මස් සඳහා සොරකම් කළ සුරතල් බළලුන් සිය ගණනක් වියට්නාම පොලිසියෙන් බේරා ගනියි

Dozens of cats in cages seized by police in Ho Chi Minh City in Viet Nam cat meat trade bust

ඡායාරූප මූලාශ්‍රය, Phuong Pham / Humane World for Animals Viet Nam

ඡායාරූප ශීර්ෂ වැකිය, සොරකම් කරන ලද බළලුන් 40කට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත යවා තිබේ
    • Author, ජෙසිකා රෝව්න්ස්ලි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

වියට්නාමයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ බළල් සොරකම් ජාලයක් වටලා මස් සඳහා මරා දැමීමට නියමිතව සිටි බළලුන් 400කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇති බව සත්ව ශුභසාධන සංවිධානයක් පවසයි.

හෝ චි මින් නගරයේ පොලිසියේ නිල පුවත්පතට අනුව, "බළලුන් සොරකම් කිරීම සහ එකතු කිරීම සඳහා ම විශේෂඥතාවක් දැක්වූ අපරාධ කල්ලි සාමාජිකයන්" ලෙස පොලිසිය හඳුන්වා දුන් පුද්ගලයන් නව දෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සතියේ ටේ නින් පළාතේ සහ හෝ චි මින් නගරයේ පිහිටි පරිශ්‍ර කිහිපයක් වැටලූ නිලධාරීන්, එහි පණපිටින් සිටි බළලුන් 400කට වැඩි සංඛ්‍යාවක් සහ අයිස් දමා සුරක්ෂිත කර තිබූ මියගිය බළලුන් 80කගේ පමණ සිරුරු සොයාගෙන තිබේ. මීට අමතරව වෙනත් මධ්‍යස්ථානයක සිටි බළලුන් 21 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.

වියට්නාමය තුළ සුනඛ සහ බළල් මස් පරිභෝජනය නීත්‍යනුකූල වුව ද, එම සතුන් අලෙවි කරන්නන් සතුව එම සතුන් ලබාගත් මුලාශ්‍ර සනාථ කරන නිල බලපත්‍ර තිබීම අනිවාර්ය වේ.

දේශීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හෝ චි මින් නගරයේ සිදුවූ සුරතල් සතුන් සොරකම් කිරීම් සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු, ජූනි 11 වන දා පොලිසිය මෙම අපරාධ කල්ලිය කොටුකරගත් බව යි.

සැකකරුවන් පොලිසිය හමුවේ පිළිගෙන ඇත්තේ පසුගිය වසර තුනක කාලයක් තිස්සේ දකුණු වියට්නාමය පුරා උගුල් අටවා බළලුන් අල්ලා ගත් බව යි. විමර්ශකයන්ට අනුව මෙම පිරිස, සොරකම් කරන ලද බළලුන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කර, පසුව දින දෙක තුනකට වරක් වෙළෙන්දන් වෙත අලෙවි කර තිබේ.

හියුමන් වර්ල්ඩ් ෆෝ ඇනිමල්ස් සංවිධානය අඟහරුවාදා (ජූනි 6) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සොරකම් කරන ලද බළලුන්ගෙන් 40 දෙනෙකු පමණ මේ වන විට එම සතුන්ගෙ හිමිකරුවන් වෙත නැවත භාරදීමට හැකිවී ඇති බව යි.

එම සංවිධානය, දේශීය බලධාරීන්ගේ මෙම "තීරණාත්මක සහ කඩිනම් ක්‍රියාමාර්ගය" අගය කරමින් කියා සිටියේ, ඒ හේතුවෙන් සතුන් විශාල ගණනකගේ ජීවිත බේරුණු බවන යි. කෙසේ වෙතත්, මෙම කෲර අත්දැකීමට මුහුණ දීම හේතුවෙන් බළලුන් කිහිප දෙනෙකු පසුව මියගොස් ඇති බව ද ඔවුහු පැවසූහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නඩුව විභාග වෙමින් පවතින මෙම කාලසීමාව තුළ, නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයේ පසුවන සතුන් සඳහා අවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය සපයමින් සිටින බව ද එම සංවිධානය පවසයි.

මේ පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. එමෙන් ම, තම සුරතල් සතුන් සොරකම් කර ඇතැයි සැකකරන්නේ නම් බේරාගත් සතුන් හඳුනා ගැනීමට ඉදිරිපත් වී එම කටයුතු සඳහා සහය වන ලෙස ද පොලීසිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

හියුමන් වර්ල්ඩ් ෆෝ ඇනිමල්ස් සංවිධානයේ දත්තවලට අනුව, වියට්නාමය තුළ වසරකට සුනඛයන් මිලියන පහක් සහ බළලුන් මිලියනයක් පමණ මස් පිණිස අල්ලා ගැනීම, සොරකම් කිරීම, ජාවාරම් කිරීම සහ මරා දැමීම සිදු කෙරේ.

එම සංවිධානය පවසන්නේ නිවාසවල ඇති දැඩි කරන සුරතල් සතුන් නිරන්තරයෙන් මෙලෙස සොරකම් කිරීමට ලක්වන බව යි. සුනඛයන් පැහැර ගැනීම සඳහා බොහෝ විට විෂ සහිත ඇම සහ යකඩ අඬු භාවිත කරන අතර, බළලුන් ඇල්ලීම සඳහා දුනු සහිත උගුලක් භාවිත කරන බව ද මෙම සංවිධානය පවසයි.

වෙනත් ආසියාතික රටවලට සාපේක්ෂව වියට්නාමය තුළ සුනඛ සහ බළල් මස් පරිභෝජනය තවමත් බහුලව පැවතුණ ද, ඒ කෙරෙහි දක්වන මහජන ආකල්ප වර්තමානයේදී වෙනස් වෙමින් පවතින බව සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීහු පවසති.

හියුමන් වර්ල්ඩ් ෆෝ ඇනිමල්ස් සංවිධානයේ මැදිහත්වීමෙන් 2023 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව, විශේෂයෙන් ම තරුණ වියේ පසුවන්නන් සහ සුරතල් සතුන් ඇති කරන්නන් අතර මෙම මස් පරිභෝජනයට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැගෙමින් පවතින බව හෙළි වී ඇත. එමෙන් ම, එරට බහුතරයකගේ මතය වී ඇත්තේ සුනඛ සහ බළල් මස් වෙළෙඳාම තහනම් කළ යුතු බව යි.