නව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතින බව නව අධ්‍යයනයකින් සොයා ගැනේ

ඡායාරූප මූලාශ්‍රය, Monty Rakusen/Getty
- Author, ජේම්ස් ගැලගර්
- Role, සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 5
මිනිස් මොළය ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අවධීන් පහක් හරහා ගමන් කරන අතර, එහි ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයන් වයස අවුරුදු 9, 32, 66 සහ 83දී සිදුවන බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබේ.
වයස අවුරුදු 90 දක්වා පුද්ගලයින් 4,000ක් පමණ ඔවුන්ගේ මොළයේ සෛල අතර පවතින සම්බන්ධතා කුමන ආකාරයේ ද යන්න හෙළි කර ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණවලට භාජනය වූහ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ අප "උච්චතම අවස්ථාවට" පැමිණෙන තිස් ගණන්වල මුල් භාගය වන තෙක් මොළය නව යොවුන් වියේ පවතින බවයි.
මානසික සෞඛ්‍ය ආබාධ සහ ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම ජීවිත කාලය පුරා වෙනස් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මෙම ප්‍රතිඵල අපට උපකාරී වනු ඇතැයි ඔවුහු පවසති.
මොළය නව දැනුමට සහ අත්දැකීම්වලට ප්‍රතිචාර දක්වමින් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය උපතේ සිට මරණය දක්වා එක් සුමට රටාවක් අනුව සිදු නොවන බවයි.
ඒ වෙනුවට, එය ගමන් කර අවධීන් පහ පහත පරිදි වේ:
- ළමා විය - උපතේ සිට අවුරුදු නවය දක්වා
- නව යොවුන් විය - නවයේ සිට 32 දක්වා
- වැඩිහිටි විය - අවුරුදු 32 සිට 66 දක්වා
- පූර්ව මහළු විය - අවුරුදු 66 සිට 83 දක්වා
- පශ්චාත් මහළු විය - 83 සිට ඉදිරියට
"මොළය ජීවිත කාලය පුරා ම රීවයර් වෙනවා. එහි සෛල අතර සම්බන්ධතා හැම වෙලාවෙ ම ශක්තිමත් වෙනවා, දුර්වල වෙනවා. ඒක ඒකාකාරී රටාවක් නෙවෙයි. මොළය රීවයර් වෙන එකේ උච්චාවචනයන් සහ අවධීන් තියෙනවා," පර්යේෂණයේ ප්‍රධානී ආචාර්ය ඇලෙක්සා මවුස්ලි බීබීසීයට පැවසීය.
ඇතැම් අය මෙම සන්ධිස්ථාන වෙත අනෙක් අයට වඩා කලින් හෝ පසුව ළඟා වනු ඇත. නමුත් පර්යේෂකයන් පැවසුවේ මෙම වයස් දත්තවල කෙතරම් පැහැදිලිව පෙනෙනවා ද යන්න පුදුමසහගත බවයි.
නේචර් කොමියුනිකේෂන්ස් ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේදී පරීක්ෂණයට භාජනය කරන ලද මොළ ගණන හේතුවෙන් මෙම රටා දැන් අනාවරණය වී ඇත.
මොළයේ අවධි පහ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ළමා විය - පළමු කාල පරිච්ඡේදය යනු මොළය වේගයෙන් ප්‍රමාණයෙන් වර්ධනය වන අතරතුර ජීවිතය ආරම්භයේදී නිර්මාණය වූ උපාගම ලෙස හඳුන්වන මොළයේ සෛල අතර ඇති අතිරේක සම්බන්ධතා කපා හරින අවස්ථාවයි.
මෙම අවධියේදී මොළයේ කාර්යක්ෂමතාව අඩු වේ. A සිට B වෙත ඍජුව ගමන් කරනවා වෙනුවට, උද්‍යානයක් වටා ඇවිදින, තමන් කැමති තැනකට ගමන් කරන දරුවෙකු මෙන් එය ක්‍රියා කරයි.
නව යොවුන් විය - වයස අවුරුදු 9 සිට මොළය ඉතා තියුණු ලෙස අමතර සම්බන්ධතා ඉවත් කර වඩා වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරමින් කාර්යක්ෂම වේ. "ඒක ලොකු වෙනසක්," මොළයේ අවධීන් අතර ඇති ගැඹුරු වෙනස විස්තර කරමින් ආචාර්ය මවුස්ලි පැවසීය.
මානසික සෞඛ්‍ය ආබාධ ආරම්භ වීමේ විශාලතම අවදානම පවතින කාලය ද මෙයයි.
නව යොවුන් විය ආරම්භ වන්නේ වැඩිවිය පැමිණීමේ ආරම්භයත් සමග යන්න පුදුමයට කරුණක් නොවෙයි. නමුත් මෙය එය අවසන් වන්නේ අප උපකල්පනය කළ ප්‍රමාණයට වඩා බොහෝ කලකට පසුව යන්න පිළිබඳව ඇති නවතම සාක්ෂියයි. ස්නායු විද්‍යාව සම්බන්ධ පර්යේෂණ යෝජනා කිරීමට පෙර එය නව යොවුන් වියට පමණක් සීමා වූවක් යැයි සිතූ නමුත් එය වයස අවුරුදු 20 දක්වාත් දැන් වයස අවුරුදු 30 දක්වාත් පවතී.
මෙම අවධිය මොළයේ ස්නායු ජාලය වඩාත් කාර්යක්ෂම වන එක ම කාල පරිච්ඡේදයයි. ආචාර්ය මවුස්ලි පවසන්නේ, මොළය වයස අවුරුදු 30 ගණන්වල මුල් භාගයේදී වඩාත් හොඳින් ක්‍රියා කරන බවට ඇති අදහසට මෙම සොයාගැනීම් සහය වන බවත්, මොළය වයස අවුරුදු 9 සිට 32 දක්වා සමාන වර්ධන අවධියක පැවතීම "සිත්ගන්නාසුලු කරුණක්" බවත් ය.
වැඩිහිටි විය - ඊළඟට එළඹෙන්නේ මොළය එහි දීර්ඝතම යුගයට පිවිසෙන, එනම් දශක තුනක් පවතින, ස්ථාවරත්වයේ කාල පරිච්ඡේදයකි.
පෙර සිදුවූ කැපී පෙනෙන වෙනස්කම් හා සසඳන විට මෙම කාලය තුළ වෙනස මන්දගාමී වේ. නමුත් මෙහිදී අපට මොළයේ කාර්යක්ෂමතාවයේ සිදුවූ වැඩිදියුණු වීම් ආපසු හැරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය.
මෙය අප බොහෝ දෙනෙක් දැක ඇති හෝ අත්විඳ ඇති "බුද්ධිය සහ පෞරුෂය එතරම් වෙනස් නොවන සහ ස්ථාවරව පවතින" අදහසට ගැලපෙන බව ආචාර්ය මවුස්ලි පවසයි.
පූර්ව මහළු විය - මෙය 66න් ආරම්භ වේ, නමුත් එය එකවර සිදුවන සහ හදිසි පහත වැටීමක් නොවේ. ඒ වෙනුවට මොළයේ සම්බන්ධතා රටා වල වෙනස්කම් සිදුවීම මෙහිදී සිදුවේ.
එක් සම්පූර්ණ මොළයක් ලෙස ක්‍රියා කිරීම වෙනුවට, එය එක් එක කලාපවලට වෙන්ව තමන්ට වෙන්වූ කාර්යයන් වෙත අවධානය යොමු කර ක්‍රියාත්මක වීම සිදුවේ. එය, සංගීත කණ්ඩායමක සාමාජිකයන් තම ඒකල ව්‍යාපෘති ආරම්භ කරනවාක් මෙනි.
මෙම අධ්‍යයනයෙන් නිරෝගී මොළයක් පිළිබඳව අධ්‍යයනය කළ ද, මොළයේ සෞඛ්‍යයට බලපාන ඩිමෙන්ශියාව සහ අධිරුධිර පීඩනය පෙනෙන්නට පටන් ගන්නේ ද මෙම වයසේදීය.
පශ්චාත් මහළු විය - ඉන්පසුව, වයස අවුරුදු 83දී, අපි අවසාන අදියරට පිවිසෙන්නෙමු. ස්කෑන් පරීක්ෂණ සඳහා නිරෝගී මොළයක් සොයා ගැනීම වඩා අභියෝගාත්මක වූ බැවින්, අනෙක් කණ්ඩායම්වලට වඩා මේ සඳහා ඇත්තේ අඩු දත්ත ගණනකි. මොළයේ වෙනස්කම් පූර්ව මහළු වියේදී සිදුවන වෙනස්කම්වලට සමාන නමුත් ඊටත් වඩා කැපී පෙනේ.
වැඩිවිය පැමිණීම, ජීවිතයේ පසුකාලීන සෞඛ්‍ය ගැටලු සහ වයස අවුරුදු 30 ගණන්වල මුල් භාගයේ මාපියභාවය වැනි තරමක් විශාල සමාජ වෙනස්කම් වැනි "බොහෝ වැදගත් සන්ධිස්ථාන සමග විවිධ වයස් කෙතරම් හොඳින් ගැලපේ ද" යන්න තමා සැබවින් ම පුදුමයට පත් කළ බව ආචාර්ය මවුස්ලි පැවසුවා ය.
'ඉතා අපූරු අධ්‍යයනයක්'
මෙම අධ්‍යයනයෙන් පිරිමින් සහ කාන්තාවන් ගැන වෙන වෙන ම අධ්‍යයනය නොකළ නමුත් ආර්තවහරණයේ බලපෑම වැනි ප්‍රශ්න මතු කරයි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ neuroinformatics පිළිබඳ මහාචාර්ය සහ මෙම පර්යේෂණය සඳහා වගකිව යුතු කණ්ඩායමේ කොටසක් වන ඩන්කන් ඇස්ට්ල් මෙසේ පැවසීය: "මොළය හා මානසික සෞඛ්‍ය තත්ත්වයන් බොහොමයක් මොළයේ ස්නායු සම්බන්ධතා ගොඩනැගෙන ආකාරය හා සම්බන්ධ වන අතර, මෙම සම්බන්ධතාවල වෙනස්කම් අවධානය, භාෂාව, මතකය සහ හැසිරීම පිළිබඳ ගැටලුවලට තුඩු දිය හැකියි."
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මොළයේ සම්බන්ධ සොයාගැනීම් විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, පර්යේෂණයට දායක නොවුණු මහාචාර්ය ටාරා ස්පියර්ස්-ජෝන්ස් මෙසේ පැවසීය: "මෙය අපගේ ජීවිත කාලය තුළ අපගේ මොළය කොතරම් වෙනස් වේද යන්න ඉස්මතු කරන ඉතා අපූරු අධ්‍යයනයක්."
මොළයේ වයසට යාම පිළිබඳ අපගේ අවබෝධය සමග මෙම ප්‍රතිඵල "හොඳින් ගැළපෙන" බව ඇය පැවසූ නමුත් "සෑම කෙනෙකුට ම මෙම ජාල වෙනස්කම් හරියට ම එක ම වයස්වලදී අත්විඳිය නොහැකි" බව අනතුරු ඇඟවීය.































