මීගමුව බන්ධනාගාර ගැටුම: සැකකාර සිරකරුවන් 62 දෙනෙකු ගැන මීගමුව මහේස්ත්‍රාත් ගත් තීරණය

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මීගමුව බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 30 දෙනෙකු මියගොස්, තවත් පිරිසක් තුවාල ලැබීම සහ රජයේ දේපළවලට රුපියල් කෝටි 15කට අධික අනර්ථයක් සිදු කිරීමට අදාළව, සැකකරුවන් ලෙස නම්කර සිටින සිරකරුවන් ලබන 21 වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට නියෝග කළා ය.

​මෙලෙස නියෝග කළේ, මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (අගෝ: 07) යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

තවත් සිරකරුවන් 24 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කෙරෙති

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව සැකකරුවන් ලෙස තවත් රැඳවියන් 24 දෙනෙකු නම් කරන බව ය.

ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊට අධිකරණය අවසරය ලබා දුන්නා ය.

මීට පෙර ද මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව සැකකරුවන් ලෙස සිරකරුවන් 38 දෙනෙකු නම් කර තිබිණි.

ඒ බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් ලෙස නම් කළ මෙම සිරකරුවන් හඳුනා ගැනීමට සිද්ධිය වන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ රාජකාරී සඳහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන්ට සහ ඇතැම් සිරකරුවන්ට හැකි බව ද සඳහන් කළේ ය.

සැකකරුවන් හඳුනා ගැනීමට හැකි බන්ධනාගාර නිලධාරීන් අදාළ ගැටුමෙන් තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අධිකරණය නියම කර ඇති ලබන 21 වන දා සාක්ෂිකාර අදාළ බන්ධනාගාර නිලධාරීන් සහ සාක්ෂිකාර රැඳවියන් අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය පියවර ගන්නා බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහතික විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මීගමුව බන්ධනාගාර ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් රැසක් පිළිබඳව දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වෙමින් පවතින බව ය.

​එම සැකකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කිරීමෙන් අනතුරුව, මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව සැකකරුවන් ලෙස නම් කළ හැකි අනෙකුත් සියලු ම සැකකරුවන් සම්බන්ධයෙන් වරින් වර අධිකරණයට දැනුම් දීමට කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

'රස පරීක්ෂක වාර්තා ලැබී නැහැ'

​මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව නඩු භාණ්ඩ ලෙස නම් කර තිබෙන ගිනිඅවි, කැති, මන්නා, පිහි ඇතුළු විවිධ ආයුධ මෙන් ම තවත් මෙවලම් රැසක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, එම නඩු භාණ්ඩවලට අදාළ රස පරීක්ෂක වාර්තා කිසිවක් මෙතෙක් ලැබී නැති බව ද කියා සිටියේ ය.

​මීගමුව බන්ධනාගාර ගැටුම සිදුවන අවස්ථාවේදී බන්ධනාගාර පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වෙමින් පැවති CCTV කැමරාවලට අදාළ DVR යන්ත්‍ර කලහකාරී සිරකරුවන් විසින් කඩා බිඳ දමනු ලැබ තිබියදී සොයාගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක පිළිබඳ රසායනාගාරයට යවා ඇතත්, ඊට අදාළ විද්‍යාත්මක වාර්තා ද මෙතෙක් අධිකරණයට ලැබී නැති බව ද කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු අංශ කීපයක් ඔස්සේ තවදුරටත් පුළුල්ව විමර්ශන සිදු කරමින් පවතින බව ද සඳහන් කළේ ය.

​මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ මූලික විමර්ශන සිදු කළේ, මීගමුව මූලස්ථාන පොලිසිය මගිනි. එහෙත් පසුව මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කරමින් පැවති සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කෙරිණි.

​ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියට ලැබී ඇති බලතල අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මීගමුව මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලීමකට අනුව, මහේස්ත්‍රාත්වරිය ලබා දුන් අධිකරණ අවසරය මත ය.