ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට පත් කළ සාමාජිකයින් කවුද?

ශ්‍රී ලංකා ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද (අප්‍රේල් 29) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊට අදාළ පත්වීමේ ලිපි ප්‍රදානය කර ඇත.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති අතර, ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ගනු ලබන්නේ, ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව විසිනි.

ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් කවුද?

Sri Lanka cricket

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

අද දිනයේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර පත් කර ඇත.

මීට අමතරව නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර්, අවන්ති කොළඹගේ සහ ඩිනාල් ෆිලිප්ස් පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍ය වෙත පැවසීය.

'මේක ක්‍රිකට් පරිවර්තන කමිටුවක්'

නව අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා නව කමිටුව පත් කර ඇති බව ය.

"නිලවරණයෙන් තේරී පත්වුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ පාලක කමිටුව අද නිල වශයෙන් එයාලා ධූරයෙන් ඉල්ලා අස්වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මට තියෙන බලතල අනුව ක්‍රිකට් ආයතනයේ ඉදිරි වැඩකටයුතු සිදුකරන්න හිටපු ඇමති කෙනෙක් වෙන ඉරාන් වික්‍රමරත්න ඇතුළු 09 දෙනෙක් පත් කළා."

"මේ කමිටුවේ අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වෙන සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ඉන්නවා. මේක ඇත්තටම ලංකාවේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කරන්න පත් කරන කමිටුවක්."

"අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කලින් තිබ්බ විදිහට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙලා ජයග්‍රහණ කුසලාන දිනන තැනට ආපහු පත් කරන්න අවශ්‍ය වෙනස්කම් මේ හරහා සිද්ධ කරන්න," අමාත්‍යවරයා පැවසුවේ ය.