මහ වැස්සෙන් පුද්ගලයින් 6ක් මරුට, 3000කට ආසන්න පිරිසකට පීඩා

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ගතවූ දින දෙක තුළදී මධ්‍යම කඳුකරයට සහ සබරගමුව පළාතට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

පුද්ගල මරණ 05ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එක් පුද්ගල මරණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර අද (ජූලි 04) වැනිදා වන විට මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 769 කට අයත් පුද්ගලයින් 2,971 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

අද සහ හෙට වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (ජූලි 04) සහ හෙට (ජූලි 05) දිනයේදී වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කළද ජූලි මස 06 වැනිදායි පසුව වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්නගේ කියා සිටියේය.

"පැසිෆික් මුහුදේ ඇතිවී තිබෙන සුළි කුණාටුව නිසා ජුලි 06 වැනිදාට පස්සේ මධ්‍යම කඳුකරයට, සබරගමුව පළාතට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයට වැසි තත්ත්වයේ යම් වැඩි වීමක් අපි බලාපොරොත්තු වෙනවා." ඔහු කියා සිටියේ ය.

එමෙන්ම අද දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 කට වඩා වැඩි වැසි තත්ත්වයන් අපේක්ෂා කරයි.

"බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත් වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා. සබරගමුව පළාතට වගේම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 02න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්."

මේ අතර ඊයේ (ජූලි 03) දිනයේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 258.6 ක් නෝටන් (නුවර එළිය දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මුහුද ආශ්‍රිතව වැසි තත්ත්වය ගැන රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවතදැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා හෙට (05) උදෑසන 9 දක්වා මෙම රතු නිවේදන බලපැවැත්වේ.

රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ පහතින්,

මහනුවර දිස්ත්‍රික්කය

  • ගඟ ඉහළ කෝරළය
  • උඩුදුම්බර
  • පස්බාගේ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය

  • යටියන්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • අඹගමුව
  • නෝර්වුඩ්