ලෝකයේ ම අධික ඉල්ලුමක් ඇති රැකියා සිහිනය සැබෑ කර ගන්න: ජර්මන් ටෙක් 'පුනර්ජනනීය බලශක්ති' පාඨමාලාව

පුණර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ රැකියා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින් එම තාක්ෂණයට අදාළ නවමු පාඨමාලාවක් හඳුන්වා දීමට මෙරට ප්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන ආයතනයක් වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතනය පියවර ගෙන තිබේ.

සාමාන්‍යයෙන් මෙම පාඨමාලාවේ අයැදුම්පත් ඔක්තෝබර්/නොවැම්බර් මාසයන්හි කැඳවන අතර දෙසැම්බර් හෝ ජනවාරි වන විට ඇතුළත් කර ගැනීම් කරයි.

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියේ (IRENA) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) වාර්තාවලට අනුව, ලොව පුරා සමස්ත පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී ඇති රැකියා සංඛ්‍යාව මිලියන 16.2 ඉක්මවා ඇත.

ඉන් වැඩි ම රැකියා සංඛ්‍යාවක්, එනම් මිලියන 7.2කට අධික සංඛ්‍යාවක් (සමස්තයෙන් 40%කට වඩා වැඩි ප්‍රතිශතයක්) නිර්මාණය වී ඇත්තේ, සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළ ය.

ඒ අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් "පුනර්ජනනීය බලශක්ති තාක්ෂණවේදී" (Renewable Energy Technician) NVQ පාඨමාලාව මේ වන විට ආරම්භ කර තිබේ. 2024 නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායම 2027 මැයි මාසයේදී තාක්ෂණික ලෝකය වෙත පළමු පියවර තැබීමට සූදානම්ව සිටියි.

මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ, අධ්‍යාපන ආයතනය සහ රැකියා අවස්ථා ලබා දෙන ආයතන එක්ව වීම සුවිශේෂීතාවකි. මේ හරහා පාඨමාලාවෙන් පසු රැකියාගත වීමට අගනා අවස්ථා රැසක් හිමිවේ.

අධ්‍යාපන අමාත්‍යාංශය, TVEC ආයතනය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය ඇතිව 2024 වසරේදී මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මෙහි ජාතික ප්‍රමිතීන් (National Standards) සහ නිපුණතා නිර්දේශ සකස් කරන ලදී. එමෙන් ම මෙය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පූර්ණ සහයෝගීතාව සහ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන පාඨමාලාවකි.

Solar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආවරණය වන ක්ෂේත්‍ර සහ මධ්‍යස්ථාන

  • තාක්ෂණික පරාසය: සූර්ය බලශක්තිය (Solar PV), සුළං බලශක්තිය (Wind Power), ජෛව ස්කන්ධ (Biomass) සහ කුඩා ජල විදුලි (Micro-Hydro) යන ප්‍රධාන ක්ෂේත්‍ර 4 ම ආවරණය වන පරිදි සැකසී ඇත.
  • NVQ Level 4: දැනට NVQ Level 4 මට්ටම ලබා දෙන අතර මේ වන විටත් 5 සහ 6 මට්ටමේ උසස් තාක්ෂණික දැනුමට අනුව මෙම පාඨමාලා කාලීනව යාවත්කාලීන කර ඇත.
  • මධ්‍යස්ථාන: ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතනයේ කිලිනොච්චි මධ්‍යස්ථානය මේ සඳහා වූ ප්‍රධාන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence) ලෙස ක්‍රියාත්මක වන අතර මොරටුව මධ්‍යස්ථානයෙන් ද පුහුණුව ලබා දෙයි.

"තාක්ෂණය වේගයෙන් වෙනස් වන ලෝකයේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට අනුව අපේ පුහුණු ක්‍රමවේදයන් යාවත්කාලීන විය යුතුයි. ජර්මානු ද්විත්ව පුහුණු ක්‍රමවේදයට (German Dual Vocational Training System) අනුව ක්‍රියාත්මක වන මෙම පාඨමාලාවේදී සිසුන්ට ආයතනික මූලික පුහුණුව වගේ ම කර්මාන්ත ශාලා තුළ ඍජු ප්‍රායෝගික අත්දැකීම් ද හිමි වෙනවා," යැයි, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශයේ අංශ ප්‍රධානී නාමල් එදිරිසිංහ සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ, "පළමු කණ්ඩායම (2024 මැයි) සාර්ථකව පුහුණුව ලබා කර්මාන්ත පුහුණුවට යොමුව ඇති අතර, 2026 මැයි මාසයේදී ඔවුන්ගේ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට නියමිත" බව ය.

"මේ වන විට 2025 කණ්ඩායමත් පුහුණුව ලබනවා. පුනර්ජනනීය බලශක්තිය සහ බැට්රි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) දෙසට ප්‍රවණතාවක් ඇති මේ සංක්‍රාන්ති සමයේ, අපේ සිසුන්ගේ දැනුම, කුසලතාව සහ ආකල්ප පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වලින් ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්," ඔහු සඳහන් කළේ ය.

පාඨමාලාව හදාරන සිසුන්ට කර්මාන්ත ශාලා තුළ ඍජු පුහුණුව

මෙම පාඨමාලාව සමග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලශක්ති සමාගම් රැසක් අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කර ඇති බැවින්, පාඨමාලාව හදාරන සිසුන්ට කර්මාන්ත ශාලා තුළ ඍජු පුහුණුව මෙන් ම ඉහළ රැකියා නියුක්තියක් සහ විදේශීය රැකියා සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාවක් හිමි වනු ඇත.

ඉදිරියේදී හම්බන්තොට සූරියවැව සූර්ය උද්‍යානය ආශ්‍රිතව මෙරට පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රයක් (Renewable Energy Hub) සංවර්ධනය කිරීම හරහා මෙම ක්ෂේත්‍රයේ අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර ඇත.

මූලික සුදුසුකම් සහ අයැදුම් කිරීමේ ක්‍රමවේදය

පාඨමාලාවේ මූලික සුදුසුකම් වශයෙන් දක්වා ඇත්තේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භාෂාව සහ ගණිතය විෂය ඇතුළුව එකවර විෂයන් 06කින් සමත්ව තිබීම ය.

සාමාන්‍යයෙන් මෙම පාඨමාලාවේ අයැදුම්පත් ඔක්තෝබර්/නොවැම්බර් මාසයන්හි කැඳවන අතර දෙසැම්බර්/ජනවාරි වන විට ඇතුළත් කර ගැනීම් සිදු කෙරේ.

පූර්ණ කාලීන පාඨමාලාවක් වන මෙහි අයැදුම්පත් ගැසට් පත්‍රයන්හි සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය වන https://germantec.lk/ හරහා නිකුත් කරනු ලබයි.