගම විසින් ඉදිකරනු ලැබ තිබේ.

'උපායමාර්ගිකව මේක වැදගත් වෙනවා ඉන්දියාවට'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කලම්බු ඩොක්යාර්ඩ් සමාගමට නෞකා ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් තිබීම නිසා ඉන්දියාවට මෙය උපායමාර්ගිකව වැදගත් එකක් වන බවක් පෙනී යන බව ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

''මේක ඇත්තට ම වැදගත් වෙන්න ඉකුත් මැයි මාසයේදී ඉන්දියාවේ කේරළවලදී අගමැති නරේන්ද්‍ර මෝදී විවෘත කරපු විලින්ජම් ජාත්‍යන්තර ජල බහුකාර්ය වරායත් එක්ක බැලුව ම ලංකාවට හොඳ පිළිගැනීමක් තියෙනවා නෞකා තැනීම ගැන. විශේෂයෙන් ම නාවික සේවාවන් සැපයීම ගැන ඩොක්යාර්ඩ් සමාගමට ජාත්‍යන්තරව පිළිගැනීමක් තියෙනවා.''

''එතකොට මේ මෑතකදී විවෘත කරපු විලින්ජම් වරාය යි ඉන්දියාව බහුතර කොටස් හිමිකම් කියන්න යන කලම්බු ඩොක්යාර්ඩ් සමාගම යි දිහා බැලුව ම අපිට පැහැදිලිව ම පෙනෙන දෙයක් තමයි එයාලා ඉන්දු - පැසිෆික් කලාපයේ ඉන්දියාව එයාලගේ වරායන් ඉදිකරන එක කරගෙන යනවා. ඒකෙන් එයාලට හැකියාව උදාවෙනවා ඉන්දීය සාගර කලාපය තුළ උපායමාර්ගික හැකියාව වර්ධනය කර ගන්න.''

''අනිත් කරුණ තමයි හම්බන්තොට වරාය 99 අවුරුදු බදු ක්‍රමයට චීනය තියාගෙන ඉන්නවා. එතකොට ඉන්දියාව හදනවා ශ්‍රී ලංකාවේ එයාලගේ ආධිපත්‍යය පෙන්වන්න. කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ බහුතර කොටස් ඉන්දියාව මිල දී ගැනීම හරහා චීනයට යම් ආකාරයේ අභියෝගයක් එල්ල කරනවා කියලා පෙන්වන්න ඉන්දියාව උත්සහ දරමින් ඉන්නවා. මොක ද එක ම රටක වඩාත් වැදගත් ස්ථාන දෙකකට මේ රටවල් දෙක හිමිකම් කියන නිසා. ඒ වගේ ම 2023 ඉදලා චීනය ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. මේ ගනුදෙනුව තුළ ඒක තවතවත් ඉක්මන් කරවන ආකාරයක් නිරීක්ෂණය වෙනවා.''

"දීර්ඝ කාලීනව බැලුව ම ඉන්දියාව ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්වලට ආයෝජනය කරනවා. මේ හරහා ඉන්දියාවට ලොකු ලාභයක් නොලැබුණත් ඉන්දියාව උත්සහ කරනවා එයාලගේ ළඟ ම අසල්වැසියා ලෙසට ශ්‍රී ලංකාව තමන්ගේ ම ළඟින් තියා ගන්න," ඔහු පැවසුවේය.