SriLankan එයාර් බස් ගනුදෙනුව: හිටපු CEO කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

Kapila

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මැයි මස 05 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට පියවර

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන මෙම නඩුවේ සැකකරුවන් වන ප්‍රියංකා නියෝමාලී විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන්ට මෙම සතිය තුළ ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් කළේය.

ඊට අදාළ ලේඛන සකස් කොට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු කියා සිටියේ ය.

ඒ අනුව එම සැකකරුවන්ට අදාළ ජාත්‍යන්තර රතු වරෙන්තු මෙම සතිය තුළ ලබා ගැනීමට හැකි වනු ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.

වැඩිදුරත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම සිද්ධියෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර් චාර්ටඩ් බැංකුවේ තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඩබ්ලිව්.ඩී. නිමල් පෙරේරා නමැත්තෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇතැයි කියා සිටියේය.

තමන්ට මරණීය තර්ජනය පවතින බවත් ඒ නිසා තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බව එම පුද්ගලයා විසින් ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවසීය.

මේ නිසා විමර්ශන කටයුතු වලට බාධා සිදු වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරු නඩු විභාගය අවසන් වන තෙක් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් ඉල්ලා සිටියේය.

'කපිල චන්ද්‍රසේනගේ බලපෑමක් නැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ සිය සේවාදායිකාව 2021 වසරේ සිට මෙම සැකකරුගෙන් වෙන්ව ජීවත් වන බවයි.

ඇය රෝගාතුරව ඔස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබන බවත් බිය නිසා ඇය ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් සඳහන් කළ එම නීතිඥවරයා ඇය ශ්‍රී ලංකාවට නොපැමිණෙන්නේ සැකකාර කපිල චන්ද්‍රසේනගේ බලපෑමක් නිසා නොවන බවත් පැවසීය.

ඉන් අනතුරු රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ සමග පෙනී සිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන නිමල් පෙරේරා නැමැති පුද්ගලයාට තර්ජන එල්ල වී තිබෙන්නේ තම සේවාදායකයාගෙන් නොවන බව සඳහන් කර සිටියේ ය.

තම සේවා දායකයා සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන නැති බවත් ඔහු විමර්ශනවලට අවශ්‍ය සියලු සහාය ලබාදී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒ අනුව සිය සේවා දායකයා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මැයි මස 05 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

මහින්ද රාජපක්ෂට මුදල් දුන් බවට කළ ප්‍රකාශය

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම (මාර්තු 19 වන දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත්, සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.