ජපාන භූමිකම්පාවෙන් 13ක් මරුට: සුන්බුන් අතර සිරවූවන් සෙවීමට 'කාලය සමග තරගයක්'

ඡායාරූප මූලාශ්‍රය, Tomohiro Ohsumi/Getty Images
- Author, චි කොබයාෂි, ඔලිවියා අයර්ලන්ඩ් සහ ජොයෙල් ගින්ටෝ
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් යට සිරවී සිටින තවත් පිරිසක් බේරාගැනීම සඳහා සහන සේවකයින් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් සිටී.
ජපානයේ කුමමොතෝ ප්‍රාන්තයට අඟහරුවාදා අගභාගයේදී මැග්නිටියුඩ් 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් බලපෑවේය. මේ හේතුවෙන් මාර්ග සහ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර, දුම්රිය ප්‍රවාහන කටයුතු ද නතර කර ඇත. තවද, දහස් සංඛ්‍යාත පිරිසකට තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී තිබේ.
ගින්න නිවන දෙපාර්තමේන්තුවට අනුව, මියගිය අයගෙන් තිදෙනෙකු කෂීමාහි පිහිටි ඒඔන් මෝල් (Aeon Mall) සාප්පු සංකීර්ණයේ සිටි අයයි. එහි දෙවන මහලේ කොටසක් කඩා වැටීමෙන් මෙම මරණ සිදුවී ඇත.
අගමැතිනී සනායි ටකායිචි මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළ අතර, සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව සිදුකරන කැපවීම පිළිබඳව ඔවුන්ට ස්තූතිය පුද කළාය.
"මෙය කාලය සමඟ කෙරෙන තරගයක්," යනුවෙන් අගමැතිනී ටකායිචි බදාදා උදෑසන නවතම තත්ත්වය පැහැදිලි කරමින් පැවසුවාය.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) මෙම භූමිකම්පාවේ විශාලත්වය මැග්නිටියුඩ් 7.1 ක් ලෙස සටහන් කළ අතර, පසුව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) එය 6.8 ක් ලෙස දැක්වීය. භූ විද්‍යාඥයින් විසින් නව දත්ත ලබාගෙන ඒවා විශ්ලේෂණය කරමින්, භූමිකම්පාවල ප්‍රබලත්වය දැක්වෙන අගයන් නිතරම සංශෝධනය කරනු ලබයි.
මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 10 ක් වැනි නොගැඹුරු ගැඹුරකින් පිහිටි අතර, එය කුමමොතෝ නගරයට කිලෝමීටර් 20 ක් පමණ දකුණින් පිහිටා තිබිණි
ළඟින් ම පිහිටි කෂීමා ප්‍රදේශයේ ඒඔන් (Aeon) සාප්පු සංකීර්ණයේ "දෙවන මහල කඩා වැටී ඇති" බව ගින්න නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සාප්පු සංකීර්ණයේ දර්ශනවලින් පෙනී යන්නේ ගොඩනැගිල්ලෙන් සුදු පැහැති දුමාරයක් පිටවන අතරතුර මිනිසුන් රථ ගාල දෙසට දිව යන අයුරුයි. සාප්පු සංකීර්ණයේ බාහිර බිත්තිවල විශාල කොටස් ගැලවී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඇතුළත ඇති යකඩ බීම් පිටතට පෙනෙන්නට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සාප්පු සංකීර්ණය තුළ සිටි පුද්ගලයන් අට දෙනෙකු බේරාගෙන ඇති බව ඒ.එෆ්.පී (AFP) පුවත් සේවය වාර්තා කළේය. තවත් කී දෙනෙක් එහි සිරවී සිටිනවාද යන්න මෙතෙක් පැහැදිලි නැතත්, මුලින් වාර්තා වූ 20 ත් 30 ත් අතර ප්‍රමාණයට වඩා එම සංඛ්‍යාව "අඩු" අගයක් ගන්නා බව එන්.එච්.කේ (NHK) රූපවාහිනී සේවය වාර්තා කළේය.
ඒඔන් මෝල් යනු ජපානය පුරා වෙළඳ මධ්‍යස්ථාන 160 ක් පමණ පවත්වාගෙන යනු ලබන, රට පුරා ඉතා ජනප්‍රිය වෙළඳසැල් ජාලයකි. එහි දෙපාර්තමේන්තුව වෙළෙඳසැල්, විලාසිතා ඇඳුම් සාප්පු , ඖෂධසැල් සහ ආහාර අලෙවිසැල් රැසක් පිහිටා තිබේ.
වෙනත් ප්‍රදේශවල සිදුවූ හානි පිළිබඳව එන්.එච්.කේ (NHK) නාලිකාව විකාශය කළ දර්ශනවලින් ඉරිතලා ගිය මාර්ග, කැඩී ගිය පාලම් සහ ගොඩනැගිලි කිහිපයක් ගිනිබත් වන අයුරු දක්නට ලැබුණි. දුම්රිය ගමන් වාර ද අත්හිටුවා ඇති අතර, නිවාස දහස් ගණනක විදුලි බලය ද ඇණහිට ඇත.
"කුස්සියේ තිබුණු වීදුරු බඩු එහා මෙහා විසිවෙන සද්දේ මට ඇහුණා. ඊටපස්සේ කුස්සියේ තිබුණු හැමදේම බිඳෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ. ඇත්තටම අසරණ වුණු තත්ත්වයක්. අපි කරන්නේ මේක නතර වෙනකම් වටපිට බල බලා බලාගෙන ඉන්න එක විතරයි," යැයි ඔහු බීබීසී 'නිව්ස්අවර්' (Newshour) වැඩසටහනට පැවසීය.
"ජපානයේ ගොඩනැගිලි හදලා තිබෙන්නේ පොළොව සෙලවෙන කොට ඒ සමඟම චලනය විය හැකි ආකාරයට. නමුත් ඒ වෙලාවේ ගොඩනැගිල්ල යට කොටස දියරයක් වෙලා වගේ දැනෙනවා. ඒක ඇත්තටම අදහාගත බැරි හැඟීමක්. ස්ථාවරව තිබුණු පොළොව එකපාරටම චලනය වන ස්කන්ධයක් බවට පත්වුණා," යැයි උම්ලන්ඩ් පැවසීය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) තම X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 100 ක් පමණ දුරින් පිහිටි සෙන්දායි න්‍යෂ්ටික බලාගාරයට ඉන් කිසිදු හානියක් හෝ ආරක්ෂක ගැටලුවක් සිදුවී නොමැති බවත්, එය තවදුරටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය. "IAEA ආයතනය මේ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවනවා," යැයි ද එහි සඳහන් විය.
ජපානයේ ස්වයං-ආරක්ෂක බලකාය , ගිනි නිවන සේවා සහ වෙරළාරක්ෂක බලකාය ඇතුළු මුල් ප්‍රතිචාර දක්වන කණ්ඩායම් මේ වන විටත් සහන සේවා සඳහා යොදවා ඇති බව ප්‍රධාන කැබිනට් ලේකම් මිනොරු කිහාරා පැවසීය
"භූමිකම්පාව ඉතා තදින් දැනුණු ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ, ප්‍රාදේශීය බලධාරීන් විසින් ගුවන්විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාලය හරහා නිකුත් කරන ආරක්ෂිත ස්ථාන කරා යාමේ (ඉවත් කිරීමේ) උපදෙස් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙසත්ය," යැයි ඔහු පැවසීය.
භූමිකම්පන අඛණ්ඩව සිදුවන බැවින්, ආපදා සහන සේවා කටයුතු සඳහා උපකාර කිරීමට සෙබළුන් 3,600ක් යොදවන බව ටකායිචි පැවසුවාය. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇති පරිදි, මැග්නිටියුඩ් 1 සිට 4 දක්වා වූ පසු කම්පන 60කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට සිදුවී ඇත.
ජපානය යනු වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදුවන, ලොව වැඩිම භූමිකම්පා අවදානමක් ඇති රටවල් අතරින් එකකි.
එන්.එච්.කේ (NHK) පුවත් සේවය එකල වාර්තා කළ පරිදි, 2016 වසරේදී කුමමොතෝ ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පුද්ගලයන් 278 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

































