අද දිනයේත් පළාත් 4කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 100ට වැඩි තද වැසි

වැස්සේ කුඩයක් ඉහලාගෙන යන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින බවත් ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එහි සඳහන් වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ය.

වැස්ස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මැයි 13 උදෑසන 6.30ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අනතුරු අඟවා තිබිණි.

බදාදා (මැයි 13) දිනයේ ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබිණු අතර, එහිදී වැඩි ම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, කැස්බෑව ප්‍රදේශයෙනි.

ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, "කැස්බෑවට මිලී මීටර 225ක වැස්සක්. වැස්ස තවත් පවතින ලකුණු තියෙනවා"

ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් පවසන්නේ, මැයි 13 පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බව ය.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

එසේ ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශ ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන් ම, ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟට මුදා හරිමින් පවතී.

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතියි නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ රැසකට මැයි 13 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු අඟවා තිබේ.

අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී තැනකට යාමට සූදානම් වන ලෙස ද එම ආයතනය ජනතාවට දන්වා සිටියි.

එලෙස අනතුරු අඟවා ඇති ප්‍රදේශ පහත පරිදි ය.

බදුල්ල

  • පස්සර

ගාල්ල

  • නෙළුව

කළුතර

  • අගලවත්ත
  • බදුරලිය
  • මතුගම
  • හොරණ
  • වලල්ලාවිට

මහනුවර

  • පස්බාගේ කෝරළේ
  • යටිනුවර
  • උඩපළාත
  • පාතහේවාහැට
  • පන්විල
  • ගඟ ඉහළ කෝරළේ
  • ගඟවට කෝරළේ
  • අකුරණ

වැසි තත්ත්වයත් සමග නායයාම් සක්‍රීය විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"අනතුරුදායක ස්ථානවල නෑමට යාමෙන් වළකින්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. පහුගිය දිනවලත් එවැනි සිදුවීම් නිසා ජීවිත කිහිපයක් අහිමි වුණා," ඔහු පැවසුවේ ය.

එමෙන් ම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් අකුණුවලින් වන හානි අවම කර ගැනීමට ද කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.