පිරිමින් මෙතරම් සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නික් ට්‍රිග්ල්
- Role, සෞඛ්‍ය වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
පිරිමින්ගේ සෞඛ්‍යය නංවාලීම සඳහා වන නව උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ උපදේශන ක්‍රියාවලියක් එංගලන්ත රජය ආරම්භ කර තිබේ. විශේෂඥයන් පවසන්නේ, කාන්තාවන්ට වඩා පිරිමින් අකාලයේ මියයාමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බැවින් මෙම පියවර බොහෝ කලකට පෙර ගැනීමට තිබූ එකක් බව ය. පිරිමින්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙතරම් දුර්වල වීමට හේතුව කුමක් ද? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?
බ්රැඩ්ෆෝර්ඩ්හි තරුණ මධ්‍යස්ථානයක පිරිමි සෞඛ්‍ය සායනයක් පවත්වාගෙන යමින් සිටි ඇන්ඩෲ හැරිසන්ට දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි. ඔහු දොර දෙස හැරුණු නමුත් එහි කිසිවෙක් නොවී ය. අනතුරුව ඔහුට ඇසුණේ ඔහුගේ නම පවසන හඬකි. එහිදී ඔහු වටපිට බැලූ විට ජනේලයෙන් හිස ඇතුළට දමා උපත් පාලන කොපු ඉල්ලා සිටින තරුණයෙකු දුටුවේ ය.
"මම හිටියේ පළවෙනි මහලේ,'' ඔහු පවසන්නේ, වසර කිහිපයකට පෙර කතාවක් සිහිපත් කරමිනි. පිළිගැනීමේ නිලධාරිනිය ළඟට ගිහින් ඒ ගැන අහන්න අකමැති නිසා එයා ගොඩනැගිල්ලෙන් එළියේ තිබුණ වැහි පීල්ලක් දිගේ ඉහළට ම බඩගාලා ඇවිත් තිබුණා."
මෙම සිදුවීම, පිරිමින්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින අභියෝගයන් මනාව පැහැදිලි කරයි. එනම් අවදානම්සහගත හැසිරීම් සහ සෞඛ්‍ය සේවාවන් වෙත යොමු වීමට ඇති විශ්වාසය සහ හැකියාව ප්‍රමාණවත් නොවීම යන කරුණු දෙකෙහි එකතුවකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අකල් මරණ
එක්සත් රාජධානිය තුළ නම් පිරිමින් දුම්පානය කිරීමට, මත්පැන් පානය කිරීමට, මත්ද්‍රව්‍ය භාවිත කිරීමට සහ අධික කොලෙස්ටරෝල් මෙන් ම අධිරුධිර පීඩනයෙන් පෙළීමට වැඩි ඉඩකඩක් ඇත.
කාන්තාවන්ට වඩා පිරිමින්ගේ ආයු අපේක්ෂාව වසර 4කින් පමණ අඩු වීමට ප්‍රධානතම හේතු මෙහි දැක්වේ. එමෙන් ම, හෘද රෝග, පෙනහලු පිළිකා, අක්මා රෝග සහ අනතුරු හේතුවෙන් වයස අවුරුදු 75ට පෙර අකාලයේ මිය යාමේ අවදානම පිරිමින් අතර 60%ක් වැනි පමණ ඉහළ මට්ටමක පවතී.
පිරිමි සෞඛ්‍ය සංසදය (Men's Health Forum) නමැති පුණ්‍යායතනයේ සම-නිර්මාතෘවරයෙකු මෙන් ම ලීඩ්ස් බෙකට් විශ්වවිද්‍යාලයේ පිරිමි සෞඛ්‍යය වෙනුවෙන් වෙන්වූ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටවූ මහාචාර්ය ඇලන් වයිට් පවසන්නේ, මෙම ගැටලුව පිළිබඳව මීට වඩා බැරෑරුම් ලෙස අවධානය යොමු කළ යුතු බව ය.
කොවිඩ් වසංගතයෙන් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින් 19,000කට වැඩි පිරිසක් මියයාම පෙන්වා දෙමින් ඔහු පවසන්නේ, වසංගතයක් යනු ඒ සඳහා උදාහරණයක් බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පිරිමින්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවන රටාවට දොස් පැවරීම ඉතා පහසු බව පවසන ඔහු "එම තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් සංකීර්ණ" බවට තර්ක කරයි.
මේ සඳහා ජීව විද්‍යාත්මක හේතු පවතින බවත්, පිරිමි ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩු බවත් ඔහු පවසයි. නමුත් ඉහත පවසන ලද උපත් පාලන කොපු ලබා ගැනීමට පැමිණි තරුණයාගේ කතාවෙන් පැහැදිලි වන පරිදි ඔවුන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව ද අඩු විය හැක.
"පිරිමින් සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවයෙන් අඩු යි. ඒ කියන්නේ තමන්ගේ සෞඛ්‍යය ගැන කතා කිරීමට, රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට අනුව ක්‍රියා කිරීමට අවශ්‍ය කුසලතා ඔවුන් වර්ධනය කර ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් පිරිමින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඔවුන්ගේ නව යොවුන් වියේ සිට වයස අවුරුදු 40 පමණ දක්වා ම එකම මට්ටමක පවතිනවා. බොහෝ දෙනෙක් වෘත්තීය මට්ටමේ සෞඛ්‍ය උපදේශකයෙකු හමුවන්නේ නැතිව වසර ගණනාවක් ගත කරනවා,'' මහාචාර්ය වයිට් පවසයි.
නමුත් කාන්තාවන්ගේ තත්ත්වය මීට වෙනස්. උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම, ගැබ්ගෙළ පිළිකා පරීක්ෂණ සහ දරු ප්‍රසූතිය වැනි කරුණු නිසා බොහෝ කාන්තාවන්ට පිරිමින්ට වඩා නිරන්තරයෙන් සෞඛ්‍ය සේවා සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා."
පැහැදිලි වෙනස්කම්
පිරිමින්ගේ සෞඛ්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා රජයට බලපෑම් කිරීමේදී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කර ඇති පිරිමි සහ පිරිමි ළමුන්ගේ ගැටලු පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රතිපත්ති උපදේශක මාර්ක් බෲක්ස් පවසන පරිදි පුරුෂාධිපත්‍යය ද සාධකයකි.
"සමාජය තුළ පිරිමින් කෙරෙහි අපට ඇත්තේ වෙනස් ම අපේක්ෂාවන්. ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත්ව සහ නොසැලී ප්‍රශ්නවලට මුහුණ දෙමින් තම කටයුතු කරගෙන යාම යි."
නමුත් ඔහු පවසන්නේ පිරිමින්ගේ සෞඛ්‍යය ගැන කතා කිරීමේදී දිළිඳුභාවයේ බලපෑම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව ය. දුප්පත් ම 10%ක් වන ප්‍රදේශවල ආයු අපේක්ෂාව, පොහොසත් ම ප්‍රදේශවලට වඩා වසර 10කින් අඩු ය. මෙය කාන්තාවන් අතර දක්නට ලැබෙන පරතරයට වඩා වැඩි අගයකි. එමෙන් ම වඩාත් ම දිළිඳු ප්‍රදේශවල පිරිමියෙකු වයස අවුරුදු 75ට පෙර මිය යාමේ සම්භාවිතාව 3.5 ගුණයකින් වැඩි ය.
"නොසලකා හැර ඇති ප්‍රජාව සහ ඉදිකිරීම් මෙන් ම නිෂ්පාදන වැනි ශාරීරිකව වෙහෙසෙමින් කරන රැකියාවල නිරත වන්නන් ගැන සලකා බැලීමේදී පවතින මෙම ප්‍රබල වෙනස්කම් අපට නොසලකා හැරීමට පුළුවන්කමක් නැහැ," ඔහු පවසයි. "දැනට සෞඛ්‍ය සේවාවන් සැලසුම් කර ඇති ආකාරය පිරිමින්ට ගැළපෙන්නේ නැහැ."
වයස අවුරුදු 40ත් 74ත් අතර පුද්ගලයන් සඳහා සෑම වසර 5කට වරක් ම පිරිනමනු ලබන ජාතික සෞඛ්‍ය සේවාවේ (NHS) සෞඛ්‍ය පරීක්ෂණ, පිරිමින් අකාලයේ මිය යාමට හේතු වන බොහෝ රෝග වළක්වා ගැනීම සඳහා වන ඉතා තීරණාත්මක මැදිහත්වීමක් ලෙස සැලකේ. එහෙත්, ඒ සඳහා යොමුවන්නේ පිරිමි 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුටත් වඩා අඩු පිරිසකි.
"ඉදිකිරීම් ක්ෂේත්රයේ හෝ කාර්මික කලාපයක සේවය කරන අයෙකුට සෞඛ්‍ය පරීක්ෂණයකට යාමට හෝ තම පවුලේ වෛද්‍යවරයා හමුවීමට සේවා මුරයකින් නිවාඩුවක් ලබා ගැනීම ඉතා අපහසු දෙයක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෲක්ස් පවසන්නේ, සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමට සේවකයන්ට පැය දෙකක වැටුප් සහිත නිවාඩුවක් ලබා ගැනීමේ අයිතියක් තිබිය යුතු බව සහ කය වෙහෙසා වැඩ කරන්නන් සේවය කරන කාර්මික කලාප වැනි ස්ථාන වෙත ගොස් මෙම සෞඛ්‍ය පරීක්ෂණ සේවා සැපයිය යුතු බව ය.
මෙය රැකියාව පිළිබඳ ගැටලුවක් බව ඔහු පවසයි. 40 සහ 50 යන වයස් කාණ්ඩවලදී මතු වන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ඇතැම් පිරිමි පුද්ගලයෝ බියක් දක්වති. ඒ හේතුවෙන් ඔවුහු පූර්ව රෝග ලක්ෂණ නොසලකා හැරීම හෝ රෝගී තත්ත්වය තම රැකියාවට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇතැයි ද යන්න පිළිබඳ පවතින බිය නිසා එය ප්‍රධානීන්ගෙන් සඟවා ගනිති.
සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් පිරිමින් අතර ඉහළ අනුපාතයක් දැකගත හැකි වීමට රැකියා පිළිබඳ පවතින අවිශ්වාසය, මූල්‍යමය ගැටලු මෙන් ම සබඳතා බිඳවැටීම් ද ප්‍රධාන වශයෙන් බලපාන බව ඔහු වැඩිදුරටත් පවසයි. තමන් විසින් ම ජීවිතය හානි කර ගනු ලබන පුද්ගලයන්ගෙන් 4න් 3 ම පිරිමින් ය.
එහෙත්, උපදේශන සේවා සඳහා යොමු කෙරෙන පිරිසෙන් තුනෙන් එකක් පමණ පිරිමි පුද්ගලයෝ වෙති. මෙයින් යෝජනා කෙරෙන්නේ, පිරිමින්ගේ අවශ්‍යතා සලකා බැලීමට එම සේවා ප්‍රමාණවත් දෙයක් සිදු නොකරන බව ය.
"විෂාදය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ හඳුනාගැනීම සඳහා පවතින සේවා හැඩගස්වා තිබෙන්නේ, පිරිමින් ඒවා බාහිරට පෙන්වන ආකාරයට උචිත පරිදි නොවෙයි. පිරිමි පාර්ශවය බොහෝවිට එවැනි තත්ත්වයකදී කෝප වීම, මත්පැන් පානයට යොමු වීම හෝ හුදෙකලාවීම සහ අන් අයව තමන්ගෙන් ඈත් කර තබා ගැනීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා," මහාචාර්ය වයිට් පවසයි.
ජනවාර්ගිකත්වය අනුව වෙනස්කම් හඳුනා ගැනීම ද වැදගත් බව ඔහු පවසයි. නිදසුනක් වශයෙන්, එංගලන්තයේ වෙසෙන අඳුරු සමක් සහිත පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා හඳුනා ගැනීමට පවතින ඉඩකඩ දෙගුණයකින් වැඩි අතර, ඉන්දියානු හෝ බංග්ලාදේශ පසුබිමක් සහිත පිරිමින්ට දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ ය.
අනතුරු ඇඟවීම්
නමුත් මෙම කිසිවක් අදහස් කරන්නේ පිරිමින් තමන්ගේ ම සෞඛ්‍යය ගැන උනන්දුවක් නොදක්වන බව නොවන බව යෝර්ක් විශ්වවිද්‍යාලයේ පිරිමි සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය පෝල් ගල්ඩාස් පවසයි. "පිරිමි විවෘතව කතා කිරීමට සහ වෛද්‍යවරුන් හමුවීමට කැමති වේවි. ඔබට තිබෙන්නේ ඔවුන්ව ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරකම් වටා ඒකරාශී කරගෙන ඒකට යොමු කිරීමට යි."
කොවිඩ් වසංගතයෙන් පසුව ජාතික සෞඛ්‍ය සේවයේ ඉදිරි පෙළ සේවකයන් සඳහා අත්හදාබලන ලද, සති හයක මානසික සුවතා වැඩසටහනක් Movember පිරිමි සෞඛ්‍ය ව්‍යාපාරය සමග සංවර්ධනය කිරීමට ඔහු සහය ලබා දී තිබේ. දැන් එය ලීඩ්ස් යුනයිටඩ් පාපන්දු සමාජය එහි තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් භාවිත කරයි.
හැසිරීම් රටාව මානසික තත්ත්වයට බලපාන ආකාරය තේරුම් ගැනීමට මෙහිදී පිරිමින්ට සහය දෙන අතර, තමන්ගේ දෛනික පුරුදු නිරීක්ෂණය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් සඳහා ඉලක්ක තබා ගැනීමට ද ඔවුන්ව දිරිමත් කරනු ලැබේ.
"යහපත් මානසික සෞඛ්‍යයක් රැක ගැනීම සඳහා ඇවිදින්නට යාම, මිතුරන් හමුවීම, ගොල්ෆ් ක්‍රීඩා කිරීම සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කර ගැනීම වගේ දේවල් එහිදී කරන්න පුළුවන්. යහපත් මානසික සෞඛ්‍යය, යහපත් ශාරීරික සෞඛ්‍යයකට මග පාදනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පුණ්‍යායතන, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය පිරිමි සංවිධාන එක්ව මෙවැනි ක්‍රියාකාරකම් පාදක කර ගත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.
මෙහිදී වඩාත් ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, Men's Sheds ව්‍යාපාරය යි. එහිදී පිරිමින්ට එක් රැස් වීමටත්, ප්‍රායෝගික ව්‍යාපෘතිවල නිරත වෙමින් එකිනෙකාට සහයෝගය දක්වමින් බැඳීම් ශක්තිමත් කර ගැනීමටත් දිරි ගන්වයි.
මහාචාර්ය වයිට් පවසන්නේ, දැන් මෙම පදනම මත ජාතික පිරිමි සෞඛ්‍ය උපාය මාර්ගික සැලැස්මක් ගොඩනැගීමට කාලය එළඹ ඇති බව ය. රජයේ ඍජු මැදිහත්වීම සහිතව කාන්තා සෞඛ්‍ය මධ්‍යස්ථාන ජාලයක් සහ කාන්තා සෞඛ්‍ය සංවිධාන නිර්මාණයට මුල් වූ 2022 වසරේදී ක්‍රියාත්මක කළ කාන්තා සෞඛ්‍ය උපාය මාර්ගයට සමාන මාර්ගයක් තුළින් මෙම ගැටලුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කිරීමට උපකාරී වන බව ඔහු පෙන්වා දෙයි.
නමුත් ඔහුට අවශ්‍ය වන්නේ, මෙය පිරිමින්ට ම ඔවුන් වෙනුවන් ම ලද "පිබිදීමේ ඇමතුමක්" ලෙස ක්‍රියාත්මක වීමට ය. ඒ සඳහා සෑම පිරිමියෙකු ම අවධානය යොමු කළ යුතු සරල පියවර කිහිපයක් ද පවතින බව ඔහු පවසයි.
''ඔබේ ඉණෙහි ප්‍රමාණය දෙස බලන්න. ඔබේ බර වැඩි නම්, ඔබේ බඩ ගොඩක් වැඩි යි නම් යමක් කිරීමට උත්සහ කරන්න. එළියට යන්න, මිනිසුන් සමග කතා කරන්න."
''සෞඛ්‍ය පරීක්ෂණ හෝ රෝග විනිශ්චය පරීක්ෂණ සිදු කර ගැනීමට ලැබෙන සෑම අවස්ථාවක් ම ලබා ගන්න. ඒ වගේ ම ශරීරයේ හෝ ගැටලු කළමනාකරණය කරන විදිහේ වෙනසක් තියෙනවා කියලා දැනුණොත් සුදුසු පාර්ශවයකින් උපකාර ලබා ගන්න"


































